බුක් ෆෙයාර් යන්න කලින් කියවල යන්න

0
4473

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එහෙමත් නැත්නම් ෆෙයාර් එක අත ළඟටම ඇවිල්ලා. ඔබත් පොත් වලට ආසා කෙනෙක් නම් දින ගැන ගැන තමා ඉන්නේ, එහෙම නේද? ඉතින් අපි හිතුවා  බුක් ෆෙයාර් යන්න කලින් පුංචි කරුණු කිහිපයක් ඔබට මතක් කරන්න.

ඔබට වියදම් කල හැකි  මුදල කලින්ම තීරණය කරන්න

අතේ තියෙන ඔක්කොම සල්ලි වලින් පොත් ගන්න තියෙනවනම් හොඳයි. ඒත් එහෙම බැහැනේ. මුලින්ම පුංචි නෝට් බුක් එකකුයි පැනකුයි අරගෙන නිස්කලංක තැනකින් වාඩි වෙන්න. මාසේ වියදම් සැලසුම් කරන්න. දැන් ඔබ දන්නවා පොත් වලට වියදම් කල හැකි මුදල. ඒ මුදල පමණක් ගෙනියන්නත් වග බලා ගන්න. මොකද පොත් සුවඳ ඔබේ සැලැස්ම අමතක කරවන්නට සමත් නිසා.

මිලදී ගන්නා පොත් වල ලැයිස්තුවක් සාදා ගන්න

ඔබ ළඟ තියෙන පොත් මොනවාද කියලා ටිකක් බලන්න.සමහර අයට තමන් ළඟ තියෙන පොත් වල නම් මතකවත් නැහැ. ඒ නිසා තියෙන ඒවම ආයෙම ගන්නවා. ප්‍රධාන පොත් ප්‍රකාශකයෝ හැම කෙනෙක්ටම වගේ එයාලගේ පොත් විස්තර සටහන් කල වෙබ් අඩවි තියෙන නිසා මේ වැඩේ ඔබට ඒ හැටි අපහසුවකින් තොරව කරගන්න පුළුවන්. අනික එතකොට බොරුවට කාලේ නාස්ති වෙන්නෙත් නැහැ.

මැප් එක බලලා යන්න

ඇතුල් වන දොරටුව ආසන්නයේ වෙළඳ කුටි පිහිටුවා ඇති ආකාරය සටහන් සිතියම තියෙනවා. අනිවාර්යයෙන්ම එය අධ්‍යනය කරලා ඇතුලට ගියානම් එකම තැන රවුම් ගගහා ඉන්න ඕනා නැහැ.

ටිකක් ලොකු බෑගයක්

දැන් ගන්න පොත් ගේන්නේ කොහොමද? අතින් කටින් එල්ලගෙන රස්තියාදු වෙනවට වඩා, ටිකක් ලොකු බෑගයක් ගෙදරින් ගෙනියන්න. එතකොට කිසිම කරදරයක් නැහැ.

කන්නේ බොන්නේ කොහෙන්ද?

සමහරවිට පොත් වලට වඩා සල්ලි යන්නේ කෑම බීම වලට. වතුර බෝතලයක්, පුංචි බිස්කට් පැකට් එකක් වගේ දෙයක් ගමන් මල්ලේ තිබුනොත්ප හසුවක් වේවි. එහෙම නේද ?

මුදල් පසුම්බි අතකර කනකර ගැන සිහි කල්පනාවෙන් ඉන්න

පොත් දැක්කම මෙලෝ සිහියක් නැතිව තෝරන්න යන සමහරු පොත් අරගෙන සල්ලි ගෙවන්න ගියාමයි දන්නේ මුදල් පසුම්බිය නැති වග. මොකද ඔබ යන්නේ පොත් ගන්න වුනත් එතනට එන හැමෝමගේ අරමුණ ඒක නෙමෙයි කියලා මතක තියාගන්න. පුලුවන්නම් වටිනා කියන අභරණ පැළඳගෙන යන්න එපා. කෘතීම අභරණ තියෙනවා ඇති තරම් ඔබේ රුව රැකදෙන්න.

ඉතින් පොත් වසන්තය ගැන කලබලයෙන් ඉන්න ඔබට අමතක වෙන්න පුළුවන් මේ කරුණු ටික මතක් කරන්නයි අපිට ඕනා වුණේ. පොත් එක්ක ලස්සන දවස් කිහිපයක් කිසිම කරදරයකින් තොරව ගත කරන්න මේ සැලසුම් සමඟ ඔබට අවස්ථාව ලැබෙයි කියලා අප හිතනවා.

– චම්මි –