පාට සේදුණු වත්සුණු – 14

අම්මා කිසි දා මා තේරුම් ගන්නට උත්සාහ කළ කෙනෙක් නොවේ. ඇය මට ආදරය කළ බව ඇත්ත ය. නමුත් යම් යම් ආත්මාර්ථකාමී ගති ගුණ ඇය වෙත විය. මම ඒ බව ටික ටික අවබෝධ කර ගනිමින් සිටියෙමි. නමුත් ඒ කිසිත් ඇයට ආදරය කරන්නට මට බාධාවක් වූයේ නැති බව කිව යුතු ය.

“කියන්න අම්ම”

දුරකතනය සවනට ගනිමින් මම මිමිණුවෙමි.

“අනේ ගයා”

එක්වනම ඕ හඬන්නට පටන් ගත්තා ය. මම තරමක් කලබල වුණෙමි.

“අම්මෙ…ඇයි…මොකද වුණේ…අසනීපයක්වත්ද…ඔයා අඬන්නෙ ඇයි කියන්නකො”

මා එහෙම කියත්දී තුෂී වහා මදෙස බැලුවා ය.

මගේ අම්මා වූ කලී ජිවිතයේ බොහෝ අභියෝග හමුවේ හිස කෙළින් තියා ගෙන උන් ගැහැනියක මිස හඬා දිය වෙන්නට ගිය ගැහැනියක නොවේ.

“අනේ ගයා බලන්න වෙච්ච දේ”

“මොකද්ද…ඉතිං කියන්නකො”

“අපේ ගේ සින්න වෙන්න යනව ගයා”

“ගේ සින්න වෙන්න යනව…අනේ දෙයියනේ”

දෙපා පා මුල ම බෝම්බයක් පුපුරා ගිය සෙයින් මම සසල වීම. අපේ කතා බහ වඩාත් හොඳින් ඇසෙන සෙයින් තුෂී මා ළඟට ම විත් හිඳ ගත්තා ය.

“ඒත්…කොහොමද අම්ම එහෙම වෙන්නෙ…ඔයා කවදද ගේ උකස් තිබ්බෙ…”

මගේ තොල කට වියළී යන්නට ඒ හැටි වෙලා ගියේ නැත.

“බිස්නස් වැඩ නිසා තමයි ගයා. අනේ අපි කොහොම හරි සල්ලි ටිකක් හොයා ගන්න ඕන ගයා. කවදහරි ඔයාට දෙන්න තියෙන ගේනෙ ඔය”

“මටනං ගෙවල් ඕන නෑ අම්මෙ. ඒත් ඔයා ඔය ගෙයි ජීවත් වෙන්න ඕනනෙ. මගෙ ළඟත් මහ ගාණක් නෑනෙ අප්ප”

“අපි අත්තම්මගෙං සල්ලි ටිකක් අහල බලමුද ගයා…දෙයිද…”

“තියනවනං…මෙහෙම වෙලාවක නොදී ඉන්න එකක් නෑ ඉතිං. අම්ම අහල බලන්න”

“මං එහෙනං හෙට එන්නං ටක් ගාල ඇවිත් යන්න”

හිතෙහි ඇති ව තිබුණේ සන්තාපයකි. ලෝකයා මොනවා කීවත් අම්මා සතුටෙන් ජීවත් වෙනවා නම් වැදගත් වන්නේ එපමණකැයි ඇය යළි විවාහ වෙත්දී මම සිතුවෙමි. නමුත් සතුටෙන් ජීවත් වෙනවා කියන්නේ මේකට ද? රටේ තියෙන ව්‍යාපාර වලින් මුදල් හරි හම්බ කර ගන්නට සිතා පඹ ගාලක පැටලී හිතේ කරදරෙන් ජීවත් වෙන එකද?
පහුවදා උදේ ඕ ආවා ය. අත්තම්මා සමග අම්මා ටික වෙලාවක් කොඳුරමින් සිටියා ය.

“සීවරං දෙයියනේ…එච්චර ගාණක් වෙලාද පොලියත් එක්ක…දැං ඉතිං අහවල් එකක් උකස් කරලද එළදෙන ඔය ගේ බේර ගන්නෙ…”

හදිසියේ ම අත්තම්මා හඬ නගා ඇසුවා ය. අම්මා නහය සූරනවා මම දුටිමි.

“කොහොමහරි බේර ගන්න ඕන අම්මෙ”

“කොහොමහරි බේරගන්නයි කියල ගස් වලිං කඩන්න සල්ලි තියෙනවද කෝසලා…ඊටත් වඩා උඹලා බැඳල තාම කී දවසද බං…ඉතිං ඔච්චර පොළියක් හැදුණෙ කොහොමද…”

“අපි බඳින්න කලිනුයි අම්මෙ ගේ උකස් තිබ්බෙ”

මා අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සෙන්නට ඇත. එහෙම දෙයක් කළ බව හෝ කරන බව හෝ ඇය මෙතුවක් කාලයකට මට වුව කියා තිබුණේ නැත. අම්මා පිළිබඳ ඉසිහින් කේන්තියක් මා තුළ මෝදු වන්නට විය.

“මොනවා…අනේ දෙයියනේ අපි හැදුවෙ ඒ තරං ගොං වැස්සියක් ද…උඹ ඔච්චර මෝඩද කෝසලා…කසාද බඳින්නත් කලිං ගේ උකස් කරල ඒ මිනිහට සල්ලි දුන්නෙ මොන විස්සාසෙකටද…”

“අනේ අම්මෙ. .මාව තේරුං ගන්න බලන්න අම්මෙ. ඒ වෙලාවෙ එහෙම සල්ලි ටික නොදුන්නනං එයා මාව බඳින්නැති වෙන්නත් තිබුණා”

“ඔහෝ…දැන්නෙ මට තේරෙන්නෙ. එහෙනං ඒ ඉලන්දාරිය වයස ගැනත් නොහිතා උඹව කසාද බැඳල තියෙන්නෙ සල්ලි ඔය ගේ දිහා බලං. නැතුව උඹට තියන ආදරේකට නෙවෙයි”

“එහෙමමත් නෙවෙයි අම්මෙ”

ඒ කතා බහ මා තුළ මහත් අපුලක් ඇති කරවන ලදී. අම්මා ගැන මට දැනෙන්නට වූයේ කළකිරීමකි. මට දෙන්නට තියන ගේ කියමින් බොරුවට වැළපුණාට මා ගැනවත් නො හිතා සිය ලා බාල පෙම්වතා වෙනුවෙන් ඇය ඒ ගේ උකස් කොට තිබෙන්නේ ඔහු ඇය ව විවාහ කර නො ගන්නවා ඇතැයි බියෙනි. මට කතා කොට අම්මා කිඹුල් කකඳුළු හෙලා තිබෙන්නේ මගේ අතේ තිබෙන මුදල් ටිකත් කොල්ල කා ඔහු අතට පත් කිරීමේ අදහසිනි. කුඩා මුදලක් හෝ ඇයට දෙන්නට පෙර දා ඇති කර ගත් සිතිවිල්ල මම උපන් ගෙයි ම ගෙල සිර කොට මරා දැමුවෙමි.

අම්මා යළි ගියේ හිස් අතිනි. සතයක් වත් ඇයට නො දෙන්නට අත්තම්මා ගත් තීරණයෙහි දොසක් දකින්නට මට වුව හැකි වූයේ නැත. ගෙවත්තේ සිමෙන්ති බංකුව මත හිඳ, නත්තසූරිය වැටට මත්තෙන් බැස යන හිරු දෙස බලා ගෙන මම කල්පනා කළෙමි. අම්මා හිඳින්නේ ආදරයෙන් අන්ධ වී ගෙනයි. අසංක ඉන් අයුතු ප්‍රයෝජන ලබන බවක් ඇය දන්නේ නැත. කවුරුන් හෝ කතා කොට කීවත් ඒ බව පිළිගන්නා සූදානමක නොවේ ඈ සිටින්නේ.

“ඉර බැහැගෙන යන ලස්සන බලනව වගෙයි”

ඒ පිරිමි හඬින් මා තිගැස්සී ගියේ ය. යුගාන්ත මා ළඟ සිනා සිසී සිටියේ ය.ඔහු ළඟ ට එන තුරුත් මා දැක නො තිබුණේ කල්පනාවේ නිමග්න ව සිටි නිසා විය යුතු ය.

“මේකනං හරිම ලස්සන තැනක් තමයි අයියෙ. ඒත් ප්‍රශ්න වලිං ඔළුව පිරුණහම ලෝකෙ ලස්සන දකින්නවත් ඇස් පේන්නැතුව යනව”

“මොනවද අප්පේ ඒ තරං මේ පොඩි කෙල්ලට තියන ප්‍රශ්න …”

කියාගෙන, මා ඉදිරියේ වන අනිත් නිවුන් බංකුව මතින් ඔහු හිඳ ගත්තේ ය. මම මළානික මඳහසක් නගා ගතිමි. මේ දේවල් ඔහු වැනි පිටස්තරයෙකු හා කොහොම පවසන්නද?

“පොඩි කාලෙදිම දෙමව්පියො ඩිවෝස් වෙච්ච…ඊට පස්සෙ ඒ දෙන්නම වෙන මැරේජස් කර ගත්ත නිසා කොහෙටවත් අයිති නැතුව තනි වෙච්ච…ඒ තනි කම නිවා ගන්න කියල ඉස් ඉස්සරෝම වෙලා ලං වෙච්ච පිරිමියත් හිතට වදයක් ම වෙච්ච ගෑනු ළමයෙක්ගෙ හිතට…ඒ ප්‍රශ්න ටික ඉහටත් උඩිං අයියෙ”

යුගාන්ත එක එල්ලේ මදෙස බලා ගෙන උන්නේ ය. ඒ ඇස් සිහින් වී ඇති සැටිත්, ඔහු මා කියවා ගන්නා උත්සාහයක් ගන්නා සැටිත් මම දුටුවෙමි.

“මට තේරෙනව”

ඊළඟට ඔහු සුසුමක් අත්හරිමින් කීවේ ය.

“මට කියන්න තේරෙන්නෙ එක දෙයයි. ඒත් ඒක කිව්වොත් ඔයා මං ගැන මිස් අන්ඩස්ටෑන්ඩ් කරයි කියල හිතෙන නිසා කියන්න බයයි”

“අනේ…මං ඇයි අයිය ගැන වැරදියට හිතන්නෙ…”

“නංගි. හිතට වදයක් වෙන තැනකිං අයිං වෙන එක තමයි ඉස්සල්ලම හිතට දෙන්න පුළුවන් සැනසීම”

මම යටි තොල සපා ගෙන බිම බැලුවෙමි. ඔහු ඔය නො කියා කියන්නේ මා කුසල් ගෙන් ඈත් වීම මුලින් ම කළ යුතු දේ කියා බව මට නො තේරෙනවා නොවේ.

“අපි සමහර දේවල් කරන්න ගත්තහම තමයි ඒක අපිට හරියන දේ නෙවෙයි කියල තේරෙන්නෙ. එහෙම තමයි. එහෙම වෙන්න පුළුවන්. ඉතිං එහෙම දැනෙද්දිත් අපි කරන්න පටං ගත්ත දේනෙ කියල ඒකම අල්ලං හිටියොත් තමයි අපි පරාද. ඔයා දන්නවද…ඒ ලෙවල්ස් වලට සයන්ස් මැත්ස් කරල ෆේල් වෙන අය හිත හදාගෙන ආට්ස් කරල ප්‍රොෆෙසර්ල වෙච්ච අවස්ථා තියනව. වැරදීම් වලිං පාඩං ඉගෙන ගන්න එකයි නොවැරදී ඉන්නවට වඩා වැදගත්. අපි මිනිස්සුනෙ. අපි අතිං ඕන වෙලාවක වැරදි වෙන්න පුළුවන්. වැරදි තීරණ ගන්නත් පුළුවන්”

“මට තේරෙනව අයිය කියන දේ. කුසල් කියන්නෙ මං ගත්ත වැරදි තීරණයක් කියලත් මං දන්නව. ඒත්…එයා මට ඒ වරද හදා ගන්න ඉඩ දෙන්නෙ නෑ”
ඇස් වලට කඳුළක් පුරා ගෙන ආවේ ය. මම වේගයෙන් ඇස් පිය සලා ඒ කඳුළ දොවා හළෙමි.

“මේ වෙලාවෙ ඔයා කොන්සන්ට්‍රේට් කරන්න ඕන ඔයාගෙ වැඩේ ගැන. කාලෙත් එක්ක ඉස්සරහට යන්න. අනිත් දේවල් ගැනත් එතකොට කාලය බලා ගනී”

ඔහු ත් එක්ක කළ කතා බහෙන් පස්සේ හිත බෙහෙවින් සැහැල්ලු වූවා කියා සිතමි. නමුත් අම්මා පිළිබඳව සන්තාප සිතිවිල්ලක් හැම මොහොතක ම හදවත කොනක හුස්ම ගනිමින් තිබිණ. එසේ වීත් ඊළඟ සති අන්තයේ අපි මල් පැළ ගේන්නට බණ්ඩාරවෙල යන්න යොදා ගෙන සිටියෙමු.

“ඔයාට තාම වයසක් නෑනෙ ගයා. කවදා බිස්නස් එකක් පටං ගන්න බැරිද…මං ඔයාට උදව් නොකර ඉන්නෙ නෑනෙ. ඔයාගෙ අතේ තියන සල්ලි ටිකත් දාල කොහොම හරි අපි ගේ බේරගමු. මේ වෙලාවෙ කරන්න තියන හොඳම දේ ඒක නේද…අනික ඒ ගේ ඔයාට”

සිකුරාදා රාත්‍රියේ දුරකථන ඇමතුමක් දුන් අම්මා යළිත් බැගෑපත් වන්නට වූවා ය.

ඊළඟ කොටස සිකුරාදා ට

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles