වැසි සමයත් සමග නැවත හිස ඔසවන ඩෙංගු

පසුගිය අවුරුදු කීපය පුරාම ඩෙංගු උණ පිළිබඳවත්, ඩෙංගු නිවාරණය පිළිබඳවත් විශාල වශයෙන් අප සමාජය තුළ කතා බස් කෙරුණත් බොහෝ පිරිසකගේ අවධානය දැන් ඒ පිළිබඳව අඩු වෙලා බවයි පෙනෙන්නේ.

නමුත් නැවත වැසි සමය ආරම්භ වීමත් සමගම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා අපි නැවතත් මේ පිළිබඳව ඔබට මතක් කරන්න සිතුවා.

පසුගිය දශකය පුරා දරුණු ලෙස ලොව පුරා ව්‍යාප්ත වුණු දරුණු වසංගත රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙංගු රෝගය හඳුන්වනවා. වාර්ශිකව ලෝකය පුරා මිලියන 390ක ජනතාවක් මෙම රෝගයට ගොදුරු වනවා. පසුගිය වර්ශවල ලංකාව තුළත් ඩෙංගු රෝගය නිසා විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ අතර දැඩි අවධානම් තත්වයක් සමාජය තුළ මතු වී තිබුණා.

මේ නිසාම ඩෙංගු රෝගය පිළිබඳව දැඩි අවධානයක්ද සමාජය තුළ තිබුණා. කෙතරම් අවධානම් රෝගයක් වුවත් වැලදීමට ප‍්‍රථම එම රෝගයෙන් ආරක්ෂා වීමට විධි විධාන සලසා ගතහොත් එනම් දරුණු රෝගී තත්වයන් වුවත් වලක්වා ගන්න අපට පුළුවන්. ඒ නිසාම නැවතත් ඩෙංගු රෝගය පිළිබඳ ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මතක් කර දීම අපේ උත්සහයයි.

  1. ඩෙංගු රෝගයත් සාමාන්‍ය උණ තත්වයක් ලෙස හිතා ගෙන ඒතරම් අවධානයකින් තොරව කටයුතු කිරීම නිසා තමයි ඩෙංගු රෝගය වඩාත් සංකීර්ණ තත්වයට පත් වන්නේ. ඒ නිසාම උණ රෝගයක් ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට වැළැදී ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්.
  1. ඩෙංගු රෝගයේ ප‍්‍රධාන ලක්ෂණ වන,
  • තද උණ
  • හිසරදය හා ඇස් යට වේදනාව
  • මස්පිඬු හා සන්ධි වේදනාව
  • ඔක්කාරය හා වමනය
  • සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහනය

වැනි තත්ත්වයන් රෝගියා තුළින් නිරීක්ෂණය වෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කරන්න.

  1. උණ තත්වය දින 3කට වඩා පවතීනම් වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍යඋපදෙස් මත රුධිර සාම්පල පරීක්ෂාවක් සඳහා යොමු වන්න.
  1. පැරසිටමෝල් හැර උණ තත්වය පාලනය කිරීම සඳහා කිසිවිටකවත් Mefenemic Acid, Ibuprofen , Diclofenac වැනි කාණ්ඩයේ ඖෂධ ලබා නොගන්න.
  1. සැම විටම ඔබේ නිවස ඇතුලත මෙන්ම වත්තේද ජලය රැදෙන ස්ථාන පිළිබඳ අවධානය යොමු කර එම ස්ථාන නිතර පිරිසිදු කරන්න.
  1. ඔබේ වැඩි අවධානය නොයෙදෙන ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ජලය රැදෙන ස්ථාන පිරිසිදු කරන්න. සමහර ශීතකරණ පිටුපස ඇති ජලය රැදෙන ස්ථානය, ශාකවල අතු රිකිලි අතර ජලය රැදෙන ස්ථාන උදා- කෙසෙල් ගස්, වත්තේ වවන හබරල වැනි විශාල පත‍්‍ර සහිත ශාක
  1. ගෙදර ඇතුලත හෝ තම වත්ත පමණක් නොව ඔබේ වත්ත අවට ඇති පාර පවා පිරිසිදු කර ගැනීමට හැකිනම් කාලය යොදවන්න. මන්ද ඔබේ නිවස හෝ වත්ත පමණක් පිරිසිදු කර ගැනීමෙන් පමණක් ඔබ ඩෙංගු රෝගයෙන් ආරක්ෂා නොවන නිසා, ඩෙංගු මදුරුවා අසල වෙනත් ස්ථානයක් තුළ හෝ බෝ වීම ඔබෙත් අවට සියලූ දෙනාගේත් ජීවිතවලට තර්ජනයක් නිසා.
  1. ඔබේ දරුවා ඉගෙනුම ලබන පාසල ඩෙංගු මදුරුවන් බෝ වීමට අවකාශයක් නැති පිරිසිදු ස්ථානයක් බවට තහවුරු කරගන්න. පාසල පිරිසිදුව පවත්වාගෙන යාමට පාසලේ ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන් වන ඔබටද වගකීමක් ඇති බැවින් ඒ පිළිබඳ පාසල් පරිපාලනයේ අවධානය යොමු කරවීම ඔබේ වගකීමක් ලෙස වටහා ගන්න. එක් දරුවෙකුට හෝ ඩෙංගු රෝගය වැලදුනු පසුවයි බොහෝ පාසල් ප‍්‍රධානීන්ට මේ පිළිබඳව අවධානය යොමු වෙන්නේ. එතෙක් නොසිට ඔබේ දරුවා මෙන්ම අනෙක් දරුවන් වෙනුවෙන්ද පාසල ඩෙංගු මදුරුවන්ගෙන් නිදහස් කලාපයක් බවට පත් කිරීමට උත්සහ කරන්න.

මෙවැනි සුළු සුළු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම තුළින් වැසි සමයත් සමග නැවත හිස ඔසවන ඩෙංගු රෝගය සාර්ථකව නිවාරණය කර ගැනීමට අපට හැකි වේවි.

 

Related Articles

Don't Miss


Latest Articles