කාන්තාරයේ දිරිය කුසුම – වාරිස් ඩයරි

සෝමාලියාවේ කාන්තාරයක වෙසෙන එඬෙර පවුලක දරුවෙකු ලෙස වාරිස් උපදින්නේ 1965 දී. ඉතා කුඩා වයසේ දී ඇය සුන්නත්කරණයට ලක් වෙනවා. මෙලොව කිසිම ගැහැණියකට සිදු නොවිය යුතු අපරාධයක් ලෙස සුන්නත් කිරීම හැඳින්විය හැකියි. කාන්තාර ගෝත්‍රිකයන් මේ සිරිත සිදුකරන්නේ ගැහැනු දරුවන් බිළිඳු අවදියේ දී යි. ඔවුන්ගේ ජනනේන්ද්‍රියේ කොටස් කපා දමන අතර ඉන්පසුව, ජනනේන්දිය මුත්‍රා කිරීමට කුඩා සිදුරක් ඉතුරුකොට තබා මසා දමනවා. මෙය විස්තර කළ නොහැකි තරම් වේදනාත්මක කටයුත්තක්.

මේ වද වේදනාවලට මුහුණ දෙමින් බැටලුවන් බලා ගනිමින් වාරිස්ගේ ජීවිතය ගෙවී යනවා. ඔටු කිරි වලින් බඩගින්න සහ පිපාසය නිවා ගැනීමට සිදු වීම කාන්තාරගත මිනිසුන්ගෙන් ඉරණමයි..ඕනෑම තරුණියකට ජීවිතයේ ගත යුතුම තීරණයක් එන දවසක් එනවා. ඒ ඇගේ මුළු ජීවිතයම තීරණය කරන දවසක් විය හැකියි. වයස්ගත මිනිසෙකු සමඟ විවාහ වීම හෝ පලා යාම අතරින් එකක් තෝරා ගන්නට වාරිස්ට සිදු වෙනවා. වයස දහතුනක් වූ ඇය තෝරා ගන්නේ පලා යාමයි.

ඇය සෝමාලියාවේ අගනුවර වෙන මොගඩිෂු වෙත යන්නේ එහි යාමට දැනගෙන නෙවෙයි. එහෙත් කළ යුත්ත එය බව ඇය සිතනවා. නපුරු සතුන්, සල්ලාල පිරිමින් සමඟ සටන් කරමින් වාරිස් නොනවත්වා ඇගේ ගමනේ යෙදෙනවා.

කාන්තාරයෙන්, මොගඩිෂු වෙත යන වාරිස් එහි ඇගේ සොයුරියක සහ නැන්දණියක ළඟ ජීවත් වීම අරඹනවා.   එතැනින් එංගලන්තයට ද ඇය සංක්‍රමණය වෙනවා. ඒ තානාපතිවරයෙකු වූ ඇගේ ඥාතියෙකුගේ නිවෙසක මෙහෙකාරියක ලෙසයි.1983 අවුරුද්දේ එසේ මෙහෙකාරියක වෙද්දී ඇය අවුරුදු දහසයක දැරියක්. මාමාට හදිසියේ යළිත් සෝමාලියාවට යාමට සිදු වුණත් වාරිස්ට එය අවශ්‍ය වන්නේ නෑ. ඒ නිසා ඇය විදෙස් ගමන්බල පත්‍රය සඟවනවා. මාමා ඇයව දමා සෝමාලියාවට යන්නේ ඇය රැගෙන යන්නට නම් විදෙස් ගමන්බල පත්‍රය තිබිය යුතු වුවත් එය නැති නිසා.

පාරට බැස ඇවිද යන වාරිස් ට තවත් අප්‍රිකානු යුවතියක් මුණ ගැසෙනවා. ඇය නිසා ලන්ඩන් YMCA හි නවාතැන් ගෙන මැක්ඩොනල්ඩ් අවන්හලක සේවය කරන අතර ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා වාරිස් බ්‍රිතාන්‍යයේ විශිෂ්ඨ ම ඡායාරූප ශිල්පියෙකු වූ ටෙරන්ස් ඩෙනොවස්ගේ ඇස ගැටීමත් සමඟ කාන්තාරයේ දිරිය කුසුම ලෝකයේ ජනප්‍රිය නිරූපිකාවක වීමේ ගමන අරඹනවා. ටෙරනස් ඇයව Pirelli නම් කැලැන්ඩරයට තෝරාගන්නවා. එතැන් පටන් ඇගේ අපූරු ලාලිත්‍යම සිරුර නිෂ්පාදන සන්නායමක් වීම ඇරඹෙනවා. Vogue, Elle, Glamour සඟරා කවර සැරසීමට මෙන්ම ප්‍රසිද්ධ සන්නම් නාමයන් වන André Courrèges, Chanel ‘Allure’ fragrance, Express Jeans, H & M, Levi’s, L’Oréal, Mey Bodywear, Oil of Olay, Prescriptives make up, Revlon හී සිය රුව නිරූපණයට ද වරම් ලැබීම ඇය ලැබූ වටිනා අවස්ථාවන් ලෙස හඳුන්වන්න පුලුවන්.මේ අතර පුරවැසිභාවය වෙනුවෙන් විවාහ සිදු කරගන්නට පවා වාරිස්ට සිදු වෙනවා.

ඇය පිළිබඳ වාර්තා වැඩසටහන් සැකසෙන අතර 1995 BBC වාර්තා වැඩසටහන ඉන් ඉහළ තැනක ලා සැලකිය හැකියි. ඇයට යලි මව හමු වෙන්නේ ඒ කාලයේදීයි.

ජීවිතය ස්ථාවර වීම සමඟ ඇය සුන්නත්කරණයට එරෙහිව හඬ නඟන්නට පටන් ගන්නවා. සුන්නත්කරණය කාන්තාවගේ උරුමය බව සිතා සිටි වාරිස් බ්‍රිතාන්‍යයේ රෝහලකදී සුන්නත්කරණයේ අඳුරු මතක හැකි පමණ අඩු කරගන්නට සැත්කමකට යොමු වෙනවා. http://desertflowerfoundation.org නම් සංවිධානය අරඹන්නට ඇය තීරණය කරන්නේ ඉන්පසුව.

වාරිස් ඇගේ කතාව Desert Flower ලෙස ලියා තබන්නේ කැත්ලින් මිලර් හා එක් ව. එහි දිගුවක් ලෙස Desert Children  ද ඈ අතින් ලියැවෙනවා. කාන්තාර ජීවිතය මොනතරම් දුෂ්කර ද යන්න ඒවාගේ ලියැවී තිබෙනවා. පසුකාලීනව මේ කෘති ඇසුරින් චිත්‍රපට ද නිර්මාණය වෙනවා.

Glamour සඟරාව 2000 වසරේ දී Woman of the Year Award ඇයට ලබා දෙනවා. එතැන් පටන් ඇය බොහෝ සම්මානයට පාත්‍ර වෙනවා. Sunhak Peace Prize (2019)  Seoul හිදී ඇයට ලැබෙන්නේ ඇගේ කාන්තා හිමිකම් වෙනුවෙන් ක්‍රියාකාරී වීම නිසායි.

Aleeke සහ Leon නම් දෙදරුවන්ට මව වූ වාරිස් මේ වෙන විට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ යි.

ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිනියක් වන්නේ ද සුන්නත්කරණයට එරෙහිව සටන් කිරීම නිසා යි. නිරූපිකාවක , කතුවරියක, නිළියක, සමාජ ක්‍රියාකාරිනියක ලෙස ඇය ඉතා ස්මාර්ට් ජීවිතයක් ගෙවන ගැහැණියක්.

කම්කටොළු ඉවසමින් ජීවිතය දිනූ ඇය කාන්තාරයේ පිපී සුවඳ දෙන මලක්.

කදුළේ ගිලී යන්න එපා. කදුලු මල් වැස්සක් කර ගන්න. ඇය ඔබට කියන කතාව එය නොවේද?

Related Articles

Don't Miss


Latest Articles