‘පාට සේදුණු වත්සුණු – 3

අත්තම්මා එක්ක මා කාමරයෙන් නික්මෙන්නට හදනකොට ම ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. මගේ හදවත අලුතෙන් ම ගැස්සුණේ ය. කුසල් ආයේමත් කතා කරනවා ද යන බියෙනි මා දුරකතනය ගත්තේ. නමුත් තිරයෙහි සනිටුහන්ව තිබුණේ තුෂානි ගේ නම ය.

“තුෂී…මගෙ යාළුව කතා කරන්නෙ”

කාමරයේ දොර ළඟ නතර ව මදෙස බලා හිඳින අත්තම්මා ට මම සිනහවකින් කීවෙමි.

“එහෙනං ඉක්මනට කතා කරල එන්නකො. කෑම සීතල වෙනව”

කියා ගෙන අත්තම්මා නික්ම ගියා ය.

“තුෂී”

මම ඉක්මන් සතුටකින් කතා කළෙමි.

“ගයා. ඔන්න හෙට උදේ මං එනව”

“හෙට…තුෂී ඒත් පොඩි අවුලක්නෙ. මං දැන් ඉන්නෙ ගෙදර නෙවෙයි”

“එහෙනං…”

“අත්තම්මල මාව අවිස්සාවේල්ලෙ අත්තම්මලගෙ ගෙදර එක්කං ආව”

“ඒකත් එහෙමද…ඒත් දැං මං මේ ලෑස්ති වෙච්ච ගමන එනව ගයා. මේ කැලේට වෙලා ඉඳං මං කොහොමද ජොබ් එකක් හොයා ගන්නෙ…කාට හරි ඉස්කෝලෙ යාළුවෙක්ට කතා කරල දැනට නවතින්න තැනක් හොයා ගන්නං. මට ඔයාගෙ ගෙදර තියන ප්‍රශ්නෙ නොතේරෙනව නෙවෙයි”

“හරි. මං සීයලත් එක්ක කතා කරල  ඔයාට කෝල් බැක් කරන්නං. එතකං කාටවත් කතා නොකර ඉන්නකො”

කියා දුරකතන සම්බන්ධය බිඳ දැමූ මම කෑම කාමරය වෙත ගියෙමි. සීයා ත් අත්තම්මා ත් මේසය ට වාඩි වී මා එන තෙක් බලා සිටියහ. එය මට නුපුරුදු අත්දැකීමකි. මගේ අතීතය පුරාවට මා කෑම කෑවේ තනිව ම කීවොත් මුසාවක් නොවේ.

“ඇයි මං එනකල් හිටියෙ. කන්න තිබුණනෙ සීයා”

“දැං ඉතිං කෑම සීතල වෙනව කියල බැණ බැණ හරි කෑම මේසෙට තව කෙනෙක් එනකල් බලං ඉන්න පුළුවන් නෙ…නේද පුතාලගෙ තාත්තෙ…”

“නැත්තං. බලං ඉන්න එක තමයි ආදරේ කියන්නෙ. පහුගිය කාලෙ පුරාම එනකල් කියල බලං ඉන්න කෙනෙක් නැතුවනෙ අපි හිටියෙ”

පපුව පිච්චී ගියා බඳු සංවේදනයක් මට දැනිණ. අප හැම කෙනෙක් ම හිඳින්නේ ජීවිතය තුළ මොන තරම් තනි වී ගෙන ද? ඒ තනි කම දරා ගැනීම කෙතරම් දුෂ්කර ද කියා මම හොඳට ම අත්විඳ ඇත්තෙමි. නමුත් දුෂ්කරයි කියා ජීවිතය හැර යා නො හැකි ය. මේ තරම් වයස් ගත වී ත් අත්තම්මා හා සීයා තණ අග එල්ලුණ පිනි බිඳක් සේ බලාපොරොත්තු දල්වාන, ජීවිතයෙහි එල්ලී ගෙන සිටින්නේ එබැවිනි.

“දැං කතා කරපු තුෂී මගෙ ඉස්කෝලෙ යාළුව අත්තම්ම. එයා මෙහෙ නෙවෙයි. ඔය කතරගමටත් එහා ඈත. ජොබ් එකක් හොයාගන්නකල් එයා අපේ ගෙදර ඇවිත් නවතින්නයි හිටියෙ. ඔය දැං කතා කළේ හෙට එනව කියන්න”

“අනේ දෙයියනේ. ඉතිං දැං මොකද කරන්නෙ…”

“පව්. එයා ප්‍රශ්න ගොඩක් තියන පවුලක ළමයෙක්. ශිෂ්‍යත්වෙ පාස් වෙලයි අපේ ඉස්කෝලෙට ඇවිත් තිබුණෙ”

පාසල් නේවාසිකාගාරයේ තනි වූ ඇයත් මාත් බොහෝ දුර ට සමාන තනි කමකින් පෙළුණු නිසාවෙන් අපි ඉක්මනින් ම සමීප විමු. ඒ මිතු දම පාසල් ජීවිතය අවසාන වන තුරු ද පැවතිණ.

“පව්. ඉතිං ඒ ළමයට තැනක් හොයා ගන්නකල් මෙහෙ ටික දවසකට නවතින්න කියන්න. නේද පුතාලයි තාත්තෙ”

“ඔව් ඉතිං. ගයාත්මිත් එක්ක එහෙ ගෙදර නතර වෙන්න හිතං හිටියනං…එහෙම දරුවෙක්ට උදව් කළාට පව් සිද්ද වෙන්නෑනෙ. ඒ ළමය තැනක් හොයා ගන්නකල් ඇවිත් ඉන්න කියන්න”

“අනේ තෑන්ක් යූ සීයා. තැන්ක් යූ අත්තම්මා. මං ඉක්මන්ට එයාට කියල එන්නං”

“මේ මේ. දැං කෑම කාල ඉන්න. පස්සෙ ඕක කියන්න බැරි කමක් නෑනෙ”

අත්තම්මා අතින් අල්ලා මා නවතා ගත්තා ය. මම ඔවුන් ගේ ආ ගිය කතා අසමින් සතුටින් කෑම කෑවෙමි. තුෂී ට උදව් කළ හැකි වීමත්, මටත් පවුලක් කියා දෙයක් ලැබුණා ය යන හැඟීම ත් හැරෙන්නට වෙන සතුටක් එතැන වූයේ නැත. අළු යට ගිනි පුළිඟු සේ, කුසල් ගැන බියකරු සිතිවිලි මගේ චිත්තාභ්‍යන්තරයෙහි වූයේ ය. යළි ගෙදර එන්නට ය කියා ඔහු මට තර්ජනය කළේ ය. ඉතින් හෙට උදා වෙන දවස කෙබඳු වේවි ද කියා සිතා ගැනීමටත් අසීරු ය.

වෙනදා නම් එවන් තර්ජනයකදී මා දැඩි සේ බිය පත් ව උදෑසන ම ගෙදර දිව යන්නට තිබිණි. නමුත් මේ සීතල රාත්‍රියේ දී මම පෙර ට වඩා සිතින් සවිමත් ව සිටියෙමි.

උදේ මා අවදි වන විට හිරි පොද වැස්සක් ඉහිර යමින් තිබිණි. දිග වීදුරු ජනේල වලින් ඈත පෙනුන නත්තසූරිය වැටේ මල්, වැස්ස නිසා කෝල වූ යෞවනියන් මෙන් මූණු බිමට නැඹුරු කර ගෙන සිටියේ ය. මේ අරුණෝදය මොන තරම් නම් සෞම්‍ය ද ? මම ගෙහි දුහුවිලි පිස දමා අතුපතු ගෑවෙමි.

“ඉස්සර වගේ මට දැං ඔය වැඩ කරන්න බෑ. කොන්දෙ අමාරුව එනවනෙ. ඔය ශාන්ති කම්මැළි කමට හොර වැඩ කරනව මිසක් හරියකට දූවිල්ලක්වත් පිහිදාන්නෑ”

අත්තම්මා ගතු කීවා ය.

“කෙල්ලෙක් නැති ගෙදර ඔහොම තමා ඉතිං”

“දැං මං ඉන්නවනෙ අත්තම්ම”

“අම්මා…අම්මා”

මිදුල දෙසින් කතා කරන හඬක් ඇසිණි. මමත් අත්තම්මා ත් උනුන් දෙස බැලුවෙමු. ආලින්දයෙහි ප්‍රධාන දොරෙන් ඇතුල් වෙමින් සිටියේ මාමා හා ඔහු ගේ බිරිඳ තේජා ය. මම සිනහවක් නගා ගතිමි. නමුත් ඔවුන් ගේ මුහුණු මත සිනා පොදක් වත් වූයේ නැත.

“අම්ම පොඩ්ඩක් එන්නකො ඇතුළට”

තේජා නැන්දා අත්තම්මාටත් කලින් ඇතුල් ගෙට ගියා ය. මමා ද ඔවුන් පස්සේ ඇවිද ගියේ ය. මාමා කියන්නේ අම්මා ගේ වැඩිමහල් සොයුරා ය. අම්මා ට අයියලා දෙදෙනෙකි. ලොකු මාමා කාලයක් තිස්සේ පවුල පිටින් ම ඉතාලියේ පදිංචි වී සිටියි. ඔවුන් ලංකාවට එන්නේ ඉතාමත් ම කලාතුරකිනි. පොඩි මාමා පදිංචි අවිස්සාවේල්ලේ ය. නමුත් ඔහු සිංහල අවුරුද්දට මිස මෙහි එන්නේ ඉතා කලාතුරකින් උවමනාවකට බව අත්තම්මා ඊයේ කීවා ය.

“අම්මෙ අපි රෙද්දක් ඇඳගෙන ජීවත් වෙන්න ඕනෙ. ඒකි මගෙ සහෝදරී නෙවෙයි දැං. කොටිංම මට එහෙම සහෝදරියක් හිටියෙ නෑ. එහෙම එකීගෙ දුවව මේ ගෙදරට ගෙන්නගත්ත එකට මං කොහෙත්ම කැමති නෑ”

පොඩි පොඩි මිමිනුම් වලට පසු මාමා කී ඒ කතාව ගේ දෙදරවමින් පැතිර ගියේ ය. ඔහු ට ඕනෑ වන්නට ඇත්තේ මා ආවාට ඔවුන් නො කැමති බව මට දැනෙන්න අරින්න ය.

“කට වහගනිං අජන්ත. උඹට කිසිම අයිතියක් නෑ ඔය විදිහට කතා කරන්න. ඒ මගෙ මිණිපිරී. මොකද ඒකිට අයිතියක් නැත්තෙ…ඒකිට ඕන වෙලාවක මේ ගෙදරට එන්න යන්න පුළුවන්”

මා වඩාත් උවමනාවෙන් ඇහුම් කන් දෙන්නට ගත්තේ ඒ මා ගැන කතා බහක් වන හින්දා ය.

“ඔහොම කතා කරන්න එපා අම්මෙ. කෝසලා කරපු වැඩේ නිසා නෑදෑයො අපිටත් හිනා වෙන්න අරං තියෙන්නෙ. එහෙම එකේ මේ ළමයව මෙහෙට වද්දගත්තහම අපේ ළමයෙක් ව වුණත් අපි මේ ගෙදර ට එවන්නෙ කොහොමද …”

ඒ තේජා නැන්දා ය. මට මහත් ආත්මානුකම්පාවක් දැනෙන්නට ගති. ඇස් කෙවෙනි පිච්චීගෙන ආවේ කඳුළු උනන්නට මෙනි. මම ඉක්මන් කෙටි හුස්ම ගනිමින් සිටියෙමි.

“අනේ මේ මගෙ කට අවුස්සගන්නැතුව හිටපල්ල. උඹලගෙ ළමයි හරියට එන්නෙ සීයගෙයි මගෙයි සැප දුක් බලල යන්න. මේ අල්ලපු වැටේ හිටියත් උඹල මෙහෙට පය ගහනවද බං උවමනාවක් නැතුව…”

“මොකද මොකද මේ සද්දෙ…මොකද්ද මෙතන වෙන්නෙ නන්දා…”

මා සිටි කළබලයේ තරමට සීයා මා පසු කර ගෙන ගිය බවක් වත් මා දුටුවේ නැත.

“මේගොල්ලොන්ට පිස්සු පුතාලගෙ තාත්තෙ. අර ගයා කෙල්ල මෙහෙ නතර කර ගත්ත එකට දොස් කියන්නෙ.”

“කාටවත් මොකද්ද තියෙන අයිතිය අපේ තීරණේකට දොස් කියන්න…අපි කාගෙවත් තැනක වැටිල ඉන්නෑ. අපි කාගෙංවත් කාල ඇඳල ඉන්නෙ නෑ. ඒ වගේම මනුස්සකම ගැන අපිට කාගෙංවත් ඉගෙන ගන්න ඕන නෑ”

මාමලා නික්ම ගියේ මේ හතර මායිමේ පස් නොපාගන බව කියමිනි. තේජා නැන්දා මා දැවී යන බැල්මක් ද හෙළුවා ය.

“අනේ අත්තම්ම. මං යන්නං. මං නිසා ඕගොල්ලො  රණ්ඩු වෙන්නෙපා”

මම අත්තම්මා වැළඳ ගෙන ඉකි බිඳ හැඬුවෙමි. නමුත් ඈ සිටියේ කළබලයකින් තොරව ය. සීයා නම් කේන්තියෙන් ආලින්දයේ ඒ මේ අත ඇවිද්දේ ය.

“අමු කැවිලද කොහෙද මුන්ට. අනේ ඇත්තට අපි දරුවො තුන් දෙනෙක් හැදුව නේද නන්දා…ඒත් අපිට බැරි වුණාද මුන්ට මනුස්සකම කියන දේ උගන්නන්න. හරිම ලැජ්ජයි. හරිම ලැජ්ජයි”

“හරි හරි. දැං ගයාත්මි ඕව ගැන හිතන්න ඕන නෑ. යාළුවත් එන නිසා අද අපි ජයට කෑම වේලක් හදමු”

මම කඳුළු පිසලමින් දෙතොල් තෙරපා සිනහවක් නගා ගතිමි.

“කවුරුවත් නිසා අඬන්න එපා ගයාත්මි. කවුරුහරි අපිව අඬවන්න හදනවනං අපි කරන්න ඕනෙ ඒ කෙනාට පේන්නම හිනා වෙන එක. අන්ඩස්ටූඩ්…”

සීයා මට පළමු පාඩම කියා දුන්නේ ය. මම ප්‍රීතිමත් මඳහසකින් හිස සැළුවෙමි. සීයා මා ළඟට ඇවිත් මගේ හිස් මුදුන පිරිමැද්දේ ය.

උදෙන් ම කඳුළක් දෙකක් වැටුණා ට මම ඉක්මනින් ප්‍රබෝධමත් වීමි. තුෂී ගේ ඇසුර යළි ලැබෙනවා කියන්නේ මට ලොකු දෙයකි. පහුගිය කාලය පුරා හිතමිතුරු ඇසුරක් ළඟ නැති අඩුව මට හොඳට ම දැනෙමින් පැවතිණි. ඈ ළඟ හිටියා නම් කුසල් ට වුව මා ඒ තරම් ඉක්මනින් සමීප නො වන්නට තිබිණි.

එදා කෑම ඉව්වේ මා ය. ශාන්ති එහෙන් මෙහෙන් දමා ගසන කෑම රස නැතැයි කියා අත්තම්මා උයන්නට ගත්තා ය. නමුත් ඇය ලවා කොහොම මම වැඩ කරවමි ද? මගේ කෑම වල රසය ගැන විශ්වාසයක් නැතත්, සෑහෙන කාලයක සිට අම්මා ගෙදර එන විට රෑ කෑම උයා තබන පුරුද්ද නිසා මොනවා හෝ උයා ගැනීමේ හැකියාව මට තිබිණි.

“මිණිපිරී උයන කෑම කන්න තරං එහෙනං මං වාසනාවන්ත වුණා”

කියමින් කුස්සියේ පුටුවේ හිඳ අත්තම්මා මට අත් උදව් දුන්නා ය. මගේ ජීවිතයේ මා ආශාවෙන් ම පිසූ කෑම වේල එය විය යුතු ය.

“නන්දා. අර ළමය ඇවිත්. කෑම ලෑස්තියි නේද…මං කියන්නං අපිත් එක්ක කෑම ටිකක් කන්න එන්න කියල”

මේසයට කෑම තබන කොට ම සීයා ඉක්මන් ගමනෙන් ආවේ ය.

“අනේ එන්න කියන්න. උයාගත්ත දේ කාත් එක්ක බෙදං කෑවහම මොකද. මං වතුර තියන්නං”

අත්තම්මා කඩිමුඩියේ කෑම මේසයේ අඩුපාඩු සැකසුවා ය. ඔවුන් දෙදෙනා විසින් පෙර දා සැඳෑවේ මා දුටු යෞවනයාව ගෙදරට කැන්දා ගෙන ආවේ ධාතු වැඩම කිරීමක් බඳුව ය.

“මං යනකොට කඩෙං කෑම ගේන්න යන්න හදනව. අල්ලපු ගෙදර මිනිස්සු පොල් සම්බෝලයි බතුයි හරි කද්දි කඩෙං කන්න අරින්න පුළුවන් ද ඉලන්දාරියෙක්ට”

“අනේ…මොකට කඩෙං කනවද…ඔන්න මෙහෙ ආවහම තියන දෙයක් මෙහෙං කාල යන්න ඕන පුතා. මේක පිට තැනක් කියල හිතන්නෙපා”

“මං හින්ද කරදර වෙනව අත්තම්මයි සීයයි”

“අනේ මොන කරදරයක් ද දරුවො”

අමුත්තෙක් ද කෑම ට උන් නිසා අත්තම්මා හා සීයා මේසයට හිඳ ගත්තේ විශාල ප්‍රීතියකිනි. තුෂී එන්නට හවස් වේවියි කී නිසා මටත් කෑම මේසය මගහැරිය නො හැකි විණි.

“අත්තම්ම රහට උයලනෙ. ඇත්තටම හැමදාම මෙහෙ එන්න හිතෙනව කෑමට”

බත් කටකට දෙකකට වඩා කන්නට මත්තෙන් අමුත්තා කීවේ ය. අත්තම්මා හඬ නගා හිනැහුණා ය. ඒ සිනහවෙහි කෙතරම් සැහැල්ලුවක් වූවා ද කියා මම මොහොතකට නතර වී සිතුවෙමි. ඒ තරම් සැහැල්ලුවෙන් සිනා සී ඇති දවසක් මගේ මතක ඉතිහාසයේ නම් නොවේ.

“මං නෙවෙයි අපේ මිණිපිරී ගයාත්මි තමයි අද ඉව්වෙ”

මට සම්මුඛ අසුනෙහි හිඳ උන් යෞවනයා ගේ ඇස්, එක නිමේෂයකට මගේ ඇස් වල පැටලිණි. මම ඉක්මන් සිනහවකින් බිම බැලුවෙමි.

“අම්මෝ. එහෙනං අර කතාව ඉල්ලල අස් කර ගන්න වෙයි”

“මොන කතාවද පුතා…”

“හැමදාම කෑමට මෙහෙ එන්න හිතෙනව කියපු කතාව. මෙයා ඒකට කැමති නෑ කියල මූණ බලපු විදිහෙං මට තේරුණා”

අත්තම්මා ත් සීයා ත් අමුත්තා සමග ම හරි හරියට හිනැහුණෝ ය. නමුත් මට නම් සිනහ වෙන උවමනාවක් දැනුණේ ම නැත. ඉක්මනින් මේසයෙන් නැගිට ගත් මම කාමරයට ගියෙමි. දුරකතනයෙහි, කුසල් ගෙන් පැමිණි ඇමතුම් දහ තුනක් මගහැරුණු බව සනිටුහන් ව තිබිණි. මා සීතල වී ගියේ ය.

ගංගා ෂයිනි ගමගේ

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content