පිනි සේල – 9

දවස් ගෙවී ගියේ ය.ඊෂා පැවසූ ලෙස ම තනි වී නොසිට පිරිස සමඟ මුසු වීම නිසා මගේ හිත සැකසෙමින් තිබිණ. පුරුද්දට ගාථා කියූ මට අනිත්‍යයේ සැබෑ අරුත වැටහුණේ තාත්තා නික්ම යාම නිසා ය. ලෝකයේ පවතින කිසිවක් සදාකාලික නැති බව මගේ ජීවිතය වසා සිටි ලොකුම වීරයා කියා දී යන්නට ගියේ ය. මම ක්‍රමයෙන් සුව වෙමින් සිටියෙමි. තාත්තා අහිමි වීමේ වේදනාව සුව කළ නොහැකි වේදනාවක් වුව මම වේදනාව මතින් නැගී සිටින්නට වෙර දරමින් සිටියෙමි.

මලිඳු ගැන අමතක ව යන මොහොතක්වත් නොවිණි. ඔහු අගනුවර ට මාරුවීමක් ලද්දේ ද ඉනික්බිති අපේ විශ්ව විද්‍යාලයේ සති අන්ත පාඨමාලාවකට ලියාපදිංචි වූයේ ද මට නොකියා ම ය.

“ඔයාගේ උනන්දුවක් නැති හින්දා මං තනියෙං රෙජිස්ටර් වුණා..”

ඔහු කියන්නේ එහෙම ය. ඇත්තම කතාව මා ඔහු ගැන තරම් මගේ එකම නැගණිය ගැනවත් වද වන්නේ නැත.

“මලිඳු එක්ක සම්බන්දෙකට යන්න හිතන්නවත් එපා බං. ඌ ඔය හැසිරෙන හැටියෙං මට පේන්නේ ගෑනිගෙන් පොඩී අඩුපාඩුවක් වුණත් ගුටි අනින මිනිහෙක්. ඔහොම උන් තමා බත් එකේ කෙස් ගහක් තිබ්බත් වරුවක් කියවන්නේ…”

ඊෂා කෝප වී කියවන්නට ගත්තා ය.

“මලිඳු හොඳ මනුස්සයෙක් ඊෂා. එයා කාටවත් වැරැද්දක් කියන්න කැමතිත් නෑ.වදයක් වෙන්න කැමතිත් නෑ. කෝස් එක ගැන බලන්න කියලා ඒක මට අමතක උනාම ඒ ගැන බලන එක මට වදයක් කියලා හිතන්න ඇති..”

මම පුරුද්දට මෙන් මලිඳුගේ ගුණ වර්ණනාව ඇරඹුවෙමි. ඊෂා ගැස්සුවා ය.

“මල විකාරනේ. ඔය තනියම ඇවිත් ඕවා හොයා ගත්තේ ලොකුකමට…අනික එයා මාව දිනුකව එහෙමත් දන්නවනෙ. අපෙන් උදව්වක් ගන්න බැරිද?”

ඊෂා කියවාගෙන යයි. මම ඇය නිවැරදි කළෙමි.

“මං මේක කියන්න මොකක්ද වගේ නිසා නොකියා හිටියේ. මලිඳුටත් සැකයක් තිබිලා දිනුක කැමති මටද කියල… මං මේ කියන දේට ඔයා හිනා වෙන්න එපා. ඔයා ඒ දවස්වල බයෙන් දුකෙන් හිටිය වගේ මලිඳුත් දිනුක එක්ක අප්සට් එකේ ඉන්නවද කියලා මට හිතෙනවා..”

ඊෂා කිසිත් නොකියා අහස දෙස බලා සිටියා ය. කුඩා දරුවන් පිරිසක් සරුංගල් යවමින් වෙල් යායේ ය. ඇගේ ඇස් ඔවුන් මත්තෙහි සුළු වෙලාවක් රැඳිණ.

“පිනී.. මම හිටියේ අවුලින්. හැබැයි මට දිනුකගෙන් අහන්න බෑනෙ ඔයා මට කැමති නැද්ද කියලා. ඇත්තටම තමන් කැමති කොල්ලගෙන් කැමතිද අහන මට්ටමට අපේ රටේ කෙල්ලන්ටත් එන්න පුලුවන් නම් හොඳයි. හැබැයි අපි තාම එහෙම නෑනෙ.. ඒත් මලිඳුට ඒක බැරි නෑනෙ. දිනුක ඔයාට කැමති වගේ හිතෙනවා නම් මලිඳුට ඇයි ඔයාගෙන් කෙලිං අහන්න බැරි.. “

මම දිගු හුස්මක් අතහැරියෙමි. සරුංගලයක ගොස් හැපෙන තරමට ඒ සුසුම බරැති වන්නට ඇත.

“ඊෂා… මලිඳු මං එයාට කැමති කියලා දන්නවා.. ඒත් කවදාවත් ඒක දන්න බවක් කියන් නෑ. මගෙන් අහන්නෙත් නෑ. කවුරුහරි මට ලං වෙනවටත් අකමැතිද මන්ද..”

“මං හිතන්නේ ඕක උඹ හිතන හිතලුවක් පිනී.. මලිඳු ඔයාට ආදරේ කරනවා නම් ඒක පටන් ගන්න කල් දැන්. එහෙම දෙයක් වෙන් නෑනෙ ඒත්..”

ආදරය බලෙන් වගා කරන්නට නොහැකි බව මම දනිමි. එය ඉබේ පැළ විය යුතු ය. මල් පිපී දිලෙන තරමේ ආදර වෘක්ෂයක් මසිතේ පැළ ව ඇත්තේ මලිඳුගේ කිසිම උනන්දුවක් නැතිව ය. ඔහු දෝතක පැන් මේ ගසට හෙළන්නේ නම් කෙළවරක් නැති මල් පුබුදුවන්නට මට හැකි බව දනිමි. නමුත් ඔහු නියඟයක් බඳු ය. වැස්සක් පෙනෙන මානයක නැත.

“මගේ හිත මලිඳුටම වෙන් වෙලා තියෙන්නේ ඊෂා. වෙන කාටවත් කිසිම ඉඩක් කවදාවත් එන එකක් නෑ..”

ඊෂා ආපසු හැරුණේ මගේ කොණ්ඩයෙන් ඇදගෙන ය.

“ආදරේ ඔයා හිතනවා වගේ නෑ. ආදරේ පහළ වෙන්නේ ඉබේටම. මලිඳුට ඇලිලා ගැලිලා ඌ මත්තෙ නහින්න හදන ඔයා ඊට සියදහස් ගුණයකින් ආදරේ කරන මිනිහෙක් මේ ලෝකේ කොහේහරි ඇති. මට හැමතිස්සෙම හිතෙන දෙයක්. ඔයා අයිති මලිඳුට නම් නෙවේ.. කපල් එකක විස්තර කරන්න නොතේරෙන මොකක්ද කෙමෙස්ට්‍රියක් තියේ.. ඔයාලා ළඟ මං ඒක කවමදාවත් දැකලා නෑ.ඉන්න තැනකින් ඔයාගේ අයිතිකාරයා ඔයාට හොයලා දෙන්නෝනෙ මලිඳුට බම්බු ගහපං කියලා..”

හැන්දෑ පාට අහසින් නෙතු ඉවතට ගෙන මම ඊෂාට සිනාවක් පා කළෙමි.

“ලෝකෙ කෙළවර ඉඳලා හරි ඒ මනුස්සයා එනවා නම් බැරියැ.. මලිඳු මාව හර්ට් කරනවා වැඩී දැන්..”

ලෝකයේ කෙළවර සිටින මගේ හිමිකාරයා සොයන්නට ඊෂාට ඉස්පාසුවක් නොවුණේ ඇගේ අයියා නැවත පැමිණෙන දිනය ළං වූ නිසා ය.විසල් නිවසට ඔහුගේ ආගමනය නිසා අමුතු වෙනසක් අවශ්‍ය නොවිණි.එහෙත් ඊෂා අයියාගේ කාමරය අස්පස් කරන්නට පටන් ගත්තා ය.කොල්ලෙකු ඉන්නා ගෙදරක කෙල්ලෙකු නවාතැන් ගැනීම නරක බව අපේ අම්මා සිතුවේ නැත. මා ජීවිතය පටලා ගන්නා දියණියක නොවන බවට ඈ තරයේ විශ්වාස කළා ය.

ඊෂාගේ අයියා හෙට උදෑසන නිවසට එන බව මා මලිඳුට පැවසුවේ නිකම ට ය.

“ඔයා බෝඩිමක් හොයා ගත්තද?”

හැරෙන තැපෑලෙන් පිළිතුරු ආවේ ය.

නොසිතූ ගැටලුවක් පැමිනුණි. ඊෂාගේ සුවිසල් නිවසේ ඉඩකඩ අඩුපාඩුවක් නැතිබව පැවසූ මා “මී හරකියක” බව මලිඳුට සහතික ය. විදෙස් සංස්කෘතියක හැදී වැඩී එන ඊෂාගේ සිටින නිවසක නවාතැන් ගන්නට සිතන මා ගැන මලිඳුට පවසන්නට බොහෝ දේ විණි. ඒ කටුක කතා අසා හුන් මට වැලපෙන්නට දැඩි උවමනාවක් විය. හඬාගෙන ගොස් ඊෂා වැලඳ ගන්නට සිතුණද ඈ මලිඳු අමතා “හොඳ දෙකක්” කියන බව මට සහතික ය. දිනුකට ඇමතුමක් ගත්තේ එනිසා ය.

“පිනී… ඔය මස්සිනා කියන ඩයල් එක ගැන මාත් දන්නේ ඊෂා කියන දෙයක් තමා.. බ්‍රේකප් එකක් නිසා සෑහෙන අවුලකින් හිටියට ඒ මනුස්සයා රේප් සීන් එකකට හිරේ ගිය එකෙක් නෙවේනෙ.. ඌ රෑ ඔයාගේ කාමරේට පැනලා ඊළඟ සතියේ ඔයා ප්‍රෙග්නන්ට් වෙයි කියලා මලිඳු හිතනවා නම් මට කියන්න තියෙන්නේ ඒවා වෙන්නේ පරණ හින්දි මූවි වල. වෙනවා නම් වෙන්නේ මස්සිනා ඔයා එක්ක අෆෙයා එකක් පටන් අරන් එයාගේ පරණ ලිස්ට් එක වගේම ඔයාවත් රවට්ටන එක.. ඔයාට බූට් තියන එක. ඉතින් එහෙම අෆෙයා එකක් පටන් ගන්න ආවොත් ඔයාට ඒක රිජෙක්ට් කරන්න හයියක් තියෙන්න ඕනනෙ.. ඒ වගේම එහෙම එකක් උනොත් ඒකට ඒ කාලෙට විසඳුමක් හොයන්න අපිට බැරිද…”

දිනුක කීවේ එහෙම කතාවකි. ඔහු ගැටලුවක් දෙස පරිණතව බලයි. පුළුල් ලෙස ලෝකය දකින ඔහු එසේ කීවාට මලිඳු කෝපයෙන් හිඳීම ගැන මා හුන්නේ ශෝකයෙන් දැවෙමිනි.

ඊළඟ කොටස සෙනසුරාදා ට

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles