Varicose Veins හෙවත් නහර ගැට ගැසීමේ තත්ත්වයට විසඳුම්..

නහර ගැට ගැසීම නොහොත් Varicose Veins වර්තමානයේ බොහොමයක් දෙනා පීඩා විඳින තත්වයක්. මෙම නහර ගැට ගැසීම බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරයි. මූලික අවස්ථාවේදී ම නිසි ප්‍රතිකාර කළහොත් හොඳින් පාලනය කළ හැකි තත්ත්වයක් ලෙස මෙය හඳුනා ගත හැකියි.

නහර ගැට ගැසීම යනු කුමක්ද?

මිනිස් සිරුරේ රුධිරය ගමන් කරන නාළ දෙකක් තිබෙනවා. ඒ ධමනි සහ ශිරා යි. 
මෙම තත්ත්වය ඇති වන්නේ ශිරාවලයි. රුධිරය ගමන් කරවීමට උපකාරී වන කපාට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසාත් ඒවා දුර්වල වීම නිසාත්, ශිරා තුළ රුධිරය එක් රැස් වී ඇඹරීමකට ලක් වෙනවා. නහර ගැට ගැසීමක් ලෙස අප හඳුනාගන්නේ එම ක්‍රියාවලියයි.

නහර ගැට ගැසීම බාහිරින් හඳුනාගන්නා අයුරු

• නහර ඉදිමීම
• නහර ඉලිප්පී කැපී පෙනීම
• නහර ගැටිති සහිත වීම
• වේදනාව හෝ කැසීම
• කළු, නිල් හෝ දම් පැහැති වීම
• පාද වල බර බව 
• මස්‌ පිඬු පෙරළීම
• පාද හිරි වැටීම
• තුවාල ඇතිවීම

නහර ගැට ගැසීමට බලපාන හේතු

• දීර්ඝ කාලීනව සිටගෙන සිටීම
• ශරීර ස්කන්ධය වැඩිවීම
• මළබද්ධය 
• කැස්‌ස වැනි රෝග නිසා උදරයේ පීඩනය
• වයස්ගත වීමේදී නහර දුර්වලවීම
• හෝමෝන වෙනස්වීම
• නිසි ව්‍යායාම් නොමැතිවීම 

කාන්තාවන් අතර නහර ගැට ගැසීම බහුල වීමට සුවිශේෂී වන හේතුව

කාන්තාවන්ගේ ජීවන කාලය තුළ අවස්ථා කිහිපයකදී ම හෝමෝන වෙනස්වීම්වලට ලක්වන්නට සිදු වෙනවා. මාසිකව ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීමේදී හෝමෝන වෙනස්කම් ඇති වෙනවා. ගර්භනී සමයේදීත් හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩියි. මෙහිදී මූලික වශයෙන් බලපාන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයයි. 

මේවායෙහි ප්‍රතිඵලයක් ලෙස රුධිර නාල විස්තාරණය වෙනවා. එය කාලයක් තිස්සේ පැවතීම තමයි මූලික වශයෙන් මේ ශිරාගත කපාට දුර්වල වීමට හේතු වන්නේ. කපාට දුර්වල වී නිසි අයුරින් රුධිර ගමනාගමනය සිදු කරගත නොහැකි වූ විට මෙම තත්ත්වය ඇති වෙනවා.

නහර ගැට ගැසීම සඳහා වන ප්‍රතිකාර

බාහිරට පෙනෙන සේ රෝග ලක්ෂණ ඇති නොවේ නම් නහර ගැට ගැසීමට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නෑ. මේ නහර ගැට ගැසීම් තත්ත්වය සමාජයේ බොහෝ දෙනෙකුට ඇති නමුත් ඒ නිසා ඔවුන්ට කිසිම අපහසුවක් ඇති වන්නේ නැහැ. එහෙත් මේ හේතුවෙන් කිසියම් අපහසුතාවක්, වේදනාවක් ඇති වේ නම් සහනය පතා ප්‍රතිකාරවලට යොමු වීම කළ යුතු යි.

විශේෂිත මේස් පැළඳීම (Compression stockings )

මෙහි අරමුණ වනුයේ පාදය කිසියම් තද කිරීමකට ලක්කර රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීමයි. වළලුකර ආශ්‍රිතව පීඩනය වැඩි කරමින් ඉහළට යන විට ඉහිල් ආචරණයක් ඇති කිරීමට මෙම විශේෂ මේස් ක්‍රියා කරන නිසා එමගින් ගුරුත්වයට එරෙහිව රුධිර සංසරණය වේගවත් කෙරෙනවා. මේ නිසා වේදනාව, බර ගතිය හා ඉදිමුම කිසියම් ප්‍රමාණයකට අඩු කරගත හැකියි.

රසායනික එන්නත් කිරීම (Sclerotherapy)

රසායනික එන්නත් කිරීම (Sclerotherapy) මගින් පළල් වූ ශිරා වාහිනි කුහරය අවහිර කරනවා. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගැට ගැසුනු නහර සඳහා එන්නත් කිරීම Sclerotherapy යනුවෙන් හැඳින්වෙනවා. අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිබිම්බ ඇසුරේ මෙම ප්‍රතිකාරය මෙහෙයවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශිරාව පලුදු වී මුද්‍රා තැබීමක් සිදු වෙනවා. අදාළ ප්‍රදේශය හිරි වැට්ටවීමකින් පසුව මේ ක්‍රියාවලිය සිදු කරගත හැකියි. මෙයින් සති කිහිපයකට පසු නව ශිරා මගින් වියැකී යන ශිරාවල කාර්යභාරය සිදු කිරීම ආරම්භ කරනවා.

Endothermal Ablation

මුල් අවස්ථාවේ සිදු කරන ප්‍රතිකාරයක්. මෙහි ආකාර දෙකයි.

1.Radiofrequency Ablatio

2.Endovenous Laser Treatment

Radiofrequency Ablation

ඉහළ සංඛ්‍යාත ගුවන්විදුලි තරංග උත්පාදකයක් ඇසුරේ ගැට ගැසුණු නහර යම් උෂ්ණත්වයකට ලක් කෙරෙනවා. දණහිසට ඉහළින් හෝ පහළින් යොදන කැපුමක් මගින් නහරයට ප්‍රවේශ වී ශිරාවාහිනී බිත්ති හැකිළීමෙන් පසු මුද්‍රා කරන අතර ඉන්පසුව ස්වභාවයෙන්ම රුධිරයට ඉහළට ගමන් කිරීමට අවස්ථාව සැලසෙනවා. මෙහි 84%ක ඉහළ සාර්ථකත්වයක් සහිතයි.

Endovenous Laser Treatment

මෙහිදී පාදයේ කැපුමක් යොදන්නේ නැති අතර දණහිසට යටින් කුඩා නික්ෂේපණයක් ඇසුරේ හිරි වැට්ටවීමකින් පසු ප්‍රතිකාරය සිදු කෙරෙනවා. අවසන් වූ සැණින් රෝගියාට නැගිටින්නට පුළුවන්. ඇඳ විවේකයක් පවා අවශ්‍යවන්නේ නෑ.  මෙහිදී ලේසර් කදම්බයක් ශිරාවට යොමු කර තාපය යොදාගෙන එය මුද්‍රා තබමින් දුර්වල වූ ශිරා මුද්‍රා තැබීමක් සිදු කරනවා. ප්‍රතිකාරයෙන් පසු තද ගතියක් පාදයේ ඇතිවන අතර තාවකාලික වශයෙන් ස්නායු හානිවීමක් හා සුළු වේදනාවක් ඇති විය හැකියි.  95%ක ඉහළ සාර්ථකත්වයක් මෙම ප්‍රතිකාරයේ තිබෙනවා.

ශල්‍යකර්ම මගින් නහර ඉවත් කිරීම

නහර ගැට ගැසීම තරමක් විශාල නම් ශල්‍යකර්ම සිදු කෙරෙනවා. සාර්ව නිර්වින්දනය යටතේ මේ ශල්‍යකර්මය සිදු කරනවා එමගින් ආපදාවට පත් නහර ඉවත් කරනවා. (Ligation and stripping to remove the affected veins) මෙහිදී සිදු කරන්නේ මුලින්ම ගැටලු සහගත නහරය ගැට ගැසීම හා ඉන් පසුව ඉවත් කිරීමයි. මේ සඳහා බොහෝ විට කැපුම් දෙකක් සිදු කරන අතර එකක් ඉකිලිය ආසන්නයේද, දණහිස ආසන්නයේද යොදන අතර පහතින් යෙදූ කැපුම ඔස්සේ වයරයක් යොදාගෙන දුර්වල නහර කොටස ඉවත් කරනවා. රුධිර ගමනාගමනයට මෙයින් බලපෑමක් නෑ. මෙහි 75%ක සාර්ථකත්වයක් තිබෙනවා. වඩාත් පහසු ක්‍රමවේදයන් තිබෙන නිසා දැන් සැත්කම් කිරීම අඩු වී තිබෙනවා.

තත්ත්වය බරපතල වීමට පෙර මුල් අවධියේ ම හඳුනාගතහොත් නහර ගැට ගැසීමට පිළියම් ලෙස සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම කරා යාම අවශ්‍ය වන්නේ නැහැ. සිරුරේ සුළු වෙනස්වීමක් පිළිබඳ ව වුවත් සැලකිලිමත් වීමෙන් උතුම් ම සැපත ලෙස සැලකෙන නීරෝගිබව රැකගන්නට අපට හැකියි.

Related Articles

Don't Miss


Latest Articles