උළුක්කුවක් හෝ ඇදීමක් වුණොත්?

ශරීරයේ උළුක්කුවක් හෝ ඇදීමක් සිදුනොවුන කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්. ඒ තරමටම, උළුක්කුව සහ ඇදීම යනු නිතර සිදුවන අනතුරක් . එමනිසා, උළුක්කුවක් හෝ ඇදීමක් සිදුවුවහොත්, ඔබ කළ යුතු කුමක්ද යන්න දැනගැනීම වැදගත් .

උළුක්කුවක් (Sprain) යනු කුමක්ද?

උළුක්කුවක් යනු සන්ධියක ඇති අස්ථි හෙවත් ඇට එකිනෙක සම්බන්ධ කරන අස්ථි බන්ධනි (Ligaments) වලට සිදුවන අනතුරක් . මෙහිදී, අස්ථි බන්ධනි එකක් හෝ කිහිපයක් ඇදීම හෝ ඉරීයාම සිදු වෙනවා.

උළුක්කුවක් ඇතිවන්නේ ඇයි?

හේතු කිහිපයක් නිසා උළුක්කුව ඇතිවිය හැක. වැටීම, ඇඹරීම, හෝ යම් සන්ධියකට පහරක් එල්ලවීම මගින් සන්ධියේ ස්වභාවික පිහිටීම වෙනස්වීමෙන්, උළුක්කුව හට ගන්නවා. එවිට, අදාළ සන්ධිය අවට ඇති අස්ථි බන්ධනි ඇදීමට ලක්වීම හෝ ඉරීයාම සිදු වෙනවා. පහත සඳහන් අවස්ථා වලදී, උලුක්කු වීමක් වෙන්න පුලුවන් .

  • බිම වැටෙන විට අත් වලින් බිමට වාරුවීම.
  • පාදයේ පැත්තක් මත වැටීම.
  • දණහිස ඇඹරීම.

උළුක්කුව, බහුලව සිදුවන ස්ථාන මොනවාද?

උළුක්කුවීම නිතරම සිදුවන ස්ථානයක් ලෙස වළලුකර හඳුන්වන්න පුලුවන්. කෙනෙක් වැටෙන විට දෑත බිම තැබීම මගින්, මැණික් කටුවේ උළුක්කුවක්  වෙන්න පුලුවන්.

උළුක්කු වීමකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

  • වේදනාව.
  • ඉදිමීම.
  • සන්ධිය රතුවීම හෝ තදපැහැයක් ගැනීම.
  • සන්ධිය චලනය කිරීමට හෝ භාවිතා කිරීමට අපහසුවීම.

අනතුර සිදුවන අවස්ථාවේදී මද ශබ්දයක් ඇසීම හෝ පටක ඉරීමක් ද වෙන්න පුලුවන්. උළුක්කුවක ස්වභාවය සුළු අනතුරක සිට දරුණු තත්වයක් දක්වා පරාසයක වෙන්න පුලුවන්.

ඇදීමක් (Strain) යනු කුමක්ද?

ඇදීමක් යනු, මාංශ පේශියකට හෝ මාංශ පේශියක් අස්ථියකට සම්බන්ධ කරන පේශි කණ්ඩරාවකට (Tendon) සිදුවන අනතුරක්. මෙහිදී මාංශ පේශිය හෝ පේශි කණ්ඩරාව ඇදීම හෝ ඉරීයාම සිදු වෙනවා.

ඇදීමක් ඇතිවන්නේ ඇයි?

මාංශ පේශියක් හෝ පේශි කණ්ඩරාවක් ඇඹරීයාම හෝ පමණ ඉක්මවා ආතතියකට ලක්වීම මගින් ඇදීමක් වෙන්න පුලුවන් . එය ක්ෂණිකව හෝ දින කිහිපයක්, සති ගණනක් තිස්සේ වර්ධනය වෙන්න ඉඩ තියෙනවා.

ක්ෂණිකව සිදුවන ඇදීමක්, පහත හේතූන් නිසා ඇතිවිය හැකියි.

  • මෑතකදී සිදුවූ අනතුරක්.
  • වැරදි ආකාරයකට බරක් එසවීම.
  • පමණ ඉක්මවා මාංශ පේශි ආතතියකට ලක්වීම.

ඇදීම් බහුලව සිදුවන ස්ථාන මොනවාද?

කොන්ද සහ කලවයේ පිටුපස ප්‍රදේශයේ ඇති මාංශ පේශි, බහුලව ඇදීමට ලක්වන ස්ථානයි.  අත්වල, බාහුවල සහ වැලමිටේ ද ඇදීම් වෙන්න පුලුවන්.

ඇදීමකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

  • වේදනාව
  • මාංශ පේශි තදවීම.
  • මාංශ පේශි දුර්වලවීම.
  • ඉදිමීම.
  • මස් පෙරලීම.
  • අදාළ මාංශ පේශිය චලනය කිරීම අපහසුවීම.

මාංශ පේශිය හෝ පේශි කණ්ඩරාව සම්පූර්ණයෙන්ම ඉරී ගියවිට වේදනාවක් මෙන්ම චලනය කිරීමට ද නොහැකියි.

උළුක්කුවකට හෝ ඇදීමකට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

මෙම අනතුරු දෙකටම සිදුකරන ප්‍රතිකර්මයන් සමානයි. එමනිසා වේදනාව සහ ඉදිමීම සමනය කිරීමට අනතුර සිදුවූ ශරීරයේ කොටසට විවේක ලබාදීම. අනතුර සිදුවී ඇත්තේ දණහිසේ හෝ වළලුකරෙහි නම්, ඇවිදින විට ආධාරකයක් ලෙස සැරයටියක් හෝ කිහිලිකරු භාවිතාකිරීමට වෛද්‍ය උපදෙස් ලැබෙනවා.

දිනකට වාර 4-8 ක් පමණ, එක් වරකට විනාඩි 20 ක් බැගින්, අනතුර සිදුවූ ප්‍රදේශය අයිස් වලින් තැවීම.

අනතුර සිදුවූ ප්‍රදේශය මදක් තෙරපෙන සේ විශේෂ බැන්ඩේජ්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමයක්, විශේෂ පා වැසුමක්, හෝ පතුරක් (Splint) යෙදීම.

අනතුර සිදුවූ වළලුකර, දණහිස, වැළමිට, හෝ මැණික්කටුව කොට්ටයක් මත තබා මදක් ඔසවා තැබීම.

ඔබේ වෛද්‍යවරයා වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක ඖෂධ (Pain killers) නියම කරනු ඇත.

වේදනාවට සහ ඉදිමීමට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව, ඔබේ වෛද්‍යවරයා අනතුර සිදුවූ ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යායාම කිරීමට නිර්දේශ කරනු ඇත. ඇතැම් අයට, භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy) අවශ්‍ය විය හැකියි.
උළුක්කු වීම සහ ඇදීම වැළැක්විය හැකිද?

පහත සඳහන් ක්‍රියාමාර්ග මගින්, උළුක්කුව සහ ඇදීම වළක්වා ගන්න පුලුවන්.

  • වෙහෙසකාරී වූ විට සහ ශරීරයේ වේදනාවක් ඇතිවිට, ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමෙන් වළකින්න.
  • මාංශ පේශි ශක්තිමත් වීම සඳහා සමබර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.
  • ඔබේ උසට සරිලන ප්‍රශස්ත සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න.
  • ඇදවැටීම් වලින් හැකිතරම් වැළකෙන්න.
  • හොඳින් ගැලපෙන සපත්තු පළඳින්න.
  • සපත්තු වල අඩිය ගෙවී ඇතිවිට හෝ පැත්තක් ගෙවී ඇතිවිට, අලුත් සපත්තු යුවලක් භාවිතයට ගන්න.
  • දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
  • යම් ශාරීරික ක්‍රියාකාරකමක් හෝ ක්‍රිඩාවක් කිරීමට පෙර, මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීමට වගබලා ගන්න.
  • යම් ක්‍රීඩාවක හෝ ව්‍යායාම වැඩසටහනක යෙදීමට පෙර, නිසිලෙස ශරීරය උණුසුම් කරගැනීම (Warm-up) සහ ඇදීමේ ව්‍යායාම (Stretching exercises) කිරීම සිදුකරන්න.
  • හැකි සෑමවිටම, ක්‍රීඩා කරන විට නියමිත ආරක්ෂිත උපාංග පළඳින්න.
  • හැකි සෑමවිටම, දිවීම සඳහා සමතල මතුපිටක් තෝරාගන්න.

Related Articles

Don't Miss


Latest Articles