ඔබටත් දවසේ වැඩ ටික කරගන්න වෙලාව මදිද?

වෙලාව මදිවීම අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන විශාල ප‍්‍රශ්නයක්. කාන්තාවන්ට මේ ප‍්‍රශ්නය කතාකරන්නවත් වෙලාවක් නැති තරම්. හැම පැයකට ම විනාඩි හැටක් තියෙනවා. හැම දවසකට ම පැය විසි හතරක් තියෙනවා. හැම සතියකට ම ඒ වගේ දවස් 7ක් තියෙනවා. ඒ කියන්නෙ පැය 168ක්. ඒත් අපට වෙලාව මදි වෙන්නෙ කොහොමද?

අපි හැමෝගෙම ජීවන රටාව එක සමාන නෑ…

එක එක කාන්තාවන්ගේ දෛනික ජීවිත රටාව සමාන නැහැ. රැකියාවක් කරන කාන්තාවකට දවස පටන්ගන්න වෙන්නෙ අනිත් අයට වඩා ටිකක් කලින්. ඇය ගෘහනියක් පමණක් නොවන නිසා ඇගේ දවස කාර්යබහුලබවින් වැඩියි. ඇය මවක් නම්, මේ තත්වය ඊටත් වඩා වෙනස්. දරුවන් උදෑසන අවදි කිරීම, ඔවුන් පාසල් යන වයසේ අය නම් ඔවුන් අවදි කොට ඒ සඳහා සූදානම් කරවීම, ඇතුළු අමතර කාර්යයන් රැසක් ඇගේ වැඩ ලයිස්තුවට එකතු වෙලා ඇති.

විසඳුම මොකක්ද ?

වැඩ කළත් නොකළත්, අපි කැමති වුණත් නැති වුණත් කාලය ගත වෙන එක නතර කරන්න කාටවත් බැහැ.
ඒත් අපි හැම කෙනෙකුට ම දවස සැලසුම් කරගන්න පුළුවනි. සතිය සැලසුම් කරගන්න පුළුවනි.
සමහර සැලසුම් හදිසි හේතු මත නොවැළැක්විය හැකි අවස්ථාවලදි වෙනස් වෙන්න ඉඩ තියෙන බව ඇත්ත.
ඒත් හැම කටයුත්තකට ම වෙලාව මදි, වෙලාව මදි කියල පසුතැවෙන්න වෙනවනම්, ඒක ඔබේ ශාරීරික සෞඛ්‍යයටවත් මානසික සෞඛ්‍යයටවත් හොඳ තත්වයක් නම් නෙවෙයි.
වෙලාව මදි කියමින් පසුතැවෙන අතරතුර ගතවෙන හැම තත්පරයක් ම පවා ඉතා වටිනා බව ඔබ මොහොතකටවත් හිතුවාද?

මේ දේවල් අදම පටන් ගමු

කාලය මදි කියල හිතනව වෙනුවට මේ පුංචි උපක‍්‍රම ටික හුරු කරගන්න පුළුවන්ද බලන්න.

  • ඔබේ වැඩකටයුතු සැලසුම් කරගන්න.

මෙය ඔබ හිතන තරම් සංකීර්ණ කටයුත්තක් නොවෙයි. දෛනිකව, සතිපතා, මාසිකව ඔබට කරන්නට සිදුවන නිත්‍ය වැඩ ලයිස්තුගත කරගන්න. ඒවායින් ප‍්‍රමුඛත්වය දිය යුතු වැඩකටයුතු වෙනම හඳුනාගන්න.

ඔබ වැඩ ලෙස ගොනු කරගෙන සිටින, අනවශ්‍ය වැඩ රාශියක් දැන් ඔබට වෙනම හඳුනාගත හැකිවේවි. වහාම ඒවා ඔබේ ලයිස්තුවෙන් කපා හරින්න.

  • වැඩ කටයුතුවලට කාල රාමුවක් සකස් කරගන්න.

වැඩ අරඹා අවසන් කරන්නට ගතවේයැයි ඔබ නිශ්චය කරන කාලය සඳහන් කරන්න.දිනපොතක් කැලැන්ඩරයක්, ඔරලෝසුවක් භාවිත කරන්න.

ඉලක්ක කරගත් කාලයට වඩා වේලාසනින්, නිවැරදිව වැඩ අවසන් කරන්නට උත්සාහ ගන්න.

අසීරු සහ කළ යුතු ම වැඩ කටයුතු සඳහා වඩාත් සුදුසු වේලාවන් තීරණය කරගන්න.

  • ඔබට කිසිසේත් කළ නොහැකි දේ සෘජුව ම ප‍්‍රතික්ෂේප කරන්න.

අසීරුවෙන් අකමැත්තෙන් අනවශ්‍ය අවදානමක් ගනිමින් කිසිවක් කරන්නට එපා.

  • අන් අයගේ වැඩවලට ප්‍රතිචාර දක්වමින් සිටීම නතර කරන්න

ඔබ වැඩකටයුතු කරන අතර අනිත් අයගෙන් සිදුව ඇති අතපසුවීම්, වැඩ පැහැර හැරීම් හෝ ක‍්‍රමවත්ව නොකිරීම් ගැන ප‍්‍රතිචාර දැක්වීම නතර කරන්න. ඊට අමතර කාලයක් වැය වනවා පමණක් නොවෙයි, ඔබේ මානසික ව්‍යාකූලත්වය ද ඔබ කරන වැඩකටයුතුවල ගුණාත්මකබව අඩු කරන්නට බලපාවි.

  • චෝදනා කිරීමට කාලය වැය කරන්න එපා

ඔබ පැවරූ යම් වැඩක් අතපසුවූවිට අනුන්ට චෝදනා කිරීමෙන් වළකින්න. ඔබට එහිදී මැදිහත් විය හැති මට්ටම පමණක් අවධානයට ගන්න.

  • වැඩකටයුතු අතර යම් විවේකයක් ගන්න.

එය ඔබේ මනසට දෙන සහනය තවත් දිගු කාලයක් හොඳින් වැඩකටයුතු කරන්නට ඔබ පොළඹවා තබාවි.

  • හොඳ නින්දක් ලබාගන්න.

ගතවෙන දවස තුළ ඔබේ නින්ද වෙනුවෙන් දක්වන සැලකිල්ල දවසේ අවදියෙන් සිටින සම්පූර්ණ කාලය අර්ථවත්ව හා පලදායීව ගත කරන්නට ඔබව ශක්තිමත් කරාවි.

  • ඔබට අතපසුවීම් සිදුවන අවස්ථා හඳුනාගන්න. මගහැරෙන වැඩකටයුතු ගැන සැලකිලිමත් වෙන්න.
  • වැඩ කල්දැමීමෙන් වළකින්න.

එය අනවශ්‍ය පීඩනයක් සමග වැඩ සියල්ල එකවර නිම කිරීමට සිදුවීමෙන් ඔබ වලකාවී..

  • සියලු දේට කාලයක් වෙන් කරගන්න.

ඔබේ දුරකථන භාවිතය, අන්තර්ජාල භාවිතය ආදියට වෙන් කරගන්නා කාලය අර්ථවත් මට්ටමින් සීමා කරගන්න.

  • නෑම, ආහාර ගැනීම, විනෝද වීම වැනි දෛනික සරල අවශ්‍යතා වෙනුවෙන් ඔබ ගත කරන කාලය තුළ මනස ඉතා සැහැල්ලූවෙන් හා විවේකීව තබාගන්න.
  • ඕනවට වඩා වැඩ ගැන සිතන්න එපා.

ඔබට කරන්නට ඇති වැඩ ප‍්‍රමාණය ගැන අනවශ්‍ය තරම් හිතන්නට යාමෙන් වළකින්න. ක‍්‍රියාත්මක වෙන්න. එකින් එක වැඩ අඩු කරගන්නට ඔබට එවිට හැකි වේවි.

Related Articles

Don't Miss


Latest Articles