පීඩනයට උත්තරයක්

විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල දී මුහුණදෙන මානසික පීඩන තත්වයන් සහ ඒ තත්වයන් පාලනය කරගන්නා ආකාරය ගැන මෙවර හඳුනාගනිමු.

මානසික  පීඩන තත්වයන් දිගින් දිගට ම පැවතීමෙන් එය ආතති තත්වයක් බවට පත්වෙනවා. එදිනෙදා ජීවිතයේ දී යම් කිසි මට්ටමක ආතති තත්වයක් පැවතීම පුද්ගලයකුට ක්‍රියාශීලීව මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව  ක්‍රියා කිරීමටත්, පරීක්‍ෂාකාරීව සහ උද්‍යෝගිමත්ව කටයුතු කිරීමටත් අවශ්‍ය මානසික සහාය ලබාදෙන බව වෛද්‍යවරුන් පවසනවා.

කෙසේ වුවත් එක්‌තරා සීමාවකට පසුව මානසික ආතතිය කෙ‍නෙකුගේ පෞරුෂයට, මනෝභාවයට,  සෞඛ්‍යයට, ඵලදායීතාවට, සබඳතාවන්ට යනාදී වශයෙන් මුළු ජිවිතයටම අහිතකර ලෙස බලපෑම් ඇතිකරනවා.

විශේෂයෙන්ම මානසික ආතතිය පුද්ගලයකු තුළ ඉතාමත් අහිතකර ඥානාත්මක (cognitive), භාවවිශයක (emotional) හා ශාරීරික (Physical)බලපෑම් ඇති කරන බව වෛද්‍යවරු සඳහන් කරනවා. අසාමාන්‍ය ලෙස අමතකවීම, අවධානය යොමු කිරීමේ නොහැකියාව, තීරණ ගැනීමේ අපහසුතාව යන ලක්‍ෂණ බහුලවීම නිසා මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයකු තුළ සෘණාත්මක ලක්‍ෂණ නිතැතින්ම පහළ වීම නොවැළැක්විය හැකි තත්වයක්.

දිගුකාලීනව මානසික ආතතියට ගොදුරුවීම නිසා ඇතිවන සෘණාත්මක මනෝභාවයන් නිසා පුද්ගලයකු තුළ ක්‍ෂණික කෝපය, අනවශ්‍ය කලහකාරී බව, විනෝදවීමේ නොහැකියාව සහ සතුටක්‌ නොදැනීම, නිතර දැනෙන තනිකම හා තනිවී සිටීමේ අසාමාන්‍ය කැමැත්ත ද ඇති වෙනවා. ඒ විතරක් නොවෙයි,  මානසික ආතතියෙන් පෙළෙන්නකු තුළ පවතින පරාජිත සිතුවිලි මෙන්ම ඔවුන් තුළ නිරන්තරව පවත්නා කනස්‌සල්ල තමයි  ඔවුන්ගේ අසාමාන්‍ය නිහඬ බවට හේතුව වන්නේ.

තරගකාරී සහ අතෘප්තිකර  සිතුවිලි බහුලවීමත් මානසික ආතතියෙන් පෙළෙන්නකු තුළ දක්‌නට ලැබෙන විශේෂ ලක්‍ෂණයක්. ඒ වගේ ම  ඔවුන් බොහෝවිට හිතමතා වගකීම් පැහැර හැරීමටත් පෙළඹෙන බවක් දකින්න පුළුවනි.

සාමාන්‍යයෙන් මානසික ආතතියෙන් පෙළෙන්නකු තුළ නිතර නිතර හේතුවකින් තොර වේදනා හටගන්නවා.නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව, අතීසාරය හෝ මළබද්ධය, වමනය, කරකැවිල්ල, පපුවේ දැවිල්ල සහ ලිංගික ආශාවන් හීනවීම වගේ රෝග තත්වයන් පවා ඇතිවන්නට ඉඩ තියෙනවා. ඇතැම් විට ආහාර නොගැනීම හෝ අසාමාන්‍ය ලෙස වැඩිපුර ආහාර ගැනීම, නින්ද නොයැම හෝ අසාමාන්‍ය ලෙස වැඩිපුර නිදා ගැනීම, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්පානය කිරීම ද දක්‌නට ලැබේ.

මාන්‍ය පුද්ගලයකුට වඩා මානසික ආතතියෙන් පෙළෙන්නකු දුර්වල හැසිරීම් රටාවන්ට (උදා – නියපොතු සැපීම, හිසකෙස්‌ සැපීම) හුරුවීමේ ප්‍රවනතාවයත් වැඩියි. දිගුකාලීනව මානසික ආතතියට ගොදුරුවීම නිසා බොහෝ අයට ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවනතාවයත් ඉහළ යන බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.

මානසික ආතතිය ශරීරයේ රුධිර සංසරණය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය (high blood pressure/hypertension) ඇති කරයි. රුධිර පීඩන තත්ත්වය දිගු කාලයක්‌ පැවතීමෙන් හෘද රෝග (hart attacks) සහ ආඝාතය (stroke) ඇතිවීමේ ප්‍රවනතාවය ඉහළ යනවා. මානසික ආතතිය ඇති විට හද ගැස්‌ම අසාමාන්‍ය ලෙස ඉහළ යන නිසා ද හෘද රෝග පවා ඇති විය හැකියි. එසේම, මානසික ආතතිය අසාමාන්‍ය ශ්වසන තත්ත්වයන් ඇති කරන නිසා පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවීමේ ප්‍රවනතාවය ද ඉහළ යාමේ අවදානමක් තිබෙනවා.

මානසික ආතතිය හේතුවෙන් අසාමාන්‍ය ආහාර රටාවන්ට හුරුවීම නිසා මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය නිසා නොයෙකුත් මන්දපෝෂණ තත්ත්වයන් හෝ අධික තරබාරු බව ඇති‍වනවා. ස්‌නායු දුර්වලතාවයන්, සම රැලිවැටීම නිසා ඇති වන වියපත් පෙනුම, ලිංගික බෙලහීනතාවය, වාත රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි තවත් නොයෙකුත් රෝගාබාධ වුවද දිගුකාලීන මානසික ආතතියට ගොදුරුවීම තුළින් ඇති විය හැකියි. මානසික ආතතිය ශරීරයේ ආරක්‍ෂක පද්ධතියේ ක්‍රියාකාරීත්වය අවම කරන නිසා ශරීරය ඉතා පහසුවෙන් බෝවන රෝගවලට ද ගොදුරු වන්නට ඉඩ ති‍බෙනවා.

මේවගේ නොයෙකුත් හේතු නිසා මානසික ආතතිය පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. මානසික ආතතිය පාලනය කිරීම යනු පුද්ගලයකුගේ දෛනික ක්‍රියාවන් සහ සිතුවිලි පාලනය කර ගැනීමයි. මෙය ඔබට දෙආකාරයකින් කළ හැකියි. ඔබට හැකිනම් ආතතියට හේතුවන පසුබිම වෙනස්‌ කරන්න, එසේ කළ නොහැකි නම් එවැනි අවස්‌ථාවන්ට ප්‍රතිචාර දක්‌වන ආකාරය වෙනස්‌ කරන්න.

ආගම දහමට නැඹුරුවීම, ශාරීරික ව්‍යායාම, මනා පෝෂණයක්‌ සහිත සමබර ආහාර වේලක්‌ ගැනීම, එළවළු, පලතුරු සහ පළා වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම, පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම, ගෙවතු වගාව, සෞන්දර්යාත්මක වින්දනය වැනි විවිධ ක්‍රියාවන් දෛනික ජීවිතයට එක්‌ කර ගනිමින් පිරිසිදුව පිළිවෙළකට විනෝදයෙන් දිවි ගෙවීම සහ අනවශ්‍ය කාර්යබහුල බවින් මිදී සැහැල්ලු දිවි පෙ‍වෙතක්‌ ගත කිරීමෙන් මේ තත්වය ඉතා පහසුවෙන් වළක්වා ගත හැකියි.

එමෙන්ම අහිතකර සෘණාත්මක ආකල්පවලින් ඔබේ මනස ඈත් කරන්න.  නිරෝගිමත් හා තෘප්තිමත් ජීවිතයක්‌ ගත කිරීම එවිට ඔබට අපහසු ඉලක්කයක් නොවෙයි. අතීතය හා අනාගතය පිළිබඳව අනවශ්‍ය ලෙස කල්පනා කරන්නට යාමෙන් වළකින්න.  තරගකාරීත්වය සමහර තැන්වලදී ඔබ ව්‍යාකූ කරාවි. කල්පනා කාරීව එයින් අත්මිදෙන්න. ලද දෙයින් සතුටු වෙන්න. ඒ තුළින් ඔබේ සිරුරට ‍ඔබේ මනසට දැනෙන සැහැල්ලුව කොයිතරම් වටිනවාදැයි එවිට ඔබට ම වැටහෙන්නට පටන්ගනීවි.

Related Articles

Don't Miss


Latest Articles