පිනි සේල – 3

සිහිනයෙන් තාත්තා හමු වීමත් රෑ වෙන තුරු ඉකි බිඳීමත් නිසා නින්ද බොහෝ දිගු විය. කඳුකරය උදෑසන කාලයට සීතලෙන් වැඩි නිසා ම පාන්දර නින්ද කොහොමටත් සැර ය. නින්දට වැටෙන දූලා ඇහැරවීම අපේ අම්මා කිසිම දිනක කරන්නක් නොවේ.

“පාඩම් වැඩ එක්ක මහන්සි වෙන ළමයින්ට නින්දක් ඕන..තමන්ගෙ ගෙදර තමන් හැටියට ඉන්නේ නැත්නම් ඒ ළමයි කොහේ සතුටින් ඉන්නද..”

මහ දවල් වෙනතුරු නිදා ගන්නා කෙල්ලන් දෙදෙනාට හොඳ පාඩමක් උගන්වන්නට යෝජනා ගෙන එන්නේ ඉඳහිට අපේ ගෙදර එන ඥාතිවරියන් ය. අම්මා ඔවුන්ට දෙන්නේ එහෙම උත්තරයකි.

කල්පනාවේ නිමග්න වී සිටි මගේ නින්ද කැඩුණේ දුරකථනය නාද වෙන විට ය.ඊෂා මුහුණ අකුළා ගෙන අවදි වූයේ එයට එබීගෙනම ය.

“මොකක්ද බං මේ මැටි පූසා රෑට නිදා ගන්න දෙන්නෙත් නෑ..පාන්දරත් ඇණයක් වෙනවා..”

ඇමතුම මලිඳුගෙනි.

“ගුඩ් මෝනිං..”

මගේ කටහඬ නිදි බර ය. එය ඔහුට දැනෙන්නට ඇත.

“මොනවද ඕයි.. දැන් වෙලාව කීයද බලනවා.. තමුසෙලා තාම නිදි නේද…”

ඔහු කේන්තියෙන් දැයි විහිළු කරනවාදැයි තෝරා ගන්නට මිනිත්තු කිහිපයක් අපතේ ගිය බව දැනිණ.

“ඔයා පහළ ද..”

“නෑ.. මං ෆාම් එකට ආවා. වේලු අංකල් කියන්නේ බේබිලා තාම නිදි ඇති කියලා. අනේ ඕයි බලනවා ඉතිං කෙල්ලන්ගෙ පොරොන්දු නම්..”

ෆාම් එකට යන්නට පොරොන්දු වූවා විනා මා ඔහුට යන වෙලාවක් කීවේ නැත.ඉතින් මේ පාන්දර දඩිබිඩියේ එහි ගොස් මට බැන වැදීම සාධාරණ දැයි අසන්නට මට ඕනෑ විය. කෙල්ලන්ගේ පොරොන්දු ගැන ඔහුට මෙතරම් වෛරයක් ඇති වන්නට සිදුව ඇති දේ ගැන දැන ගත යුතුම ය.

මලිඳු සිටින්නේ සැබෑවට ම කේන්තියෙන් යන හැඟීම මට පීඩාවකි. මා දන්නා මලිඳු ලෝක විනාශයට පවා හිනැහී මුහුණ දෙන්නට සමත් යෞවනයෙකි. නමුත් මෑතක සිට ඔහුට ඉතා තදින් කේන්ති යන බවක් මට නොදැනුණා නොවේ. එහෙත් මගේ මානසික තත්ත්වය ද යහපත් නොවීම නිසා තවකෙකුගේ ප්‍රශ්නයක් අසා හිඳීමේ මානසිකත්වයක් මට කොහොමටත් නොතිබිණ.

“ඊෂා.. ඊයේ රෑ මලිඳු ඇහුවා ෆාම් එක පැත්තේ යං ද කියලා..මං හා කීවා.අපිට නින්ද ගියානෙ..ආං එයා ඇවිත් බනිනවා..”

ඊෂා නැවත හිසේ සිට පොරවා ගත්තා ය.

“මල සමයං.. එයා ඔයාගෙ කවුද එහෙම පාට් දාන්න. අනික ඌ හිතන් ඉන්නේ ඒක දෑවැද්දට හම්බෙයි කියලද දන් නෑ ඉඩකඩං මනින්න යන්නේ. නිදා ගනිං බං. ඌට ඕන නම් වේලු අංකල් එක්ක අල උගුල්ලලා යන් නැතැයි..”

ඇය පෙරවනය ඇතුළට වී දොඩවයි.සිනා යන්නට එද්දී මම එය ඇද දැමුවෙමි.

” දෑවැද්ද හොයන්න නෙවේ ගෙම්බියේ. ඉස්සරහට අපි කරන දේ හිතන්න…”

ඊෂා ඇඳ මත හිඳ ගත්තා ය.ඇගේ දේශනයකට සවන් දීමට කාලය උදා වී ඇත.බිත්ති ඔරලෝසුවේ වෙලාව නවය පසු වී විනාඩි තිස් පහක් ගෙවී ඇති බව පවසයි.මලිඳුට තරහ ගන්නට තරම් පරක්කුවක් වී ඇත්දැයි මම සිතන්නට වීමි.

“ඉස්සරහට කරන දේ ඔයා එක්ක තීරණේ කරන්න නම් එයා ඔයාගේ කවුද කියන එක ඔයාට තීරණේ කරන්න වෙනවා. එයාටත් තීරණේ කරන්න වෙනවා. ඊට පස්සෙ ඔය ෆාම් එක කනපිට හරවා ගත්තත් අපිට වැඩක් නෑ. නැත්නම් අර තමුසෙ පස්සෙන් එන දිනුකට කැමති වෙනවකෝ. උගේ මොන අඩුවක් ද. ඒ බැච් එකේ කෙල්ලො මැරෙන්න යනවා ඌට..”

” හොඳ යාළුවන්ට බැරිද ඊෂා මේ වෙලාවේ මා එක්ක ඉන්න..බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ම ඕනද ඒකට.. පහුගිය මාස තුනම කොලේජ් එකේ හිටිය කාලෙටම වඩා ඔයා මං ළඟින් හිටියා.ඉතින් ඒක යාලුකම නම් මලිඳුට බැනලා මොකටද..”

ඊෂා ඇඳෙන් පැන ගත්තේ සෝපහාස බැල්මකිනි.

” උගුරට හොරා බෙහෙත් කකා ඉන්නවකෝ..”

කෙල්ලන් ලෙස අපට ඇඳ පැළඳ ගන්නට ගත වූ වෙලාව ගැන සිතන විට මලිඳු ආපසු යන්නට ඇතැයි මට දැනුණේ බියකි.එහෙත් ඊෂාත් මමත් එනතුරුම පැය දෙකකටත් වඩා කල් මරමින් මලිඳු මඟ බලා සිටියේ ය.

ගොවිපොළ පුරා ඇත්තේ මූසල පාළුවකි.එහි වැඩ කටයුතු මඟ හැරී නැත.එහෙත් තාත්තා සිනාසෙමින් මතු වෙනතුරු මගේ ඇස් කෙවෙන්නට විය. ඔහු නැති තැනක සතුටක් සොයා ගැනීම මොනතරම් අසීරු ද… මේ වේදනාව තව කොපමණ කලක් මා පෙළාවිදැයි මම සිතුවෙමි. නැත. එහි කෙළවරක් නැත. තාත්තා තරම් දියණියකට ආදරය කරන මිනිසෙකු තවත් නැත.ඉතින් මට මේ වේදනාව මියෙන තුරාම දරා හිඳින්නට සිදු වීම නියත ය.

කඳුකරයේ අපූර්වත්වයෙන් වශී වූ ඊෂා ගොවිපොළ පුරා දුවන්නට වූයේ හයිඩිව සිහි කරමිනි. කොළඹ කෙල්ලක වූ ඈට මේ හැමතැනකම ඇත්තේ ලස්සනකි. දුරකථනයේ කැමරාව මානාගෙන අහස ද ගහකොළ ද කෙළවරක් නැතිව සේයාරුවට නගන ඈ ඇගේ ලෝකයක ය.

“පරක්කු වුණාට සොරි.. මට නින්ද ගියා.”

මම මලිඳුට බැගෑපත් ව කීවෙමි. ඔහු අමනාප වීම ඉහිලුම් නොදෙන කාරණාවකි.

ඔහු කාන්තිමත් නැති මඳ සිනාවක් හෙළී ය. අර ලස්සනම හිනාව සහ දීප්තිමත් දෑස නැති මලිඳු කෙනෙකු මා ඉදිරිපිට හිඳින්නේ ඇයි..

“නෑ.. ඒක ගාණක් නෑ බං.. මං වේලු අංකල් එක්ක වැඩ කරා.”

ඔහු පාත්තියක හුන් කෘමියෙකු ඈතට විසි කරමින් කී ය. නොදන්නා කෘමින් විශේෂයක් එළවළු පාත්ති ආක්‍රමණය කරමින් තිබෙන හැඩකි. තාත්තා බොහෝ මහන්සි වී රැකගත් වගාබිමේ විනාශය ඇරඹෙනවා වත් ද?

“ඔයා මොකුත් ප්‍රශ්නෙක ද..”

මලිඳු බොහෝ වෙලාවක් ඈත කඳු වළල්ල දෙස බලා හුන්නේ ය.

“මට ඔයාට කියන්න දෙයක් තියනවා පිනී.. කියන්න හිටියේ.. ඒත් ෆෝන් එකෙන් නොකියා මෙහෙම කියන්න හිතුව..”

අනතුරුව ඔහු මදෙස නොබලාම පැවසී ය. ඔහු කියන්නට යන දේ ගැන අසන්නට ධෛර්යය උපදවා ගනිමින් මම ඔහේ බලා හුන්නෙමි.

ඊළඟ කොටස සෙනසුරාදා ට.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles