Chat With SmartLady – මාධවී ඇන්තනී

මාධවී ඇන්තනි ස්මාර්ට් තරුණියක් වෙන්නේ ඇය කලා පවුලකින් පැවත එන නිසා හෝ රටේ ජනප්‍රිය චරිතයක් වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපනය, කථිකාචාර්යවරියක ලෙස රැකියාව කිරීම, කලා කටයුතු සහ ඉතා සුන්දර පවුල් ජීවිතයක් යන සමබරව පවත්වාගෙන යන නිසා. ජීවිතයේ බිඳීම් සහ රිදවීම් පවා ආශිර්වාදයක් කරගත් මාධවී සමඟ අපේ Chat with SmartLady අද දිග හැරෙනවා.

මාධවී, මේ වෙනකොට ඔබ අපූරු ස්මාර්ට් තරුණියක්. මේ චරිතය ගොඩ නැඟෙන්න ඔබේ ළමා විය සකස් වුණේ කොහොමද?

මම මල්ලිලා දෙන්නෙක් එක්ක හැදුණු ළමයෙක්. මට අම්මා අප්පච්චි කිසිම නීතියක් දැම්මෙත් නෑ. මම බොහොම නිදහසේ හැදුණු දැරියක්. උදාහරණයක් කිව්වොත් මම පොඩි කාලේ සෙල්ලම් කරන්නෙත් මල්ලිලා එක්ක. ඒ ගොල්ලෝ කරන වැටෙන , තුවාල වෙන, ගස් නගින විනෝදාත්මක ත්‍රාසජනක සෙල්ලම් වලට මමත් සම්බන්ධ වුණා.බෝනික්කො එක්ක සෙල්ලම් කරනවා වෙනුවට තාප්ප උඩ නැග ගෙන, ගෙඩි කඩාගෙන කාලා, ක්‍රිකට් ගහමින් මගේ ළමා කාලය ගෙවුණා.අපේ ගෙදර කවදාවත් වැටෙන්න එපා, තුවාල වෙන්න එපා කියලා නෑ.වැටුණොත් රිදෙනවා. අත පිච්චුණොත් තුවාල වෙනවා කියලා අපිම තේරුම් ගත්තා. ප්‍රත්‍යක්ෂ බුද්ධිය සහ අවබෝධය තමයි අපිට පොඩි කාලෙම ලැබුණේ. ඉතින් මම සහ මල්ලිලා බොහොම ස්වාධීන ළමයි හැටියට හැදී වැඩුණා.
අනිත් කාරණාව මාව අම්මා ඉන්දවාගෙන ටොකු ඇන ඇන හෝම් වර්ක් කරවලා නෑ කවදාවත්. අම්මා පොත් වලට පිට කවර දැම්මා නම් මතකයි.නමුත් හෝම් වර්ක් කෙරෙව්වේ නෑ කිසිම දවසක. එහෙම හෝම් වර්ක් කරගෙන යන්නේ නැතුව ගුටි දවස් ඕන තරම්. නමුත් ඒවා නරකක් වුණේ නෑ කවදාවත්. මම ශිෂ්‍යත්වේ ෆේල් එක ලකුණකින්.හැබැයි තරඟයට නොදිව්වාට වයසින් වැඩෙනකොට අපි තුන්දෙනාම ඉතා හොඳින් අධ්‍යාපනය ලැබුවා. මම දැන් මාස්ටර් එකත් ඉවර කරලා දැන් phd එකට ලෑස්ති වෙනවා. බලෙන් ඉගෙනීමට යොමු නොකරට අපි අපි විසින්ම අධ්‍යාපනයට යොමු වුණා.
මේ විදියට අපිව හැඩගැහෙන්න අපේ පාසල් බලපෑවා.අප්පච්චි විශේෂයෙන් බලපෑවා.මට මතකයි අපි පාසල් නොයන පුංචි කාලේ අප්පච්චි අපිට කෑම කවන ගමන් ධර්ම භාණ්ඩාගාරය කියලා පොතක් කියා දෙනවා. ඒ පොතේ කතන්දර අහන්න අපි තුන්දෙනා හරීම ආසයි. ඒ තුළින් අපි තුළ ගොඩ නැගුණු විඥානය අපි තුළ තාම තියනවා. හොඳ නරක ගැන මූලිකම අවබෝධයක් ලැබුණේ එතනින්. අප්පච්චි නිසා.. මං හොඳට ගුටි කාපු ළමයෙක්. ඉස්කෝලේ එපා කියන ඒවා කරලා ගුටි කාපු ළමයෙක්. අනික ගුරුවරුන්ට ගොටු අල්ලන ළමයෙක් නෙවෙයි මම. ඒ නිසාම ගුටි කාපු අවස්ථා ඕන තරම්.
අනික අපේ අම්මා අර කෑම මේ කෑම කියලා තෝරලා බේරලා දුන්නේ නෑ.මහ රෑ අයිස්ක්‍රීම් දෙනවා. රඹුටන්,දූරියන් ගෝනි ගණන් දෙනවා. කවදාවත් අපි ලෙඩ වෙලා නෑ. පියරු බබාලා කරලා හැදුවේ නෑ.මං අම්මට අප්පච්චිට පිං දෙනවා, පොළොවේ පය ගහලා ඉන්න, කොන්ද පණ තියන, කෙලින් කතා කරන දරුවෙක් විදියට මාව ගොඩ නැඟුවට. මම ළමා කාලය ගෙව්වේ අත්තම්මා එක්ක.මම ගස් ගෙඩි කඩමින්, පරිසරයේම ඉඳිමින් පරිසරය ඉගෙන ගනිමින් හැදුණු දරුවෙක් කියලත් නොකියාම බෑ.

තව මොනවාද ඔබ මේ විදියට ගොඩ නැගෙන්න හේතු වුණේ?

ආගම ධර්මයත් ගොඩක් වැදගත්. අපිට අම්මාගෙන් බෞද්ධ පසුබිම ආවා. අප්පච්චි කතෝලික වුණත් නිතරම කිව්වේ “අපි කතෝලික වුණත් හැදෙන්නේ බෞද්ධ සංස්කෘතියක. අපි හුස්ම ගන්න වාතලයේ තියෙන්නේ බෞද්ධ දර්ශනය කියලා. ඒක ආගමක් නෙවේ. දර්ශනයක්.ඕනම කෙනෙක්ට හොඳක් මිස නරකක් නොවන දෙයක්” කියන දේ. ඒ නිසා අපිට හොඳ නරක හොඳට අවබෝධ කරගන්න හැකි වුණා.ඒ වගේම අප්පච්චි අපිට පොඩි කාලේ ඉඳන් කියා දුන්නේ “මිනිස්සු ඉව කිරීමේ සාස්ත්‍රය” ගැන ඉගෙන ගන්න කියලා. එහෙම කියා දුන්නත් මිනිස්සු තේරුම් ගන්න බැරි වුණ අවස්ථා තියනවා. හැබැයි මිනිස්සුන්ට සලකන්න ඒත් පාවිච්චි නොවී ඉන්න අපි ඉගෙන ගත්තා. ඒකත් ආවේ අප්පච්චිගෙන්.
අපි අධ්‍යාපනය විතරක් කරගෙන හිටිය ළමයි නෙවෙයි. කලාව, ක්‍රීඩාව හැම දෙයක්ම කරපු ළමයි. හැබැයි සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉතා හොඳින් සමත් වෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් හොඳින් අවසන් කරලා තමයි මම දැන් තව දුරටත් උසස් අධ්‍යාපනය ලබන්නේ.පන්ති ගාණේ නොගිය ඒත් අවබෝධයක් ඇතිව අධ්‍යාපනය ලබන්න මට පුලුවන් වුණා. කලාව තමයි මානසික සංවර්ධනය සහ විනය ගොඩ නැගෙන්න උපකාරී වුණේ කියන දේ කිව යුතුමයි. හපන් පැදුර සහ ළමා පිටියත් මාව ගොඩ නැංවීමට ඉතා ඉහළින් දායක වුණා. මේවා නිසා ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලැබීමත් ජීවිතේ ලබපු ඉහළ අත්දැකීම්.

හපන් පැදුර” මීට වසර ගණනකට ඉහත දරුවන්ගේ ප්‍රියතම ළමා වැඩසටහන. දැන් ළමා වැඩසටහන් සහ හපන් පැදුර ඔබ දකින්නේ කොහොමද?

හපන් පැදුර වගේ වැඩසටහන් දැන් නැහැ. හපන් පැදුර කියන්නේ පුංචි ළමයි හත් දෙනෙක් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් තනියම කළා. එදා අපි හත් දෙනාට තිබුණු ධෛර්යය සහ ආත්ම විශ්වාසය දැන් දරුවන්ට නැති බව දැන් ආයතන හිතනවද දන්නේ නෑ. අපි හපන් පැදුර බොහොම හොඳ පුහුණුවක් සහ විනයකින් අරන් ගියා. ඉතා හොඳ පිටපතක් තිබුණා. ඒ පිටපත හොඳට පුහුණු වුණා. සතතාභ්‍යාසය තමයි හපන් පැදුරේ සාර්ථකත්වයට හේතුව. ඒ කාලයේ ශිෂ්‍යත්වේ තමයි දරුවන්ගේ ලොකුම තරඟය.දැන් දරුවන්ට රියැලිටි කියන තරඟෙත් තියනවා.හේතුව විකිණීමට හැකි වීම.හැබැයි හපන් පැදුර ඒ කාලයේ ඉතා හොඳ රේටින් එකක් තියපු වැඩසටහනක්.හොඳ දේ දෙනවා නම් මිනිස්සු නොබලා ඉන්නේ නෑ.වරද දැන් එහෙම දේවල් නැති වීම.

මාධවී කියන්නේ නොකරන දෙයක් නැති කෙල්ලක්. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සහ හැම හැකියාවම වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

ඒක හොඳටම කරන්න පුලුවන් ගෑනු ළමයෙක්ට. අප්පච්චි නිතරම කීවේ “කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න වැඩ ගොඩක් කරන්න” කියලා. අම්මා නිතරම කීවේ ” ගෑනියෙක් වෙලා ඉපදිලා මට මේක බෑ කියනවා නම් ලැජ්ජාවක්”කියලා. ඒ අවවාද ආත්ම ගෞරවයක් ආත්ම අභිමානයක් සහිතව ගොඩ නැගෙන්න හේතුවක් වුණා. ඔබටත් කියන්න තියෙන්නේ ඒක තමයි. කළ නොහැක්කක් නෑ. ධෛර්යය සහ උත්සාහය තමයි ඉතා වැදගත්.

අලුත විවාහ වෙන ගැහැණු ළමයි නිතරම කරන චෝදනාවක් “අලුත් පවුල සමඟ ඇති ප්‍රශ්න” ගැන. මාධවී මේ ගැන දකින්නේ කොහොමද?

මගේ වාසනාවකට ඉතා හොඳ පවුලක් ලැබිලා තියෙනවා. හැබැයි ඉතා නරක පවුල් සමඟ ගැටෙන්න වුණු ගෑනු ලමයි ඉන්නවා. එයාලට හොඳින් ඉන්න ඉවසන්න කියන්න බෑ.
මගේ පවුල ගැන කතා කළොත් මට හොඳ නංගිලා දෙන්නෙක් නෑනලා හැටියට ලැබුණා. නමුත් අපි අපේ සීමාවන් දැන ගන්න ඕන.ඕනෑම පුද්ගල සම්බන්ධයක සීමාවක් තියනවා. මට ඉතාම හොඳ නැන්දම්මා කෙනෙක් ඉන්නවා. නමුත් අනවශ්‍ය මැදිහත් වීම් කරන , සීමාව ඉක්මවා ජීවිතේට එබෙන, කේලම් කියන නැන්දම්මලා සමහරුන්ට ලැබෙන්න පුලුවන්.ඒ වගේ අයට දරා ගන්න සතුටින් ඉන්න කියන්න බෑ. ඒ අයට දෙන්න තියන උපදෙස තමයි මිදෙන්න, තමන්ගේ ලෝකේ හොයා ගන්න කියන එක. කසාද බැන්දට පස්සේ වෙනම පවුලක් හැටියට සමෘද්ධිය වර්ධනය වෙන්නේ තමන්ගේ හිතේ සතුට කියන්නේ. කසාද බඳින්න කලින් මොකක්ද කසාද බඳිනවා කියන්නේ සහ තමන්ගේ අනාගතය සැකසෙන හැටි කතා කරන්න. කතෝලික ආගමේ තියනවා විවාහයට පෙර පවුල් පංති තියනවා. එය ඉතා හොඳ වැඩක්. එයට අනිවාර්යයෙන් කපල් එක සහභාගී විය යුතුයි.පවුල තුළ සහයෝගය, පෞරුෂය ගොඩ නගා ගැනීම,දරුවෝ හදන හැටි තේරුම් ගැනීම ආදී සියල්ල එහි උගන්වනවා. අපි දැනගත යුතුම දේවල් එහි උගන්වනවා. නොදැන කසාද බැන්දොත් අපි උගුලකට අහු වීමක් වෙන්නේ. ඒ වගේම තමයි
කසාදයක් කරගත්තොත් අනිවාර්යයෙන් දෙන්නට පුද්ගලිකත්වයක් තියෙන්නම ඕන. දෙන්නෙක් අතර ඕන තරම් නොගැලපීම් තියනවා. ඒවා ගලපාගන්න, තේරුම් ගන්න, රණ්ඩු වෙන්න ආදරේ කරන්න දෙන්නෙක්ට ඉඩක් ඕන.අන්න ඒ පෞද්ගලිකත්වය රැකෙන විදියට ජීවිතේ ගෙවීම හරිම වැදගත්. ඒක නොලැබුණොත් ඒ දෙන්නාට හරිහමන් කපල් එකක් වෙන්න ලැබෙන්නේ නෑමයි. මේ ලෝකේ ඉන්න හැමෝම අනිත් අයගේ පෞද්ගලිකත්වයට අයිතිවාසිකම් වලට ගරුකරනවා නම් ඔය ප්‍රශ්න සෑහෙන දුරකට අඩු වෙලා යාවි. කැප කිරීම් කරමින්, තේරුම් ගනිමින්, පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් යන ගමනක් තමයි විවාහය කියන්නේ.

මාධවී රැඩිකල් කෙල්ලක් ද?

මං අදහන සහ විශ්වාස කරන දෙයක් තියෙනවා. අපේ ලෝකයේ තියන මෙතෙක් පැවතුණු ක්‍රමය තමයි හරි ක්‍රමය.ඒ ක්‍රමය මෙච්චර කාලයක් පවතින්නේ ඒක හරි නිසා.ඕනෑම දෙයක් නැවත නැවත සිදුවෙමින් පැවත එන්නේ ඒ හරි දේ නිසා. ඒකට පිටින් වැඩ කරලා රැඩිකල් වෙලා අලුත් අලුත් අමුතු දේවල් නොකර තාක් අපිට සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් ඉඩත් වැඩියි. මට මේක අප්පච්චි කියා දුන්නු පාඩමක්. හැමෝම කරන නිසා වෙනස් වෙන්න ඕන කියලා හිතන්න අවශ්‍ය නෑ. හැමෝටම වෙනස් දේවල් කරන්න ගිහින් අපි නරක දේ තෝරා ගන්න ඕනත් නෑ.ලෝකේ මෙතෙක් පැවතුණු විදියට ජීවිතය ගත කිරීම ලේසි සහ පහසුයි. මම රැඩිකල් කෙනෙක් නෙවෙයි. මම සාම්ප්‍රදායික කෙනෙක්. මම විශ්වාස කරනවා අපේ වටේ අයත් මං වගේම හිතයි කියලා සහ අනිත් අයගේ සීමාවන් ආක්‍රමණය නොකර අපිට පාඩුවේ ඉන්න ඉඩ දේවි කියලා.”මම විශ්වාස කරන එකම ධර්මය තමයි ස්වභාවධර්මය. මම දෙවියන් කියන්නෙත් ස්වභාවධර්මයටමයි. ඉතින් ඒ අනුව කාටහරි හොඳක් කළොත් හොඳක් වගේම නරකක් නපුරක් කරපු කෙනෙකුට කවදාවත් හොඳක් වෙන්නෙත් නෑ. මේ ආත්මෙදීම තමුන්ට ඒක පල දෙනවා. කාගෙහරි දේවල් කඩාවඩාගන්න ප්ලෑන් ගහන අයට තියෙන දේවලුත් නැති වෙයි. පුළුවන් විදිහට උදව් කරං හිටියොත් හැමෝම සතුටින් ඉඳියි. මම කපටිකමට කැමති නෑ. මම කියන්න තියෙන දේ මූණට කියනවා. මගේ ජීවිතේ ප්‍රශ්න ඇති වුනා නම් ඒ කපටි මිනිස්සුන්ට අනවශ්‍ය ලෙස අනුකම්පා කරපු නිසා. මගේ හොඳ හිත පාවිච්චි කරපු නිසා. “අපිට හරියට ප්‍රශ්න අනේ, ඔයා නම් හරිම හොඳයි” කියලා බොරු මුරුංගා අත්තක මාව ඉන්දවලා, ප්‍රශ්න ඇති කරලා ඒ බව නොදන්නවා වගේ හැසිරිලා, වෙන අය සමඟ මාව සහ මිලාන්ව විවේචනය කරලා කොටවලා, අපි ඒ බව දන්නෙ නෑ කියල හිතාගෙන, යාප්පුවෙන් කපටිකමින් අවස්තාවාදී වෙන්න හදන මිනිස්සු අදත් මං දන්නවා. ඒ අයට මට කියන්න තියෙන්නෙ “කරුණාකරලා ඔයාලා පව් පුරවගන්නෙ නැතුව, අපිට අපේ පාඩුවෙ ඉන්න දෙන්න. අපිට ඔයාලගේ ජීවිතේ ඕනෙ නෑ. අපිට අපේ ජීවිතේ දෙන්න.”

ඇන්තනි පවුලේ සමඟිය සහ සතුට පවුලේ සාමාජිකයන් ගණන කොච්චර වැඩි වුණත් රැකෙන රහස මොකක්ද?

මම විශ්වාස කරන දෙයක් තමයි දරුවෝ අතර වයස් පරතරය අඩු වුණාම හරි බැඳීමක් ඇති වෙනවා. සහෝදර බැම්ම කියන්නේ මිත්‍රකමක් සහිත ලස්සන රිලේෂන්ශිප් එකක්. අපි තුන් දෙනා හොර වැඩ කරලා තියනවා. පුංචි කාලේ තුවාල වෙන්න ගහගෙන තියනවා. මම ලොකු මල්ලිගේ ඔලුව පලලා තියනවා.අපි තුන්දෙනා අතර අවුරුදු හතරක පරතරයක් තියෙන්නේ. ඉතින් අපි මචං ලෙවල් එකෙන් ඉන්නේ.සහ අපි හැමෝගෙම යාලුවෝ පවා අපේ පොදු මිතුරෝ. ඉතා හොඳින් සම්බන්ධකම් ගොඩ නැගිලා තියනවා. ඉතින් යාලුවො අතර පවා හරි ශක්තිමත් පවුල් බැම්මක් හැදිලා.ඒකට ඇත්තටම හේතුව තේරුම් ගැනීම සහ එකමුතුකම. මගේ මල්ලිලාට මගේ අකමැති ගති ලක්ෂණ ඇති. මමත් එයාලාගේ අඩුපාඩුකම් දන්නවා.හැබැයි ඒවා නිසා රිද්දා නොගන්න අපි ප්‍රවේසම්. මොනදේ වුණත් ඒ දෙන්නා මං වෙනුවෙන් ඉන්න බව මං දන්නවා. ඒ ලේ බැම්ම සන්නිවේදනය නිසා ශක්තිමත් වෙලා තියෙනවා. අපි ඕනෑම ප්‍රශ්නයක් සහ සතුටක් බෙදා ගන්නවා. ඒ බැඳීම මිලාන් සහ නංගිලා දෙන්නත් තේරුම් ගත්ත නිසා අපේ බැඳීම සාර්ථක එකක් වෙලා තියනවා. මගේ Youtube චැනල් එක පටන් ගන්න අදහස චූටි මල්ලි සජිතගේ. ඒ අදහසට මල්ලිට ස්තූතියි කියන්නත් ඕන.

ඒ බැඳීම ශක්තිමත් කරපු ආරණ්‍යා දියණිය ගැනත් කතා කරමු.

ආරණ්‍යා කියන්නේ අපේ ජීවිතවල වුණු හොඳම දේ.
අපේ ඊළග පරම්පරාව බිහි වෙයි කියලා අපි නොහිතපු වෙලාවක තමයි ලොකු මල්ලි සහ ඒමි නංගි අපිට ආරණ්‍යාගේ පැමිණීම ගැන කියන්නේ. අපි ආරණ්‍යා වෙනුවෙන් ඕනෑම මොහොතක ඉන්නවා. එයා හරි හුරතල් සහ ඉතාම හොඳ ගැහැනු දරුවෙක් ලෙස ගොඩ නැගෙමින් ඉන්නවා.ඇය අනවශ්‍ය විදියට කරදර නැති දේවාශිර්වාදයක් වුණු දියණියක්. එයා පිටතින් වගේම ගති ගුණ අතිනුත් ලස්සන දුවෙක් විදියට වැඩෙමින් ඉන්නවා.

මාධවීට සැමියාගෙන් ලැබෙන ශක්තිය සහ ආදරය ගැන කතා නොකරම බෑ.

මිලාන් මගේ ජීවිතේ හැමදෙයක්ම මැනේජ් කරනවා. මම බොහෝ අරමුණු හඹා යෑම ගැන ඔහු හරියට සතුටු වෙනවා.මාව අගය කරමින් කියන්න බැරි තරම් සහයෝගයක් දෙනවා.ඔහු ඉතාම නීට් කෙනෙක් වුණත් වැඩ වැඩි වෙලාවට මගෙන් වෙන කිසිම අඩුපාඩුවක් ඔහු ගණන් ගන් නෑ.. මගේ යූ ටියුබ් චැනල් එකට ඉරේෂ් ලක්මාල් මල්ලි එක්ක හරියට උදව් කරන්නේ මිලාන්. මල්ලිලා දෙන්නා සහ නංගිලාත් උදව් කරනවා.ඒත් මිලාන් මට යූටියුබ් චැනල් එක හොඳින් පවත්වාගෙන යන්න හරියට උදව් කරනවා.අවශ්‍ය දේවල් අරන් දෙනවා. ඔහුගේ සහයෝගය නැත්නම් මට මේ ගමන මේ විදියට යන්න බෑ.මං අතින් ජීවිතේ අවුරුදු කිහිපයක් නිකම් නාස්ති වුණා. අධ්‍යාපනයට විතරක් කැප කළ කාලය ඇරුණම ඔහේ අඬ අඬ හිටිය අඳුරු කාලයක් මගේ ජීවිතේ තියනවා.ඒ අඳුර ඉවතට තල්ලු කරලා දැම්මේ මිලාන්.අම්මා අප්පච්චි මාව ඒකෙන් ගොඩ ගන්න උත්සාහ කළා තමයි. මගේ හිත හදන්න අම්මා අප්පච්චි සහ මල්ලිලා උත්සාහ කරා. හැබැයි දෙවියන් වහන්සේ විසින් මට මිලාන් මුණ ගැස්වුවට පස්සේ මං ආයේම හරිම ලස්සනට ගොඩ නැගුනා.අතීතය ගැන පසුතැවීමක් තියනවා. හැබැයි මිලාන් කියන්නේ “ඒ කාලේ ගැන හිතන්න එපා. ඒ වැය වුණු කාලය මිනිස්සු අඳුනා ගත් කාලය කියලා හිතන්න.හැමදේම හොඳින් වෙලා ඔයා ඉගෙන ගන්න රට ගියානම් අපි මුණ නොගැහෙන්න පවා තිබ්බා.ඒත් මේ හැමදේම වුණේ හොඳට කියලා හිතන්න කියලා. ” කවුරුත්ම ටූ ලේට් නෑ.වර්තමානය තමයි අපේ අනාගතය තීරණය කරන්නේ. අතීතය ගැන හිතන්න එපා, වර්තමානය ගැන හිතලා අනාගතය හදා ගන්න කියන දේ මට කියා දෙන්නේ මිලාන්. ඉතින් මම ඉතා සතුටින් ඉන්න බිරිඳක්.

මේ දවස්වල කලා කටයුතු මොනවාද?

චරිත අබේසිංහගේ “තාදී” ළඟදීම විකාශනය වේවි. සරත් අබේසේකරයන්ගේ මහ විරු පණ්ඩු ටෙලි නාට්‍යයේ කුමී ලෙස රඟපානවා. එය විකාශනය වෙන නාට්‍යයක්. තවත් ටෙලි නාට්‍යයක ළඟදීම රූගත කිරීම් ඇරඹෙනවා. ගීත ගැන කිව්වොත් ගීත දෙකක් ළඟදීම ඔබ අතරට එනවා.තව ගීතය ගැනත් හිතමින් ඉන්නවා. අප්පච්චි ලියන ගීතයක්. ළඟදිම Cover song එකක් යූ ටියුබ් චැනල් එකෙන් අරන් එනවා. ඉන්පස්සේ අප්පච්චි ලියූ “ආදරය ඕනෑ කෙරේ” කියන ගීතය ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂණය කළෙත් අප්පච්චි.
හොඳ නිර්මාණ සමඟ රසික ආදරය දිනා ගන්නයි මම කැමති. මොනවා හරි ගොසිප් එකක් නිසා ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න නම් හොඳ කලා නිර්මාණ අවශ්‍යයි.ඉතින් ඒ වෙනුවෙන් හොඳ ගුණාත්මක කලා නිර්මාණ වලට දායක වෙන්නයි මම කැමති.

මාධවී,සැබෑ ස්මාර්ට්ලේඩි කෙනෙක් වීම අසීරු නැති බවත් කැපවීම සහ දරා ගැනීම ඒ ඉලක්කයට අප රැගෙන යන බවත් තහවුරු කරාට ස්තූතියි. ඔබේ අනාගතයට අපි ආදරයෙන් සුබ පතනවා.

මාධවීගේ Youtube Channel එක – https://www.youtube.com/channel/UCqvrJmd_LP9d72z-aQKABvAhttps://www.youtube.com/channel/UCqvrJmd_LP9d72z-aQKABvA

Related Articles

Don't Miss


Latest Articles