බබාලට මුලින්ම දෙන්න හොඳ ඝන ආහාර ගැන දැනුවත් වෙමු.

ළදරුවන්ට මාස හය වෙනකොටම අම්මලට තියන ලොකුම  ගැටලුව බබාව ඝණ ආහාර වලට හුරු කරවන එක.  පෝෂණ ගුණයෙන් ඉහළ පහසුවෙන්  සකසා ගත හැකි ළදරුවාට හොඳින් දිරවිය හැකි ආහාර තෝරා ගැනීම වැදගත්. ඉතින් මේ උත්සාහය එවැනි ආහාර වර්ග කීපයක් ඔබව හඳුන්වා දීමයි.

1. කෙසෙල්

ළදරුවන්ට අවශ්‍ය පෝෂණය සපුරන්න තියෙන හොඳම පළතුරක් තමයි කෙසල් කියන්නේ. පොටෑසියම් වලින් පොහොසත් කෙසෙල් ශරීරයේ තෙතමනය රැක ගනිමින් වියලීම අවම කරනවා. ඒ වගේම මාංශ පේශි වල නිසි ක්‍රියාකාරිත්වයට සහ දරුවාගේ හෘද සෛල හා හෘද රිද්මය මැනවින් පවත්වාගෙන යන්න හේතුවක් වෙනවා. මීට අමතරව, කෙසෙල් මඟින් දරුවාට අවශ්‍ය කාබෝහයිඩ්රේට් ප්‍රමාණවත් පරිදි ලබා දෙන අතරම එහි ඇති තන්තු දරුවාගේ ආහාර ජීර්ණය පහසු කරවනවා. ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෑරුප්පුවකින් හෝ හැන්දකින් ඉතා හොඳින් පොඩි කර දරුවාට ලබා දෙන්න.

2. අලිගැට පේර

දරුවා පෝෂණය කළ හැකි තවත් හොඳම ආහාරයක් තමයි අලිගැටපේර. අලිගැටපේර වල ඇති හිතකර මේදය දරුවාගේ මොළයේ වර්ධනයට උපකාරී වෙනවා වගේම සිරුරට ශක්තිය ලබා දෙනවා. හොඳින් පොඩි කර ගත් අලිගැටපේර වලට මව් කිරි ස්වල්පයකුත් එකතු කර දරුවාට ලබා දෙන්න.

3. කැරට්

කැරට් වල අඩංගු බීටා කැරොටින් දරුවාගේ සම පෝෂණය කරනවා. තවද එය විටමින් C, K සහ B8 ,කැල්සියම්, පොටෑසියම්, යකඩ සහ මැග්නීසියම් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විතයි. දරුවාගේ ඇස් පෙනීම වර්ධනය කරන්නත් ප්‍රතිශක්තිකරණ පද්දතිය වර්ධනය කරන්නත් කැරට් වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් ඉවහල් වෙනවා

4. බතල

බතල කියන්නේ එහි ඇති රසවත් බව නිසා දරුවන්ට ඉතා පහසුවෙන් කවන්න පුළුවන් තවත් පෝෂ්‍යදායි ආහාරයක්. බතල වලත් බීටා කැරොටින් අඩංගු වෙනවා. එය ශරීරයේදී විටමින් A බවට පරිවර්තනය වෙනවා. විටමින් A ඇස් පෙනීමත්, සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගන්න උදව් වෙන අතරම බිළිඳාගේ සමස්ත වර්ධනයට බලපානවා. පොතු ඉවත් කර හොඳින් තම්බා ගත් බතල හොඳින් පොඩි කර එයට වතුර ස්වල්පයක් එක් කර එහි ඇති ඝන බව අවම කර දරුවාට ලබා දෙන්න

Related Articles

Don't Miss


Latest Articles