“පඹයා” – ඉන්දීවරී රත්නායක

0
1107

මෙය ව්‍යංගාර්ථය ගෙන එන පැදි පෙළකි.ළමයෙකුගේ සහ පඹයෙකුගේ සංවාදයක් ලෙස දැක්වුනද මෙය බාල, මහළු, සංස්කෘතික, දේශපාලනික, සමාජයීය ආදී වූ සියළු දැක්මන් තුළින් රසවිඳිය හැකිය.එකිනෙකාට ගරු කිරීමත් ගුණ නුවණ එකට මුසු කිරීමත් මෙහි අරමුණ වන අතර සාහිත්‍යමය සංවාදයකට දොරටු විවර කරමි.

පඹයෝ නුඹ ඔතන හිටන්
ඉන්නෙ මොකද නැතිව ගිමන්
කුරුලු රෑන් හිස්ව කුසින්!
වෙහෙස නිවාගන්න යමන්

ළමයෝ නුඹ නම් කියාවි
හැම කෙනාට තුටින් පේවි
ඉන්නෙ කෝම ටොකු අනීවි
මගෙ මැටි හිස නැතිව යාවි

පඹයා කියා කතාකලත්
නුඹට බොහොම කැමති මමත්
සෙල්ලම් කරනට හැකිමුත්
පාඩම් වැඩ මට තවමත්

කුරුල්ලන්ගෙ නිදහස ගැන
සිතන නුඹේ පියවර සන
උපදෙස් දෙයි මටත් සුගුණ
ගුණ නැණ ඇත නුඹ යන තැන

ඉවත හෙලා කණගාටුව
හිඳිනු මැනවි තුටු පහටුව
සදා දමමි කුරුලු ගොටුව
නුඹට ගෙනෙමි අලුත් ඔළුව

පිදුරු වලින් සැදි අත් පා
දුබල වුණත් වහන් දෙපා
නුඹගෙ නිසා නැත අත පා
තනිය මකනු ඔළුව එපා

අවුරුද්දට ලැබුනු ඇඳුම
නුඹට ගෙනෙමි එයයි පිදුම
තනියට හිටි මගේ කදිම
බෝනික්කව දෙන්නම් මම

 

– ඉන්දීවරී රත්නායක –