Chat With SmartLady – උපේකා නිර්මාණි

ගායිකාවක ලෙස ඔබේ ගමන ටිකක් පස්සට දාලා විවාහ වුණු ගමන් අම්මා කෙනෙක් වෙන්න හිතුවේ ඇයි?

මම මැරි කරලා මාසෙන් ප්‍රෙග්නන්ට් වෙනවා. හේතුව තමයි අපි ඉක්මනින් බබෙක් හදන්න ආසාවෙන් හිටියා. අනික ඒක හරි පහසුවක් කියලා හිතුණා.බබාට අවුරුදු විස්සක් වෙන දවසකත් අපි තරුණයි. එතකොට එයාගේ දේවල් බලන්න, උදව් වෙන්න, එයාගේ වෙඩින් එක බලන්න පුලුවන්.අනික මම බබාලට ගොඩක් ආස නිසා ඒ අත්දැකීම ඉක්මනින් විඳගන්න ඕන වුණා.

පුතාගේ පැමිණීම එක්ක ගායිකාව සහ අම්මා කියන චරිත දෙකම ස්මාර්ට් විදියට අරන් යන්න උපේකාට පුලුවන් වුණා ද?

මම අවුරුද්දක් දෙකක් වගේ සංගීත ක්ෂේත්‍රයේ නිහඬවම හිටියා. මොකද මුල් කාලයේ පුතාට මාව අත්‍යවශ්‍යයි. මුලින්ම කුක්කු යුද්දේ.. ඊට පස්සේ කෑම යුද්දේ… එයාව පෝෂණය කරන එක නියමිත බර පවත්වාගෙන යන එක ලොකු සටනක්..වෙන වැඩක් කරන ගමන් ඒක කරන්න අමාරුයි. ඉතින් කාටවත් ඒ දේවල් බාර දෙන්න බෑනේ. ඉතින් මගේ අතින්ම හැම දෙයක්ම මම කළා. දැන් ටිකක් රිලැක්ස්..දැන් පවුලේ අය එක්ක එයා හිතවත්. මටත් දැන් සහයෝගය දෙන්න එයා දන්නවා. ඉතින් මගේ වැඩ තියන වෙලාවට පවුලේ අනිත් අය එක්ක එයාව තියලා මගේ වැඩ කරගන්න කාලය ඇවිත්.

දැන් සමාජය ඉතා නරක තැනක් වෙලා. දූලා ඉන්න අම්මලා විතරක් නෙවෙයි, පුතාලා ඉන්න අම්මලා පවා දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕන. උපේකා පුතාගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද?

මගේ අම්මා තාත්තා හෝ හස්බන්ඩ්ගෙ අම්මා තාත්තා හැරුණු විට වෙන කිසිම කෙනෙකුට මම එයා බලාගන්න පවරන්නේ නෑ. දැන්මම මම හිතනවා ඉදිරියේදී එයාව රැක ගන්න හැටිත්. ඒක එයාගේ හොඳටම කරන්න ඕන දෙයක්. කුඩා වියේදී දරුවෙක් යම් අනතුරකට ලක් වුණොත් වැඩිහිටියෙක් වෙන විට පවා එයාගේ හිතේ තුවාල සනීප වෙන්නේ නෑ. අපි ඒ වගේ අත්දැකීම් සමාජයේ ඕන තරම් දකිනවා. අන්න ඒ නිසා සමාජය ගැන බයයි. දරුවන්ව හොඳින් ආරක්ෂා කරන්නම ඕන.

ලංකාවේ රියැලිටි තරඟයකින් “මුලින්ම ජය ලැබූ ගැහැනු ළමයා” වීම ආයෙමත් මතක් කරමු..

දෙරණ Dream Star කියන්නේ මට කෝස් එකක් වගේ. 2009 දී පටන් ගත් තරඟයෙන් මම කිරුළ දිනා ගන්නේ 2010 අප්‍රේල් මාසේ. මම තමයි ලංකාවේ මුලින්ම රියැලිටියක් දිනපු ගෑනු ළමයා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ ඒ ගැන. ගෑනු ළමයි මෙච්චර කාලෙකට දිනලත් නෑ.දිනන්න ඉඩත් අඩුයි කියන දේ මට නිතරම ඇහුණා. පිරිමි ළමයින්ගේ ශක්තිමත් බව තමයි හැමෝම විශ්වාස කරේ.
ඉතින් මම කරේ අභියෝගාත්මක ගීත තෝරා ගැනීම. තරඟයක දිය යුතු උපරිමයටත් වඩා කරන්න මම උත්සාහ කළා. ඒක තමයි මගේ ජයග්‍රහණයට හේතුව. අවුරුදු දහයක් ආපස්සට බලනකොට ඇත්තටම හරිම සතුටක් දැනෙනවා.

ලංකාවේ මෑතකදී අවසන් වුණු ජනප්‍රියම රියැලිටි තරඟය එක්ක කතාබහක් ඇති වුණා “ගෑනු ළමයි කොච්චර හිටියත් රියැලිටියක ආකර්ෂණය වැඩි තරුණයන්ට බව..” ඒ කතාවට ඔබ එකඟ ද?

අනිවාර්යයෙන් ගෑනු ළමයි හරිම දක්ෂයි. අනික එයාලට දැන් දේවල් දැන ගැනීම ඉගෙන ගැනීමේ හැකියාව අපිට වඩා වැඩියි. මට මතකයි ඩ්‍රීම් ස්ටාර් වුණාට පස්සෙත් මට ෆෝන් එකක් තිබ්බේ නෑ. ඒ ලෙවල් ලියනකම්. ඒත් දැන් ළමයි අන්තර්ජාලය හරහා දේවල් ඉගෙන ගන්නවා. අලුත් අත්හදා බැලීම් කරනවා. ඉතින් දැනුවත්වීමත් වැඩී.
ආකර්ෂණය අතින් බැලුවොත් ගෑනු ළමයෙක් ලස්සනට නට නට සින්දු කියනකොට ඒක ඇත්තටම හරිම ආකර්ෂණීයයි.මං කියන්නේ මං ගැන නෙවෙයි. මෑතක අවසන් වුණු තරඟය වුණත් වැඩිම ආකර්ෂණය මුල ඉඳන්ම All Rounders ලා වුණු ගෑනු ළමයින්ට තිබුණා. ජයග්‍රහණය අහිමි වෙන්න ඇත්තටම ආකර්ෂණය හෝ ගැහැනු ළමයි අදක්ෂ වීම හේතුවක් නෙවෙයි. රියැලිටි කියන්නේ SMS පදනම් වුණු දෙයක්නෙ. එක මනාපයක් නිසා ජය පෙරළිලා යන්න පුලුවන්.

මොකක්ද මේ කෙල්ලෝ හතර දෙනෙක් එකතු වුණු “කොච්චි”?

ලංකාවේ ඉන්නවා භාතිය සංතුෂ්, සෙන්ටිග්‍රේඩ්ස් වගේ ලස්සන ටීම්ස්. හැබැයි ත්‍රී සිස්ටර්ස්ලගෙන් පස්සෙ ගෑනු ළමයි ටිකක් ඒ වගේ දේකට එකතු වුණේ නෑ. ඒ වගේ දෙයක් මගේ හීනයක් වෙලා තිබ්බා. ගෑනු ළමයි ෆර්ෆෝම් කරමින් සිංදු කියද්දී ඒක හැමෝගෙම ආදරය සහ ආකර්ෂණය දිනා ගන්න වැඩක් වෙයි කියලා මං හිතුවා. ඒත් ඒක කරන එක පස්සට ගියා. මේක කරන්න මට ලොකු සහයෝගයක් දුන්නේ මගේ හස්බන්ඩ්.
කොච්චි බෑන්ඩ් එකේ මාත් එක්ක ඉන්නේ පහුගිය ඩ්‍රීම් ස්‍ටාර් තරඟවල හිටිය දක්ෂ තරුණියෝ තුන් දෙනෙක්. ටෂ්මි පෙරේරා, නිරාෂා නැටලි, එරන්දි මදුෂිකා.. මගේ කටහඬට සහ මගේ ස්ටයිල් එකට ගැළපෙන අය. ඕනම රේන්ජ් එකකට Western සහ Eastern සින්ග් කරන්න එයාලට පුලුවන්. මට All Rounders ලා තමයි ඕන වුණේ..මට ඕන වුණේ ජනප්‍රිය අයට වඩා දක්ෂම අය. අත්දැකීම් එක්ක දියුණු වෙන අය. කොරෝනා නිසා වැඩේ ටික ටික පස්සට ගියත් අපි වැඩ කරමින් ඉන්නවා. මේක ඉතා හොඳින් ඉස්සරහට කරන්න අපි හිතනවා. දැනට යූ ටියුබ් චැනල් එකට කවර්ස් කිහිපයක් නිකුත් කරලා තියෙනවා අපි. අලුත්ම ගීතයක වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා.

අම්මා කෙනෙක් හොඳ බිරිඳක් සහ නව පරපුරේ ගායිකාවක ලෙස ස්මාර්ට් විදියට ජීවත් වෙන උපේකාගේ අලුත්ම සිහිනය කොච්චි දියුණු වේවා කියලා අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles