Personal Hygiene සඳහා ඔබ වැඩි අවධානයක් දිය යුත්තේ ඇයි?

Personal Hygiene හෙවත් පෞද්ගලික සුවතාවය කියන විට ම සිහියට එන්නේ ඩියොඩ්‍රන්ට් ආලේපනය, අත් සේදීම වැනි දේ. එහෙත් මේ කාරණාව ඉන් ඔබ්බට පුළුල් ව පැතිරුණු දෙයක්. කාන්තාවක් විදියට සෞඛ්‍යමත් කායික – මානසික ජීවන රටාවක් පවත්වා ගැනීමේදී පෞද්ගලික සනීපාරක්ෂක උපදෙස් පිළිපැදීම මූලික තැනක් ගන්නවා. යහපත් පෞද්ගලික සනීපාරක්ෂාවක් පවත්වා ගැනීමෙන් සුන්දර රුවක් මෙන්ම ඉහළ ආත්ම විශ්වාසයක් ප්‍රතිඵල ලෙස ඔබට ලැබෙනවා. ඔබ නොසිතුවාට ඔබේ සියලුම සබඳතා වලට Personal Hygiene විශාල බලපෑමක් කරනවා.
ඔබේ පෙම්වතාට ඔබ ළඟින් එන්නේ මෘදු වූ සුවඳක් නම්, ඔබේ කාර්යාලයේ මිතුරු මිතුරියන්ට ඔබ ගැන ඇත්තේ පිරිසුදු සුවඳවත් මතකයක් නම් ඔබේ සබඳතාවට එය කොතරම් බලපානවාද? ඉන් ඉහළ නැංවෙන්නේ ඔබේ සබඳතාවයන්ගේ ශක්තිමත් බවයි.

ඉතින් ප්‍රමුඛතම කාන්තා පෞද්ගලික සනීපාරක්ෂක උපදෙස් කීපයක් ගෙන එන්නයි මේ සූදානම.

නිසි පරිදි පිරිසිදු වීම.

මුළු ශරීරය ම දිනපතා පිරිසුදු කළ යුතුයි. අපිරිසිදුබව නිසා හිස්හොරි, කුරුලෑ වැනි ආසාදන ඇති විය හැකියි. ශරීරයෙන් අප්‍රසන්න දුඟදක් හැමීමත් සිදුවෙන්නේ දිනපතා නිසි පිරිසිදුවීමක් නොමැතිකමින්. එනිසා සැර අඩු පිරිසිදුකාරකයක් භාවිතා කරමින් ශරීරය දිනපතා හොඳින් පිරිසිදු කර ගත යුතුයි.  ඒ වගේම ඔබේ මුඛ සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වන්න අමතක කරන්න එපා. ඔබේ මුඛයෙන් ගන්ධයක් හමනවා නම් Mouth Wash එකක් භාවිතා කරන්න.

ප්‍රජනන අවයවයන් හි සනීපාරක්ෂාව

ලිංගික අවයව ආශ්‍රිත ප්‍රදේශය ස්වාභාවික ශ්‍රාව සහ තෙල් වලින් සමන්විත නිසා සැර සේදුම්කාරකවලින් සේදීම කිසිසේත් සුදුසු නැහැ. එමගින් සමෙහි pH අගය වෙනස් වීම මගින් සම වියළීම, ආසාදන ඇති වීම වැනි ගැටළු ඇති විය හැකියි. වඩාත් ම සුදුසු පිරිසිදු ජලයෙන් සෝදා වියළි ව තබා ගැනීම යි. ආර්තව දිනයන්හිදී Sanitary Napkins පැය තුනෙන් තුනට අනිවාර්යයෙන් මාරු කරමින් සනීපාරක්ෂාව පිළිබඳ ව බොහොම සැලකිලිමත් විය යුතුයි.

ඇඳුම්වල සනීපාරක්ෂාව

නිතරම හොඳින් සෝදා හොඳින් වියළන ලද ඇඳුම් භාවිතා කිරීමෙන් ඇඳුම් සම්බන්ධ සනීපාරක්ෂාව සුරැකෙනවා. අනවශ්‍ය ලෙස දහඩිය දැමීම වැළකීමට හා සිරුරට හොඳින් වාතාශ්‍රය ලැබීමට කපු රෙදිවලින් නිම කළ යට ඇඳුම් වඩාත් සුදුසුයි. ලා පාට යට ඇඳුම් භාවිතයෙන් ස්‍රාවයන් පිළිබඳ අවබෝධයක් ද ලැබිය හැකියි. අවම වශයෙන් යට ඇඳුම්වත් මාස හයකට වරක්වත් ඉවත් කර අලුත් ඇඳුම් ගැනීම වඩාත් සුදුසුයි.

අත් සේදීම

පරිසරයේ ඇති විෂබීජ අප ශරීර ගත වීමේ මූලික ම මාධ්‍යය වනුයේ දෑතයි. නිතර දෑත පිරිසිදු කරගැනීමෙන් විෂබීජවලින් අපට ඇතිවන හානි බොහොමයක් වළක්වා ගත හැකියි. අත් සේදුම්කාරයකයක් ළඟ තබා ගැනීමට හැකි නම් වඩා සුදුසුයි. ජලයෙන් සේදීමෙන් තොරව ම පිරිසිදු විය හැකි කුඩා සේදුම්කාරක දියර බෝතල් දැන් වෙළඳපොළේ බහුල ව තිබෙනවා.

යහපත් ආහාර රටාව

ආහාර රටාව සනීපාරක්ෂාව හා තදින් බැඳී තිබෙනවා. සමබල හා සෞඛ්‍යමත් ආහාර වේලක් මගින් බොහෝ ගැටලු දුරු කරගත හැකියි. ක්ෂණික ආහාර, අධික තෙල්, පිටි, සීනි සහිත ආහාර හැකිතාක් අඩු කිරීම සුදුසුයි. ශරීරයෙන් පිට වන ශ්‍රාවයන්ගේ ගන්ධයට ඔබ ගන්නා ආහාර සෘජු බලපෑමක් සිදු කරනවා. 

උදාහරණයක් ලෙස ඔබගේ දහඩිය අධික දුර්ගන්ධයක් සහිත නම් දහඩිය දමන ප්‍රදේශ හොඳින් පිරිසිදු කිරීම මෙන් ම අවශ්‍ය පමණට ජලය පානය කිරීම ද වැදගත් වෙනවා.

ස්මාට් කාන්තාවක් ලෙස,Personal Hygiene පවත්වාගෙන යාම ඉතා වැදගත්. බොහොමයක් ලෙඩ රෝග වලින් වැළකීමටත්, සැලකිල්ලෙන් සිටීම නිසා කලින් හඳුනා ගැනීමටත්, රුව රැකගැනීමට මෙන් ම නිරෝගී ජීවිතයක් ගත කරන්නටත් එය අපිට පාර කියනවා. 

Related Articles

Don't Miss


Latest Articles