කියවන්න පොතක්. – අරඹෙ ගෙදර ඈන්

ඈන් ෂර්ලි!

ලෝකය පුරා ගැහැනු ළමයින්ගේ ආදරය දිනා ගන්නට ඈන් ෂර්ලි තරම් සමත් වූ කල්පිත චරිතයක් නැති තරම්. ඕනෑම ගැහැනු දරුවෙකු තුළ ඇති ගතිගුණ ඇයට තිබීම ම ඈන් ව බොහෝ ආදරයෙන් වැළඳ ගන්නට හේතුවක්.

කැනේඩියානු පොත් පෙළක් ලෙස ඈන් ලියැවෙන්නේ ලුසී මෝඩ් මොන්ට්ගොමරි අතින්.
ඒ 1908 දී. කතුවරිය උපන් එඩ්වර්ඩ් කුමාර දිවයින ඇසුරු කරගෙන මේ කෘති මාලාව රචනා වී තිබෙනවා. එඩ්වර්ඩ් කුමාර දිවයින පිහිටා ඇත්තේ කැනඩාවේ නැගෙනහිර වෙරළට යාබදවයි. ඈන් කෘති මාලාව ගැහැනු ළමයෙකුගේ ජීවිතය අලළා ලියැවුණ ද එකල කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය, සමාජ සංස්ථාව, සිරිත් විරිත් සහ ආකල්ප මනාව විස්තර කෙරෙනවා.

ඈන්ගේ කතාව Anne of Green Gables ලෙස ඇරඹෙනවා. මැතිව් සහ මරිලා කත්බර්ට් නම් වියපත් සහෝදර දෙපල ඈන් නම් අනාථ දැරිය හදා වඩා ගන්නේ වැරදීමකින්. නිවසේ කටයුතු සඳහා පිරිමි දරුවෙකු වෙනුවට ඈන්ව කත්බර්ට් නිවසට යැවෙනවා. මුලදී ඈන්ව ප්‍රතික්ෂේප කරන මරිලා පසුව ඇයට බොහෝ ආදරය දෙන්නේ ඈ එතරමට ම ආදරණීය දැරියක නිසා.

මට නැන්ද කෙනෙක්වත් මොනම නෑදෑයෙක්වත් නෑ.ආච්චි කෙනෙක්වත් නෑ. එහෙම කතා කරනකොට මට හිතෙනවා මම ඔයාගෙම කෙනෙක් කියල. අනේ, මම ඔයාට ‘මරිලා නැන්ද’ කියල කියන්නද?”

ආදරවන්තයන්ගේ පටුමග, දිලිසෙන වතුර විල, අලස ලැහැබ, දම්පාට නිම්නය, ප්‍රීති මාවත, හිම රැජිණ, රුක් දේවතාවියගේ දිය බුබුළ, හොල්මන් ලන්ද වැනි අපූරු නම් ඈ ජීවත් වන පරිසරයේ ඇති දේ වෙනුවෙන් තබන ඈන් තමන්ගේ අයට බොහෝ ආදරය දෙන දැරියක වී සිහින දකිමින් උස්මහත් වෙනවා. රතු කෙස් ඇති දැරිය වැඩෙන්නේ වැරදීම් සිදු වෙමින් ඒවා නිවැරදි කරගනිමින් සහ ජීවිතය ගැන නොයෙකුත් පාඩම් ඉගෙන ගනිමින්. ඇගේ ඒ කතාන්දර හැම ගැහැනු ළමයෙකුටම බොහෝ පාඩම් ඉගෙන ගන්නට හැකි තැන් බවත් නොකියාම බැහැ. අත අත නෑරෙන මිත්‍රත්වයක් දැරියකට මොනතරම් වටිනවා ද යන්න ඈන් සහ ඩයනාගේ අපූරු “අඹ යාලුකම” අපට තහවුරු කරනවා.

Anne of Green Gables (1908)
Anne of Avonlea (1909)
Anne of the Island (1915)
Anne of Windy Poplars (1936)
Anne’s House of Dreams (1917)
Anne of Ingleside (1939)
Rainbow Valley (1919)
Rilla of Ingleside (1921)

ලෙස ඈන් කෘති මාලාව ඈන් බිරිඳක් සහ මවක් වනතුරුම ද ඉන් අනතුරුව ඇගේ දරුවන්ගේ කතා ලෙස ද ගලා යනවා.

ඈන් ගුරුවරියක් වන්නේ ඇගේ ඉගෙනීමට බොහෝ කැපවෙන දැරියක නිසා. ඈ විවාහ වන්නේ කුඩා කල පටන් ඇගේ හොඳම මිතුරා වූ ගිල්බර්ට් බ්ලයිත් සමඟ. ප්‍රේමය වටහා ගත නොහැකි වී වෛරක්කාරයන් වන, වෙනත් අය සමඟ එක් වන්නට සිතන, රහසේ ප්‍රේම කරන ප්‍රේමවන්තයන් විවාහ වී සිහින මන්දිරයේ ජීවත් වීම අරඹන්නේ යොවුන් ප්‍රේමයේ සමහර ගැඹුරු තැන් සහ ප්‍රේමයේ ස්වභාවය අපට මනාව වටහා දෙමින්. ගිල්බර්ට් ඈන් ව වඩා හොඳින් වටහා ගන්නා අපූරු සහකරුවෙක්.

වෛද්‍ය වෘත්තියට එක් වී දුර පළාතකට තම අලුත් මනාලිය රැගෙන යන ගිල්බර්ට්ගෙන් ඈන් අසන්නේ අපූරු ප්‍රශ්නයක්.

ඒ වුණාට ගිල්බර්ට් අපට ලී බඩු එක්ක විතරක් ජීවත් වෙන්න බෑනේ. බොහොම වැදගත් දෙයක් ගැන ඔයා තවම කතා කළේ නෑ. ගේ වටේ ගස් තියෙනව ද?

වටහා ගැනීම තරම් දෙයක් ප්‍රේමයට තවත් උවමනා නැහැ. ගිල්බර්ගේ පිළිතුර ඈන් ප්‍රීතියට පත් කරන්නේ ඒ නිසා. තරුණියට ‘ප්‍රීතියේ පරමකෝටියට’ පත් වන්නට තමා තේරුම් ගත් සැමියෙකු තරම් වෙන කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. භෞතික සම්පත් වෙනුවට ගස් වැල් ගැන අසන බිරිඳට ගිල්බර්ට් ඈට අවශ්‍ය පිළිතුර ලබා දෙනවා.

ගස් වකාරෙ. රුක් දේවතාවොත් එක්කම.. ගේ පිටිපස්සෙ දේවදාර අරඹක්. ගෙදරට යන පාර දෙපැත්තෙ පේළි දෙකට පොප්ලර් ගස්. ගෙවත්ත වටේටම බර්ච් ගස් වළල්ලක්. ලස්සන ගෙවත්ත. අපේ ඉස්සරහ දොර ඇරපු ගමං ගෙවත්ත. තවත් පැත්තකිං ඇතුල් වෙන්න පුළුවං දේවදාර ගස් දෙකක් අතරිං දාපු පුංචි ගේට්ටුවකිං. එක ගහක කඳට තමයි ගේට්ටුවේ සරනේරු අල්ලලා තියෙන්නෙ. අගුල වැටෙන්නෙ අනික් ගහේ කඳට. ඊට ඉහළිං ගස් දෙකේ අතු විහිදිලා තියෙන්නෙ ආරුක්කුවක හැඩේට..’

ඈන් ආදරණීය මවක් සහ බිරිඳක් වන්නේ ඇගේ හැඟීම් වලට අවංක වීමෙන්. තමාට ළමා කාලයක් තිබූ බවත් ඒ ළමා කාලයේ සිදු වූ වැරදි තම දරුවන් අතින් සිදු වෙන විට නිවැරදි වන්නට ඔවුන්ට කාලය ලබා දිය යුතු බව තේරුම් ගැනීමෙන්. පළමු දරු ප්‍රසූතිය මළ දරුවෙකු ඈට තිළිණ කළත් ඉවසීම, දරා ගැනීම සහ බලාපොරොත්තු තබා ගැනීම නිසා දරුවන් සය දෙනෙකුගේ ආදර අම්මා වන්නට ඈට දෛවය ඉඩ හරිනවා. ආදරයේ උණුසුම දැල්වෙන නිවසකට ගැඹුරු හිමපතනය හෝ සිරුරු විනිවිද යන සීතල පීඩාවක් විය නොහැකි බව මවක් වූ පසු ඈන් අවබෝධ කර ගන්නවා.ඒ වසන්තය එළැඹෙන බව දන්නා නිසා.”බරපතල පවුලක” ඇති ආදරය වටහා ගන්නා නිසා.

අනාථ දැරියක ලෙස පැමිණ අරඹෙගෙදර ඈන් බවට පත් වූ ඈන් ඉන් අනතුරුව රෙඩ්මන්ඩ් හි ඈන්, සිහින මන්දිරයේ ඈන් සහ සුව සෙවණෙහි ඈන් වී ක්‍රමයෙන් වැඩුණු ගැහැණියක වන්නේ වැටීම් සහ නැගිටීම් මතින්.

ප්‍රේමසිරි මාහිංගොඩ මහතා සහ ප්‍රභාත් මිරිහාගල්ල මහතා ඈන් පොත් පෙළ දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස පරිවර්තනය කර තිබෙනවා.ඔබට එය කියවන්නටත් ඈන් සමඟ ඇවන්ලි ගම සහ එඩ්වර්ඩ් කුමාර දිවයින පුරා ඇවිද යන්නටත් හැකියාව තිබෙනවා.

සැබෑ ස්මාර්ට් කෙල්ලක වන්නට ඈන් ෂර්ලිගෙන් ඔබට උගත හැකි පාඩම් අපමණයි.

මට විතරක් නෙමෙයි. හැමෝට ම තියෙනව. කිසිම කෙනෙක් ගෙ හැම හීනෙ ම හැබෑ වෙන්න බෑ. හැබෑ නොවුණ හීන නැති ලෝකෙ මැරිච්ච ලෝකෙයක් වගෙයි.එතකොට ඒව හැබෑ කර ගන්න දඟලන කිසි කෙනෙක් නැති වෙනව..”

හීන දකින්න ඉගෙන ගන්න!

නමේ අගට E අකුරක් ඇති මේ කැරට් කොණ්ඩකාරිය මුණ ගැහෙන්න.

Related Articles

Don't Miss


Latest Articles