කදුළු සඟවා හිනැහුණු “වේල්සයේ රෝස කුසුම” – ඩයනා කුමරිය.

ඩයනා, වේල්සයේ කුමරිය උපත ලැබුවේ 1961 වසරේ ජූලි මස පළවැනි දින එංගලන්තයේ දීයි. ඇගේ දෙමව්පියන් ඈ කුඩා කලම නීතියෙන් වෙන් වූ අතර දරුවන්ගේ භාරකාරීත්වය දිනා ගත්තේ ඩයනාගේ පියා යි.

වයස අවුරුදු නවය වන තුරු ම ඩයනා අධ්‍යාපනය ලද්දේ නිවසේදී වූ අතර පසුව Riddlesworth Hall School සහ West Heath School වලට ඇතුල් වී අධ්‍යාපනය ලැබුවා. ඇය ඉතා ලැජ්ජාශීලී තරුණියක ලෙස වැඩුණද සංගීතයට හා නර්තනයට මනා දස්කම් දැක්වූවා.

කුඩා දරුවන් කෙරේ මහත් ඇල්මක් දක්වන්නට වූ ඇය එනිසාම සිය පාසල් කාලය ස්විස්ටර්ලන්තයේ Institut Alpin Videmanette දී නිම කර ලන්ඩනයට පැමිණි අතර පෙර පාසල් ගුරුවරියක ලෙස සේවයට බැඳුණා.

බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමරු වන චාල්ස් කුමරු හා පෙමින් බැඳෙන්නේ මේ අතර ය. සැබැවින් ම චාල්ස් පෙමින් බැඳී සිටියේ ඩයනාගේ වැඩිමහල් සොයුරිය සමඟයි. ඩයනාව චාල්ස් දකින්නේ සාදයක දී. ඒ 1977 දී ය. ඔවුන් ඉතා ඉක්මනින් පෙමින් බැඳෙනවා. ඩයනා ඔහුට ඉතා දැඩි ලෙස පෙම් කළ බව පවසනවා.

1981 පෙබරවාරි මස 6 වන දින චාල්ස් – ඩයනා ගිවිස ගැනීම සිදු වූවා. ඔවුන්ගේ ගිවිස ගැනීමේ මුද්ද ඉතා සුවිශේෂී එකක්. එහි කැරට් 12ක් බරැති ඕවල් හැඩැති නිල් මැණිකක් ඔබ්බවා රනින් නිම කර තිබුණා. එකල දී එය ඩොලර් 35000ක් පමණ බව කියැවෙනවා. වර්තමානයේ එම මුද්ද පළඳින්නේ විලියම් කුමරුගේ ආර්යාව වන කේට් කුමරියයි.

1981 ජූලි 29 වන දින අමුත්තන් 2650ක පිරිසක් සමග 20වන සියවසේ අසිරිමත් විවාහ මංගල්‍යය සිදු වුණා. ලොව පුරා රටවල් හැත්තෑ හතරක බිලියනයකට ආසන්න ප්‍රාමාණයක් මෙය රූපවාහිනියෙන් නැරඹූවා. මෙම මංගල්‍යයේ එක් සුවිශේෂීතාවක් වනවා. රාජකීය මංගල්‍ය සෑම එකකදී ම බිරිඳ සැමියා කරන ඕනෑම දෙයකට අවනත වන බවට පොරොන්දු වීම චාරිත්‍රයක් වුවත් ඇය විසින් එම පොරොන්දු ලබා නොදීම රාජකීය පවුලට මෙන්ම රාජකීය සම්ප්‍රදාය ට ද ඇය කරන ලද පළමු අභියෝගාත්මක ක්‍රියාව වෙනවා.එකල එය ඉතා කතාබහට ලක්වූ ක්‍රියාවක් වුණා.

1982 ජූනි 21 වන දින පළමු දරුවා වන විලියම් කුමරු ද, 1984 සැප්තැම්බර් 15 වන දින හැරී කුමරු ද චාල්ස් කුමරුට දාව ඩයනා කුමරිය බිහි කළේ මේ අතර දීයි. ඇය ඉතා හොඳ මවක් වූවා. සිය දරුවන්ගේ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් ඉවසනසුලු මවක් ලෙස ඈ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

ඩයනා කුමරිය වඩාත් සුප්‍රකට වූයේ ඇගේ අසමසම සුන්දරත්වයට ඔබ්බෙන් වූ සුවිසල් හදවත නිසා. ඈ සමාජ ගැටලු බොහොමයක් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ මෙහෙවරෙහි කැපවෙමින් සිටියා.

1987 දී එංගලන්තයේ පළමු ඒඩ්ස් වාට්ටුව මිඩ්ල්සෙක්ස් රෝහලේ දී විවෘත කිරීමට ආරාධනා ලැබුණේ ඩයනා කුමරියටයි. එහිදී ඇය අත් වැසුම් නොමැතිව ඒඩ්ස් රෝගීන්ට අතට අත දී ස්පර්ශයෙන් ඒඩ්ස් බෝ නොවන බව පෙන්වමින් ලොවට අභියෝග කිරීමට සමත් වූවා. ඉන්පසු රෝහල් ගණනාවක ඒඩ්ස් රෝගීන් බැලීමට ගොස් එහි හැසිරීම, ජනතාව ඒඩ්ස් රෝගීන් පිළිකුල් කිරීම කෙරේ විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.

1990 සිට ඇය ලාදුරු රෝගීන් කෙරේ ඇති අඳුරු ආකල්ප දුරලීමට කටයුතු කළා. ඉන්දියාව, නේපාලය, සිම්බාබ්වේ වැනි ලාදුරු බහුල රටවල සංචාරය කරමින් ලාදුරු රෝගීන් හා හැසිරෙමින් ස්පර්ශයෙන් පමණක් ලාදුරු බෝවෙතැයි යන දුර්මතය බිඳ හෙළීමට කටයුතු කළා.

1997 දී ඇන්ගෝලාවේ සංචාරයෙන් පසු ඇය බිම්බෝම්බවලින් හානියට පත් වූවන් උදෙසා හඬ නගන්නට ඉදිරිපත් වූවා.

The Great Ormond Street ළමා රෝහලේ නිත්‍ය අනුග්‍රාහිකාවක් වෙමින් එම දරුවන්ගේ සුව දුක් විමසීමට ඩයනා කුමරිය කටයුතු කළා.

ඩයනා කුමරිය ඉතා සංවේදී එමෙන් ම දැඩිව ආදරය බලාපොරොත්තු වූ තැනැත්තියක්. එහෙත් ඩයනා කුමරියගේත් චාල්ස් කුමරුගේත් විවාහ ජීවිතය සාර්ථක එකක් වූයේ නෑ. 1992 දෙසැම්බරයේ දී ඔවුන්ගේ වෙන්වීම පිළිබඳ ව නිවේදනය කෙරුණු අතර 1996 අගොස්තුවේදී එම විවාහය නීත්‍යනුකූල ව අවසන් කරන ලදී.

ඈ ආදරවන්තයින් කිහිප දෙනෙක් සමඟ පෙමින් වෙලුණත් ඈ පැතූ ආදරය ඈට ලැබුණේදැයි යන්න ප්‍රශ්නයක්. 1997 ජූලි මස දී ඩයනා කුමරිය ඊජිප්තියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ඩොඩී අල් ෆයඩ් සමඟ සබඳතාවක් ඇරඹුවා. ඔවුහු ප්‍රංශයේ සංචාරයක යෙදී සිටින අතරතුරදී පැපරාසින්ගෙන් මිදීමට උමං මාර්ගයක ගමන් ගන්නා අවස්ථාවක සිදු වූ භයානක රිය අනතුරින් ලොවක් වසඟ කළ ඩයනා කුමරියත් ඇගේ පෙම්වතාත් ලොවින් සමු ගත්තා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 36ක් වූවා.

මෙම මරණය අදටත් නොවිසඳුණු අභිරහසක්ව පවතිනවා.මේ වන විට ඇගේ සමාජ සේවා කටයුතු ඉදිරියට කරගෙන යන්නේ විලියම් සහ හැරී කුමරුයි. බොහෝ දෙනෙක් පවසන්නේ ඩයනා කුමරිය තුල තිබූ අතිශය මානුෂවාදී හා සංවේදී ගතිගුණ හැරී කුමරු තුල එලෙසින් පවතින බවයි. කෙසේ වෙතත් සංවේදී මවක් වූ ඇය මිනිසුන් කෙරෙහි සංවේදී දරුවන් දෙදෙනෙකු ලොවට දායාද කළා.

ඩයනා කුමරිය පුද්ගලික ජීවිතේ දී ආදරය වෙනුවෙන් බොහෝ උත්සාහයන් හා කැපකිරීම් කල කාන්තාවක් බව ඇගේ අතිශය පෞද්ගලික ජීවිතය ගැන දන්නා මිතුරන් පවසන කාරණයක්. මේ නිසාම රාජකීය පවුලින් මෙන්ම සාම්ප්‍රදායික සමාජය තුළින් ද ඇය ලැබූ ගැරහුම් බොහොමයි.ආදරය නිසා බොහෝ බිඳ වැටීම්,රැවටීම් වලට ලක් වූ ඩයනා කුමරිය සුවහසක් අසරණ මිනිසුන් වෙනුවෙන් නොමඳව ඇගේ ආදරය හා සහයෝගය ලබා දුන් විසල් හදවතක් ඇති කාන්තාවක ලෙස අදටත් ලෝ වැසියන් ගේ සිත්හි අමරණීය ව ජීවත් වන්නියක්.

More Stories

Don't Miss


Latest Articles