පාට සේදුණු වත්සුණු – 16

4
1750

ලොරි දෙකක් පුරා මල් පැළ ගෙනැවිත් නත්තසූරිය පැළ තවානේ ස්ථාන ගත කරත්දී මා තුළ දෝරෙ ගලා යමින් තිබි හැඟීම් වලට නමක් දෙන්නට මම නො දනිමි. අත්තම්මා හා සීයා පවා සිටියේ ජීවත් වීම තුළ ඇතැම් අවස්ථා වලදී පමණක් අප අත් විඳින ප්‍රමෝදයකිනි. ඔවුන් දෙදෙනා නියමිත ස්ථානයන් හි පැළ වර්ග තැන්පත් කරමින් ඔබ මොබ ඇවිද්දේ අලුත් ම සතුටකිනි.

“ඔයා හරි වාසනාවන්තයි ගයාත්මි”

ඒ වැඩ අතරේ දී යුගාන්ත වතාවක් මට කීවේ ය. ඒ වූ කලී කිසිදා මා සම්බන්ධයෙන් මා නො දැන සිටි හෝ විශ්වාස නො කළ කතාවකි. සත්තකට ජීවිතය වූ කලී කිසි දාක මගේ පැත්තේ වාසනාව කියන දේ ලියා තබන්නට අමතක කරන ලද නාටකයකි. සියල්ල සිදු වූයේ මගේ අවාසනාව යළි යළිත් මට පසක් කරමිනි. හිත් පුරා මව් පිය දෙදෙනා ගේ ආදරය විඳ ගන්නට පින් අහිමි වූ, යොවුන් වියේ දී පෙමින් ලං වූ පිරිමියා නිසා සැනසීමක් අත් නොවූ, වැටී ඉන්නට තිබූ ගෙදර පවා අහිමි වී ගිය මා වාසනාවන්තියකැයි යුගාන්ත කියයි.

“ඇයි ඔයා හිනා වෙන්නෙ…”

මට නො දැනුණා ට  මා මුවග සමච්චල් සිනහවක් වන්නට ඇත.

“හිනා යන්නැද්ද අයියෙ…ඔයා තමයි මං වාසනාවන්තයි කියල කියපු පළවෙනි කෙනා”

ඔහු බලා උන් ඇස් බැල්ම දරනු බැරි සෙයක් මට දැනිණ. නමුත් එවැනි වෙනසක් යුගාන්ත ට නො දැනෙන සෙයින් මම වෙනතක් බැලීමි.

“ඒක හොඳයි”

“ම්..”

මා ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි. සැබවින් ම යුගාන්ත කී වචන දෙකෙහි අරුත මට පසක් වූයේ නැත.

“මං කිව්වෙ…ඒක දැකපු පළවෙනි කෙනා මං වෙච්ච එක”

“පොඩි කාලෙ මං හරි ආසාවෙං හිටියා අයියා කෙනෙක්ට. නංගි කෙනෙක්ටවත් මල්ලි කෙනෙක්ටවත් ආසම නෑ. අයිය කෙනෙක් ඕන කිව්වහම අම්ම කියනව එයාට අයිය කෙනෙක් ගේන්න තමයි වෙන්නෙ කියල. ඒකනං අම්ම කළා තමයි”

කතාව කියන්නට පටන් ගත්දී මා තුළ වූ උනන්දුව ක්ෂය වෙන්නට පටන් ගනිමින් තිබිණි. නමුත් කියන්නට ඕනෑ වූ කතාව මා කියා තිබුණේ නැත.

“අයිය නිසා අයිය කෙනෙක් ගැන මට තිබුණ සාංකාව හොඳ වුණා කියල දැං හිතෙනව”

“ඇයි…”

“මන්දා. ගෑනු ළමයෙක් විදිහට තනියම කර ගන්න බැරි දේවල්…තනියම යා ගන්න බැරි තැං…ඕන ගෑනු ළමයෙක්ට තියෙනව අයියෙ. දැං අපි හිතනව එහෙම නෑ ඕන දෙයක් ගෑනු අපිටත් පිරිමි වගේම කර ගන්න පුළුවන් කියල. ඔව් පුළුවන් තමයි. අයිය හිටියෙ නැත්තං මං තුෂී එක්ක ගිහිං හරි මේ වැඩ ටික කරගනී. ඒත් පිරිමි කෙනෙක් එක්ක ගිහිං ඒ දේවල් කර ගද්දි දැනෙන සුරක්ෂිත හැඟීම වෙන එකක්. ඔව්…හුඟක් ගෑනු ළමයි තමංගෙම අයිය කෙනෙක්ට එච්චර ආදරේ වෙන්න ඒකත් හේතුවක් වෙන්නැති”

මා කතා කර ගෙන ගියේ සිහිනයකින් සේ ය. ඒ මා යුගාන්ත එක්ක කියන්නට හිටි කතාවක් නොවේ. නමුත් නො සිතූ මොහොතක මගේ හදවත ගොළු කළ නො හැකි ලෙස දොඩමළු වී තිබිණ.

පැළ සියල්ල ස්ථාන ගත කිරීමෙන් අනතුරු ව නත්තසූරිය පැළ තවාන දෙස බැලු මගේ හදවත පිම්බී යනවා මට දැනිණ.අත්තම්මා කීවේ ආරම්භය සඳහා සුබ නැකත් බැලවිය යුතු බවයි. ඒවා ගැන මා තුළ ඒ තරම් අවබෝධයක් හෝ විශ්වාසයක් නැතත්, අත්තම්මා ගේ ආශාව එය වන නිසා හා එසේ කිරීමෙන් මට කිසිදු හානියක් සිදු නො වන නිසා මම විරුද්ධ වෙන්නට නො ගියෙමි.

“ඔය නක්ෂත්‍ර කාරයො කියාගන්න එවුං හොර තක්කඩි. උං දන්න නක්ෂත්‍රයක් නෑ. ගෑනු රවට්ටල සල්ලි කඩා ගන්නව මිසක්”

සීයා නමි අත්තම්මා අවුස්සනු වස් එහෙම කියා හඬ නගා හිනැහුණේ ය. අත්තම්මා මූණ නරක් කර ගත්තා ය.

“අනේ මේ හැම එකක්ම දන්නව කියල හිතන්න එපා පුතාලයි තාත්තෙ. ඒව බොරුනං මෙච්චර කලෙයක් ඕව ලෝකෙ පවතියිද…”

“නන්දා…උං දන්නවනං අනාගතේ කියන්න…ලෝකෙට මෙහෙම දේවල් වෙන්න තියෙන බවවත් කියන්න ඕනනෙ. සුනාමි නිසා කී දාහක් විනාස වුණාද…බෝම්බ නිසා…යුද්ද නිසා…අඩු ගානෙ කොරෝනා කියල වසංගතයක් ලක්ෂ ගාණක් මිනිස්සු බිලි ගන්න එනව කියලවත් මුං කිව්වද…හොර යක්කු”

සීයා කියන කතාවෙහි පදනමක් හා තර්කයක් නැත්තේ නොවේ. නමුත් අත්තම්මා සිය මතය වෙනස් කරන සූදානමක නො උන්නා ය.

“වෙන්න තියන දේ වෙනව. බුදු බණේ කර්මය කියන්නෙ ඒකටනෙ”

“වෙන්න තියෙන දේ වෙනවනං අර තක්කඩින්ට කියල මොනව බලවන්නද…වෙන්න තියෙන දේ කොහොමත් වෙයිනෙ”

විහිළුවට සේ පටන් ගැනුණ ඒ කතා බහ නිසා අත්තම්මා ගේත් සීයා ගේත් දෙදෙනා ගේ ම රුධිර පීඩනය වැඩි වන්නට ඇතැයි මම සිතමි. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු ලෙස සීයා සිතන්නේ ප්‍රායෝගික හා තාර්කික ව ය. නමුත් මේ කතා බහට සිනා සිසී කන් දී ගෙන සිටි යුගාන්ත, පසුව මා හා කී කතාව මගේ සිත් ගත්තේ ය.

“ඕක මේ මුළු සමාජෙම තියෙන ප්‍රශ්නයක් ගයාත්මි. මිනිස්සු කැමති නෑ අනිත් මනුස්සයටත් තමුන්ට වගේම ජීවිතේ හැම අයිතියක් ම තියෙනව කියල පිළිගන්න. අපි වැඩි දෙනෙක් හිතන්නෙ අපි කරන දේ තමයි හරි. අපි හිතන විදිහට තමයි හැමෝම හිතන්න ඕන කියල. ඒත් එහෙම නෑ. විවිධත්වය කියල දෙයක් තියෙනව. මං ආස දේට නෙවෙයි ඔයා ආස කරන්නෙ. මං කරන දේ නෙවෙයි ඔයා කරන්නෙ. හැබැයි ඒ දෙකෙං එකක්වත් අනිකට වඩා උසස්වත් පහත්වත් නෑ. ඒත් අපේ මිනිස්සු සසඳන්නෙ මං කැමති දේ තමයි හරි  අනිත් අය ඔක්කොම මෝඩයො කියල හිතාගෙන”

ඔහු කොයි තරම් සාධාරණ ලෙස සමාජය දෙස බලනවාද කියා සිතන්නට මට ඒ ටික හොඳට ම ප්‍රමාණවත් විය. කුසල් කියන්නේත් යුගාන්ත ඒ කී ජාතියේ අන්තවාදියෙකි. විවිධත්වය කියන දේ පටන් ගන්නේ ම බෙදීමෙන් ය කියා ඔහු ත් සිතයි. ෆේස් බුක් අඩවිය තුළ ඇතැම් අවස්ථා වල ඔහු ඉදිරිපත් කළ අදහස් මගේ ලැජ්ජාවට පවා හේතු වූ බව මට මතක ය.

නක්ෂත්‍රය ගැන මගේ විශ්වාසය කෙබඳු වුණත්, අත්තම්මා ගේ අදහස එක හෙළා නො ගරහා ඇයට අවස්ථාවක් දෙන්නට මා තීරණය කළේ යුගාන්ත ගේ අදහස නිසා ය

සුබ නැකතින් පැළයක් ගන්නයි මා ආරාධනා කළේ ත් යුගාන්තට ම ය.

“අපෝ…ඒකටනං මං පොඩි වැඩියි. නේද සීයා…”

යුගාන්ත සිනා සිසී කීවේ ය.

“එහෙම පොඩියක් දැනුණනං ගයා කීයටවත් ඔය වැඩේ පුතාට කරන්න කියන්නෑ කියල මට විශ්වාසයි”

සීයා හඬ නගා හිනැහුණේ ය.

“පුතාගෙ ආශිර්වාදෙ අපේ ගයාත්මියාට ශක්තියක් වෙයි”

අත්තම්මා ගේ කතාව මනෙත්හි කඳුළක තෙත දැනවූවත්, වේගවත් ඇස්පිය කිහිපයකින් මම ඒ තෙත සිඳ ගතිමි. යුගාන්ත මදෙස බලා සිටින බව දැනුණේ ඉන් ඉක්බිති ය. මම මඳ හසරැල්ලක් වත මත පුබුදා ගතිමි. නමුත් යුගාන්ත ලා සිනහවක් වත් හෙළුවේ නැත.

“මට කිව්වත් මං ඉතිං පැළයක් ගන්නවනෙ. ඕක හමිං බර්ඩ්ටම කිව්වෙ නිකං නෙවෙයිනෙ. හිතේ වෙන අදහසක් තියාගෙනනෙ”

තුෂී නෝක්කාඩු කීවේ බොරුවට බව මම දනිමි.

“අනේ මේ වෙන අදහසවල්නං නෑ හරිද…”

“පේනව නෑ කියල”

“එයා මේ වැඩේට මහන්සි වුණානෙ. ඒකට ගෞරවයක් විදිහටයි මං ඒ වටිනකම එයාට දුන්නෙ”

“ආ…එතකොට අපි මහන්සි වුණෙ නෑනෙ…”

“ඔයා ඉතිං මහන්සි වෙන්න ඕනනෙ…ඔයා මගෙ බඩීනෙ”

“අනේ පලයං. අපි අහු වෙයි ඕවට”

එක පැළයක් ගන්නට කීවාට යුගාන්ත ඒ සුබ නැකතේදී, සිය අලුත් ගෙමිදුල සකසන්නට අවශ්‍ය කරන පැළ වර්ග රැසක් ම, ලොකු මුදලක් ගෙවා වෙන් කර ගත්තේ ය.

“අයියෙ මං කිව්වෙ සංකේතයක් විදිහට විතරක් පැළයක් ගන්න කියලයි”

“ඉතිං ළමයො. කොහොමත් මං ගාඩ්න් එකට පැළ දාගන්න හිටියෙ. ඔයාගෙං නැතත් වෙන තැනකිං හරි මං ගන්න ඕනනෙ”

කිරිබත් කෑල්ලක් කමින් යුගාන්ත එක්ක කතා කරත්දී මට අම්මා සිහි විය. සුබ නැකතට මෙහි එන්න කියා කීවාට ඇය ආවේ නැත. මම ඒ ගැන හිත හිතා ඉන්නට නො ගියෙමි. එක ම පාරක නොයා අප වෙන වෙන පාරවල් වල යන එක හොඳ ය. එතකොට සුරක්ෂිත කෙනාට අනෙකා ගේ සුරක්ෂාව වෙනුවෙන් යමක් කළ හැකි වනු ඇත.

කෙසේ වෙතත් ඒ සැන්දෑවේ අම්මා ආවා ය. ඒ නිකං ම නොවේ. ගෙදර බඩුත් ලොරියක පටවා ගෙන අසංකත් එක්ක ම ය. ඔවුන් දුටු මා පමණක් නොව අත්තම්මා පවා හුස්ම ගැනීම මඳකට නවතා බලා සිටියා ය.

3.3 3 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
ප්‍රසන්ති කළුපහන
9 months ago

🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐

Nilanthi Ediriweera
9 months ago

ඇයි අක්කා එහෙම කළේ…

Poornima Jayathilaka
9 months ago

අනේ ඒ අම්මයි කොල්ලයි නම් මේ ගෙදර තියන්න එපා..ගහලා හරි පන්නන්න..අර අහිංසක කෙල්ල ගෙ ජීවිතේ …😥😥😥

Shyani
9 months ago

ගොඩක් දැනෙන කතාවක්.. පුදුම ලස්සනට අමුතුම රහකට ලියවෙන කතාවක් ❤