දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය – හේමාස් ප්‍රධාන විධායක නිලධාරිනි කස්තුරි විල්සන්.

මම මවක්. වෘත්තිය ගැන හිතන්නේ ඉන්පසුව. මට අංක එක වෙන්නේ පවුල - කස්තුරි විල්සන්

හේමාස් හෝල්ඩිංස්හි ප්‍රධාන විධායක නිලධාරිනිය (CEO) ලෙස කස්තුරි විල්සන් මහත්මිය පත් වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. කාන්තාවක් ප්‍රධාන විධායක නිලධාරි ධූරයට පත් වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ම සංධිස්ථානයක් වෙනවා.

කිසිවක් ලබා ගැනීම පහසු නෑ. සටන් කිරීම සහ අරමුණ පසුපස හඹා යාම ගැහැණියකට තිබිය යුතුමයි. කස්තුරි මහත්මිය පවසන ලෙසට “ඔබ යම් දෙයක් කෙරෙහි මනස යොමු කරනවා නම් ඔබට ඕනෑම දෙයක් කළ හැකියි. ඒ වගේම සුදුසුකම් අත්කරගැනීමට බැරි තරමට කිසිවෙක් මහලු නැත.”

දියණියන් දෙදෙනෙකු සහිත මධ්‍යම පාන්තික පවුලක බාල දියණිය ලෙස හැදී වැඩුණු කස්තුරිගේ පියා ගණකාධිකාරවරයෙකු වූ අතර ඇයගේ මව ගුරුවරියක්. ඔවුන් ජීවත් වූයේ වැල්ලවත්තේ. බීමත් පියා රැකියාවට සමු දෙන්නේ ඇයට අවුරුදු හතරේ දි. ඉන්පසු ඇගේ මව රැකියා තුනක් කරමින් පවුලේ බරට කර දෙනවා. ඒ අතරේ නිවසේ කුකුළන්ද ඇති කරන්නේ ආදායම ඉහළ නංවා ගන්න. තාත්තාගේ බීමත්කම සහ ඇය දැරියක් ලෙස ඒවා දරා ගත් හැටි ඇය සිහි කරන්නේ මේ විදියට..

ඉස්කෝලෙන් පස්සේ, අක්කයි මමයි ත් කුකුළු කොටුවෙ වැඩ කළා. තාත්තට රස්සාවක් නැති නිසා අපිට සල්ලි තිබුණේ බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ කාලේ ඇඳුම්වලට වුණත් වියදම් කරන්න අම්මට ලොකුවට මුදල් නැහැ.වේටෙක්ස් රෙදි අරගෙන ඇවිත්, අම්මා ම ගෙදර ඇඳුම් මැහුවා. අක්කා ඇඳපු ගවුම් තමයි සමහර කාලවල මම ඇන්ඳේ. අම්මා විඳින දුක දැකපු නිසා අපි අම්මට කරදර කළේ නැහැ. ඉස්කෝලේ යන කාලේ මං අච්චාරු කන්න හරි ආසයි. ඒකට මම වැල්ලවත්තේ ඉඳන් බම්බලපිටියට පයින් ගිහින් බස් ගාස්තුව ඉතිරි කර ගත්තා අච්චාරු කන්න.

කස්තුරි ඉගෙන ගන්නේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ යි.නිවසේ අමිහිරි සිදුවීම් අමතක කරන්නට ඇය ක්‍රීඩාවට යොමු වෙනවා.ඇය නියෝජ්‍ය ක්‍රීඩා නායිකාව බවටද ඉන් පසු වර්ෂයේදී ක්‍රීඩා නායිකාව බවටද පත් වී තිබෙනවා.උසස් පෙළ කාලයේ පවා ක්‍රීඩාවල නිරත වූ දියණිය ගැන අම්මා කණගාටුවෙන් සිටි බව අද ඇය සිහි කරන්නේ සිනාවකින්.

උසස් පෙළ විභාගයට පෙනී සිට සතියකින් පසුව සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගම ලෙස හැඳින්වූ වරලත් ගණකාධිකාරී සමාගමකින් ඇයට තැපැල් පතක් ලැබෙන්නේ විගණන අභ්‍යාසලාභිනියක් ලෙස රැකියාවක් ලබා දෙමින්.
උසස් පෙළ ප්‍රතිඵල මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාව හැදෑරීමට කස්තුරිට අවස්ථාව ලැබෙනවා.
විශ්වවිද්‍යාලයේදී ලබන්නට සිදු වූ අත්දැකීම් අතර උත්සාහයක් නොදරා අතහැර දැමීම්, ඇතුළාන්තයෙන් බිඳ වැටීම් ගැන ඇය තවමත් සිහි කරනවා.
හොඳ ආර්ථිකයක් ලබා ගැනීමට සුදුසුකම් සකසා ගැනීමට ඇයත් සහෝදරියවත් උනන්දු කරන්නේ අම්මා විසින්.
“අම්මාට අවශ්‍ය වුණේ නැහැ අපි මුළුතැන්ගෙයි කුස්සි අම්මලා වෙනවා දකින්න..”
ඇය ඒ ගැන කියන්නේ එහෙමයි.

වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) පාඨමාලාවන්ට ඇය අයදුම් කරනවා. ඇගේ ප්‍රධානීන් එම පාඨමාලාව සඳහා ගෙවීම් කිරීමට එකඟ වෙන්නේ මුල් අවස්ථාවේදීම සියලුම විභාග ඇය විසින් සමත් වීම අනිවාර්ය කරමින්. ඇගේ දින චර්යාව කාර්යබහුල වෙන්න පටන් ගන්නවා. ඇය ජාතික දැල්පන්දු සහ පැසිපන්දු කණ්ඩායම්වල සාමාජිකාවක් ලෙස සහ 1989 සිට එම කණ්ඩායම්වල නායිකාව ලෙස තරඟ කරමින් අ රාජකාරි සහ පාඩම් කිරීම සිදු කරනවා.CIMA විභාග සියල්ලෙන්ම සමත් වෙනවා.

අවුරුදු 22 වන විට විවාහ දිවියට එළඹී කස්තුරි වයස අවුරුදු 25 වන විට අම්රිත් සහ අශ්වින්ද් යන පුතුන් දෙදෙනාට මව වෙන්නේ ඒ අතර. පවුල් ජීවිතය ඉතාම සුන්දරව ගත කරන්නට සිතමින් ගැබිණි සමයේ රැකියාව පවා අත් හරින්න හිතන ඇයට සමාගම පාර්ට් ටයිම් වැඩ කරන්නට ඉල්ලීමක් කරනවා. නමුත් හොඳ බිරිඳක් වන්නට සිහින දුටු ඇය 1999 දී දික්කසාද වෙනවා.

“දරුවන්ගේ කාරණාවලදී අපි හොඳ මිත්‍රයෝ. ඔහු ඉතා හොඳ පියෙක්. නැති වූ දේ ගැන හිතනවට වඩා, තියෙන දේ එක්ක සතුටින් ඉදිරියට යන එකයි වැදගත්. ජීවිතේ දි වුණත් ව්‍යාපාරයකදී වුණත් මේ දේ හැම විට අදාළයි.”

අත්හැරී ගිය බැඳීම ඇය දැන් දකින්නේ ඒ විදියට..

නමුත් ඇය ජීවිතය නවතා ගන්නේ හෝ අරමුණු අත හැර ගන්නේ නෑ.

සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගමේ විගණන කළමනාකරු සහ අධ්‍යක්ෂක උපදේශක තනතුර දැරූ ඇය පසුව ඇරමෙක්ස් එයාබෝන් ලංකා සහ කොන්ෆිෆි හෝටල් සමූහයේ මූල්‍ය පාලිකාව බවට පත් වූ අතර 2002 මාර්තු මාසයේදී හේමාස් හෝල්ඩිංස් සමඟ එකතු වෙනවා. එහිදී ඇය මුලින් මූල්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ අතර පසුව හෙම් ටුවර්ස්හි මූල්‍ය අධ්‍යක්ෂක තනතුර හොබවනවා.
මේ වන විට කස්තුරි මහත්මිය, මොරිසන් පීඑල්සී, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ කැපිටල් එලායන්ස් ලිමිටඩ්හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරනවා. ඇය ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ (SLCPI) වත්මන් සභාපතිනියද වන අතර මෙවැනි තනතුරක් හොබවන පළමු ශ්‍රී ලාංකික කාන්තාව වීම විශේෂත්වයක්.

එමෙන්ම තවත් බොහෝ කමිටුවල සාමාජිකයෙක් ලෙසද අධ්‍යක්ෂක මණ්ඩලයේද ඇය සේවය කරන බව සඳහන්. ශ්‍රී ලංකාවේ බලවත්ම කාන්තාවන් ලෙස සැලකෙන දොළොස්දෙනා අතර කස්තුරි මහත්මිය ද සිටිනවා.
දැන් ඇය හේමාස් හෝල්ඩිංග්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවනවා.

මේ වන විට ඇගේ පුතුන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර තවමත් ඇගේ හැම උදෑසනක්ම වෙන් වන්නේ ඔවුන් සමඟ වීඩියෝ ඇමතුම් වල යෙදෙන්නයි. ඇගේ මව රැක බලාගන්නේද ඇයයි.

කස්තුරි මහත්මිය හාවඩ් ව්‍යාපාර විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන හදාරා තිබෙන්නේ 48 හැවිරිදි වියේදී..
“මට පුළුවන් වුණා නම් ඔබටත් පුළුවන්” ඇය හැම කෙනාටම කියන්නේ එහෙම කතාවක්

-තිළිණි-