ශක්තිමත් ලිංගික සම්බන්ධතා පවුල් ජීවිතයට බලපාන අන්දම..

අපට ලැබෙන නිර්නාමික ගැටලු බොහොමයක කාන්තාවන්ගේ අතිශය පෞද්ගලික ලිංගික ගැටලු ගැන සඳහන් වෙනවා.බොහෝ වෙලාවට මේවා ඇති වන්නේ පළමු දරු ප්‍රසූතියට පසුව වීමත් විශේෂත්වයක්. මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමඟ මේ ගැන කතා කරන්න අපි හිතුවේ ඒ නිසා.

ලිංගික සම්බන්ධතා වැදගත් වෙන්නේ ඇයි?

ලිංගික සම්බන්ධතා කියන්නේ ලෝකය ඇති වූ දාම ඇති වූ මනෝ භාවයක්.විවිධ රටවල සහ සමාජ තලවල ලිංගිකත්වය ගැන කතා කිරීම සහ හැසිරීම වෙනස්. සංස්කෘතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ලිංගික සංස්කෘතින් පවා කාලෙන් කාලෙට වෙනස් වේවි.නමුත් විවාහ වීම නිසා දෙන්නෙකුට එකට ජීවත් වෙන්න අයිතියක් ලැබෙනවා. ඒ වගේම ලිංගිකත්වයටත් අයිතියක් ලැබෙනවා.නමුත් මා ළඟට උපදේශනයට එන බොහෝ පවුල් එන්නේ ලිංගික ගැටලු නිසා. මේකට ගොඩාක් දුරට හේතු වන්නේ කාන්තාවන්ගේ ඇති උදාසීනත්වය.අනිත් කාරණාව අදහස් ප්‍රකාශ කරන්න කාන්තාවන් මැලි වීම. පිරිමියා හුවා දක්වන්නේ කාන්තාවගේ ඇති ඒ අඩුපාඩු.. ලිංගිකත්වය කෑම බීම ගන්නා තරමටම ශරීරයට අවශ්‍ය සහ උරුම සාමාන්‍ය දෙයක්. නමුත් දැන් සමාජ මාධ්‍ය තුළ තියන විකෘති ලිංගික ආශාවන් නෙවෙයි. ලිංගිකත්වයෙන් මනස ප්‍රබෝධමත් වෙනවා. මනස ප්‍රබෝධමත් වීම සාමාන්‍ය ජීවිතේ වැඩකටයුතු කර ගන්න ඉතාම අවශ්‍ය දෙයක්.

දරු ප්‍රසූතියට පස්සේ කාන්තාවන් ලිංගික ක්‍රියා කෙරෙහි උදාසීන වෙන්නේ ඇයි?

පළමුවෙනි කාරණාව ඒ කාලයේ සිදුවන හෝමෝන වෙනස් වීම්. දෙවැන්න දරු ප්‍රසූතිය නිසා සිදු වූ කායික අමාරුකම් නිසා මනසේ ඇති වන බය සහ උදාසීනත්වය. දෙදෙනා මේ දේවල් ගැන විවාහයටත් කලින් ඇත්තටම දැනුවත් වෙන්න ඕන. වෙඩින් එකේ සියල්ල ලස්සනට ප්ලෑන් කරත් එතැනින් එහා ජීවිතය ගැන බහුතරයක් හිතන්නේ නෑ. ඒ නිසා මේ වගේ තත්ත්වයක් ආවොත් උපදේශනයට අනිවාර්යයෙන් යොමු වෙන්න.

කාන්තාව ලිංගිකව සක්‍රිය වෙනකොට ස්වාමියා උදාසීන නම් කුමක්ද කළ යුත්තේ?

සාමාන්‍යයෙන් මත්පැනට ඇබ්බැහි වූ පිරිමින්ට ලිංගික උදාසීනත්වය ඇති වෙන්න පුලුවන්. ඒ වගේම බිරිඳ කාලයත් එක්ක පිරිසිදුකමින් බැහැර වීමත් සැමියාගේ ලිංගික හැඟීම් උදාසීන කරනවා. දහඩිය ගඳ, මුඛයේ දුර්ගන්ධය වගේ කාරණා ඔබේ සැමියා ඔබෙන් ඈත් කරන්න හේතුවක්. ඒ වගේම ඔබ පිළිවෙලකට ලස්සනට ඉඳීමත් හරි වැදගත්. සැමියා දෑස පියා ගත්තම ඔබව විචිත්‍රවත් ලෙස ඔහුගේ මතකයට ඒම තමයි විය යුතු. අපිළිවෙළ බිරිඳක් සැමියා මානසිකව ලිංගික උදාසීන කරනවාමයි. ඒ වගේම සැමියාගේ ආශාවන් සංතර්පණය කළ යුතු ආකාරයත් හඳුනා ගන්න. ගැටලු ඇත්නම් ඒවා සඳහා මානසික වගේම කායික ප්‍රතිකාර හරිම වැදගත්.

ලිංගික සම්බන්ධයක් තුළ තමන්ගේ උවමනා එපාකම් දෙදෙනා සාකච්ඡා නොකිරීම පවුල් ජීවිතයකට බලපාන්නේ කොහොමද?

පවුලක දෙදෙනා එකම දේවල් කන්න ආසද? නෑ.. ලිංගික රුචි අරුචිකම් ඒවගේමයි. ලැජ්ජා වෙවී කතා නොකර සිටීම හොඳ නැහැ. මගේ සැමියා මං ගැන වැරදියට හිතයි, මං නරක බව හිතයි වගේ ඒවා හිතන්න එපා. ලිංගිකත්වය ගැන හොඳ අවබෝධයක් ලබා නැත්නම් උපදේශනයට හෝ යොමුවීම වැදගත්. ඒ වගේම දරුවන් මැද නිදි කරගෙන දෙදෙනා ඇඳ දෙපස නිදා ගැනීමත් කවදාවත් කළ නොයුතු දෙයක්.ඔබට නිදහසේ කැමති විදියට හැසිරෙන්න තැනක් තිබිය යුතුමයි. දරුවන් වෙනම කාමරයකට හුරු කළ යුත්තේ ඒ නිසා.හැඟීම් මතු වුණත් දරුවා කාමරයේ ඉන්නවා නම් ඔබේ හැඟීම් වලට ඉඩ දෙන්න අපහසුයි. ඒවගේම ඔබට ලිංගිකව හැසිරීම එපා වෙලානම් එය අනවශ්‍ය බව හිතෙනවා නම් එයත් ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්. සාමාන්‍යයෙන් ‍යුවලක් තුළ විවිධාකාර ගැටලු ඇති බව හිතුණත් සමහර වෙලාවට ගැටුමේ මුල තියෙන්නේ ලිංගික ගැටලුවක්. ඒ දෙදෙනා සාකච්ඡාවට මැලි වීම නිසා සිදු වන දේවල්.

දරුවෝ ඉන්න නිසා යුවලක් අතර දුරස් භාවය ඇති වීම සුලබයි. මෙයට විසඳුම් තියෙනවද?

දරුවෝ කැමති අම්මා තාත්තා ආදරෙන් ඉන්නවා දකින්න.ඔබ ආදරයෙන් හිඳිනවා දැකීම ඔවුන් ප්‍රේමණීය සිත් ඇත්තන් බවට පත් කරනවා. අතින් අල්ලන් හිටියට, සිප ගත්තට, දරුවන්ටත් එක්ක සහකරුට හෝ සහකාරියට බත් කැව්වට දරුවන්ගේ මනසට හානියක් වෙන් නෑ.දෙමාපියන්ගේ බැඳීම ගැන ඔවුන් සතුටට පත් වෙනවා මිසක්. අපේ සියලුම භෞතිය වටිනාකම් අයින් කරාම අපි ස්වභාවික මිනිස්සු. හිත සුවපත් වීම තමයි වැදගත් ම.
අපේ රටේ ලිංගික අධ්‍යාපනය ප්‍රමිතියකට උගන්වන්නේ නැහැ. නමුත් ඔබේ පවුල් ජීවිතය ලිංගික ගැටලුවක් නිසා හානියට පත් වෙනවා නම් කරුණාකරලා ඉක්මනින් නිවැරදි උපදේශනයකට යොමු වී ගැටලු නොසඟවා කතා කරන්න.

මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු පැහැදිලි කිරීමක් මේ වීඩියෝව හරහා ඔබට දැන ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles