කියවන්න පොතක්- සෙංකොට්ටං

ඔව් මයෙ හීං කොල්ලෝ…ආතා කියලත් ලියනවා…අම්මා-තාත්තා-ආතා-කිරිඅම්මා-පුංචිඅම්මා-මාමා-නැන්දා. මේ ඔක්කොම ලියනවා. තව මේ ලෝකෙ නැති දේවල් පවා ලියනවා. අන්න එහෙම ලියලා ලෝකෙ ගැන ඉගෙනගනිං… පුතේ. ලොකු සල්ලිකාරෙක් නෙමෙයි, ලොකු දැවැන්ත මිනිහෙක් වෙයං… එහෙව් මිනිස්සුන්ට විතරයි මේ සමාජේ ගොඩනගන්න පුළුවං. වීරප්පුලියෝ, උඹල මං කියන එක හිතට අරං, කොල්ල අකුරු ලියන්න යොමු කරපං. උඹලා සමාජෙ අහුමුලුවල ජීවත් වෙන්න උවමනා නෑ. උඹලව අහුමුලුවලට දාල තියන උං උඹලගෙං උංගෙ කුඩිප්පරං වැඩ සේරම කරගන්නවා. අපේ රජගොල්ලංගෙ කාලේ ඉඳලා සිද්ධ උනේ ඒක. බලේ තියෙන එකා අනිකව දෙපයිං පෑගුවා. උඹලගෙ අහිංසකකමෙං උං පස්ස පැත්තත් හෝදගන්නවා. එහෙම වෙන්න ඕනි නෑ. දැං අපේ කාලෙ ඉවරයි. ඒත් මේ ඇබිංදං උන්ගෙ කාලෙ ලබන කොට උංට දෙපයින් හිටගෙන ඉන්න පුළුවං වාතාවරණයක් මේ රටේ තියෙන්න ඕන. මේ රටට ඔය මොන හෙණ ගෙඩියක්වත් නෑ නිවට නැති හොඳ උගත්තු ටිකක් බිහිවෙච්ච දාක… ඒත් එහෙම බිහි නොවෙන්න ඉඩ දෙන්නේ කවුද? බලපුළුවංකාරය ම තමයි. උංට පිනට ලැබුණු තරාතිරම-කුලය-නම්බු නාමය උං පාවිච්චි කොරනවා අනිකව පාගගෙන ජීවත්වෙන්න. එහෙම වෙන්න අවස්සිය නෑ. යමෙක් දස්ස නං, මොළේ තියෙනවා නං ඌට තැනක් තියෙන්න ඕන. බටහිර රටවල එහෙමයි. මිනිස්සු බෙදනව නං බෙදන්න ඕනි හොද ජාතිය නරක ජාතිය කියල විතරයි. එහෙව් නැතිව මිනිස්සු හරක් වගේ හං ගහල බෙදල වෙන් කොරන්න මොකෙකුටවත් බෑ වීරප්පුලියෝ…”

උපුටාගැනීම
සෙංකොට්ටං
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

උස්-පහත් මිනිස් පංතිවල අපූර්ව වූ සමාජ කතිකාවතක් නිර්මාණය කරන සෙංකොට්ටන් ඉතාමත්ම සංවේදනීය අපූරු කලා නිර්මාණයක්.ආදරය උසස් හැඟීමක් වූවත් කුලය පංතිය ධනය ඉදිරියේ ආදරේ ට හිමි තැන කොතැනද යන්න කතුවරයා ප්‍රශ්න කරනවා.

2012 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානය
2012 විශිෂ්ටතම නවකතාව විද්‍යෝදය සාහිත්‍ය සම්මානය
2012 විශිෂ්ටතම නවකතාව ගොඩගේ සාහිත්‍ය සම්මානය
2012 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වීම

සෙංකොට්ටං ලැබූ ඉහළම අගය කිරීම් වෙනවා.කාලය ඵලදායිව ගත කරන ආදරණීය කාන්තාවක් ලෙස ඔබ කියවිය යුතුම පොතක් තමයි සෙංකොට්ටං.

-ඉරේෂා-