පාට සේදුණු වත්සුණු – 20

කාමරයේ හැර දමා තිබූ ජනේලයේ තිර රෙදි ඉහළ නංවමින් අකීකරු සුළඟක් ඇතුළට ආවේ ය. ඒ තෙත සුළං කෝඩයෙන් මා හිරි වැටී ගියත්, එකී සිසිලස හදවතට දිව්‍යමය සුවයක් දැනවී ය. තුෂී යුගාන්තට ඇමතුම ගත්තේ ස්පීකර ක්‍රියාත්මක කොට ය. එනිසා දුරකතනය හැඬවෙන හඬ මට ද ඇසෙමින් තිබිණ. ගතට දැනුණ ඒ තරම් සීතලට හේතුව තෙත් බර පවනැල්ල ම නොව වෙනත් බලාපොරොත්තු සහගත නො ඉවසිල්ලක් බව මට දැනී නො දැනී ගියේ ය.

“හෙලෝ”

භූමිකම්පාවක් සේ හදවත තිගස්සවමින් ඒ හඬ ඇසිණි.

“ආ…කොහොමද ළමයි…”

තුෂී මදෙස බලා ඇසක් ඉඟි මැරුවා ය.

“ඉන්නව අනේ ඉතිං”

“මේ…අර පොරොන්දුව අමතක ම වෙලා ගිහිං වගේ නේ…”

මගේ දෙතොල් සිනහවකට පොපියමින් තිබුණේ ය.

“ම්…සාමාන්‍යයෙන් මං අමතක කරන්න පොරොන්දු දෙන්නෙනං නෑ…කොයි පොරොන්දුව ගැනද ඔය කියන්නෙ….”

“හප්පේ…ඒ කියන්නෙ කෝකද කියල මතක් කර ගන්නත් බැරි තරං මෙයා ගෑනු ළමයින්ට පොරොන්දු දීල වගෙයිනෙ”

යුගාන්ත හිනහෙනවා ඇසුණේ ය. සීයා ගේ හිනාව තරම් උස් හඬින් නගන එකක් නො වුණත්, යුගාන්ත ගේ ඒ සිනහව තුළත් අමුතු පිරිමි පෞරුෂයක් මට දැනිණි.

“මං කිව්වෙ අපිව සීතාවක ලස්සන පෙන්නන්න එක්කං යනව කියපු ගමන ගැන අනේ…කුමාරි ඇල්ල…ගාඩ්න් එක…එතකොට බැලුම් ගල…”

නැවතත් යුගාන්ත ගේ සිනහ සර ඇසිණ. තුෂී දුරකතනය ට රැව්වා ය.

“මොකෝ හිනා වෙන්නෙ…”

“නෑ ඉතිං…මං හිතුව ගෑනු ළමයි දෙන්න ඒ ගමන ගැන කිසි උනන්දුවක් නෑ කියල”

“ගෑනු ළමයි ගමං ගැන උනන්දු තරං වෙන කිසි දෙයක් ගැන උනන්දු නෑ මෙයා. ඒක දන්නෑ කියන්නෙ ඔයා තාම ගෑනු ළමයි ගැන දන්නෑ තමයි”

“මොනා කියෝනවද මන්ද…පිස්සුද..”

හඬ පිට නොවන සේ දෙතොල් හදමින් මම තුෂීට බැන්නෙමි.

“මේ ගයා මට බණිනව…ඔයාට එහෙම කියනව කියල”

තුෂී වගක් නැතුව කියවූවා ය.

“කෝ ගයාත්මි ඉන්නවද…එයාට දෙන්නකො චුට්ටක්”

“හරි හරි. ඔන්න ගමන යන්න අපි බලං ඉන්නවා”

කියමින් දුරකතනයේ ස්පීකර අක්‍රිය කරමින් තුෂී කාමරයෙන් නික්ම ගියා ය.

“කියන්න අයියෙ”

මම කෙඳිරුවෙමි.

“මොනාද…”

ඔහු මුදු ලෙස හිනැහිණ. මට උත්තර සිහි වූයේ නැත්තෙන් තත්පර කිහිපයක නිහැඬියාවක් අපතර පැවතිණ.

“ඉතිං…මොකද කරන්නෙ…ම්..”

“විශේෂ දෙයක් නෑ. අම්මට කෑම ටිකක් හදල දීල මේ රූම් එකට ආවෙ”

ඔහු සුසුමක් හෙලනද්වා ඇසුණේ ය. අම්මලා ගේ දොළ දුකට කෑම හදන්නට සිදු වූ දියණියක් දුටුවාමයි කියමින් මීට ටික වෙලාවකට පෙර අත්තම්මා දුකෙන් හිනහුණ අයුරු මට සිහි විය. අනියත සන්තාපයක් හිතේ අහු මුළු පහුරු ගාන්නට වූයේ ය.

“තුෂී කියපු එක ඇත්ත. මගෙ අතිං ඒ ගමන අතපසු වුණා තමයි”

ඊළඟට ඔහු එහෙම කීවේ මගේ හිත හදන්නට වත්ද?

“අපි මේ සැටඩේ වගේ තියාගමු ගිහිං එන්න. දුරක නෙවෙයිනෙ…”

දුරකතන සංවාදය අවසන් කරන්නට පෙර යුගාන්ත නිශ්චිත ලෙස පොරොන්දුව අලුත් කළේ ය. ඒ සතිය ගෙවී ගියේ ඒ බලාපොරොත්තුවේ තිගැස්ම එක්ක වී ද සිකුරාදා වන විට අම්මා වඩාත් රෝගී බවක් පෙන්වූවා ය.

අම්මා කියන්නේ කොහොමටත් ගෙදර වැඩට කඩිසර ගැහැනියක නොවේ.

“මේ ලෝකෙ තියෙන වෙන කිසිම කිසි දේකට දක්ෂකමක් නැති ගෑනුන්ට හොඳයි ඔය සැලෝන් කෙරුවාව”

ඒ කාලයේ තාත්තා නිතර නිතර එහෙම කියනු මට ඇසී තියේ. තාමත් අම්මා සම්බන්ධ සිදුවීමකදී මගේ හිතේ තාත්තා ගේ ඒ වචන පිළිරැව් නැගෙන්නේ, ඒ තරම් වාර ගණනක් ඔහු ගේ මුවින් එය කියවී, මගේ ළමා මනසෙහි තැන්පත් ව ඇති නිසා විය යුතු ය.

කෙසේ වෙතත් මේ වර ගැබ් ගැනීමත් එක්ක අම්මා බෙහෙවින් ලෙඩ ගතියක් පෙන්වන්නට වූවා ය. අමාරුවෙන් වාගේ උදේට සැලොන් එකට යන ඕ ගෙදර ආවේ කෙඳිරි ගාමිනි. සියල්ල ඇගේ අතට පයට සපයන්නට සිදු වූයේ මටයි. අනේ ගයා අරක අනේ පැටියො මේක කියමින් ඕ කොතෙකුත් ඉල්ලීම් කළා ය. ඈ මගේ අම්මා වීම නිසාත්, මේ මොහොතේ ඇය ගර්භණී කාන්තාවක වීම නිසාත්, ඇය පෙන්වන අසීරු ශාරීරික තත්වය නිසාත්, ගැහැනු ළමයෙකු වශයෙන් මට ඉවත බලා ගත හැකි වූයේ නැත. ඒ නිසා මම කන් කෙඳිරි ගෑමකින් තොර ව අම්මා ගේ සියලු ඉල්ලීම් ඉෂ්ට කළෙමි.

“කෝසලා හුරතල් වෙන්න හදන්නෙ අවුරුදු විස්සක පොඩි කෙල්ලෙක් වගේනෙ. හරියට ගයාටත් වඩා එයා පොඩියි වගේ. විකාර. මීට කලිං එයාට ළමයෙක් හම්බ වෙලා නැතුව නෙවෙයිනෙ. මේ කෙල්ලව මරෝනව අරකයි මේකයි කිය කිය”

අත්තම්මා කුටු කුටු ගාමින් අම්මා ට දොස් කීවා ය.

“කමක් නෑ අත්තම්මා. කොහොමත් අම්ම ටිකක් ඔතෑනියිනෙ. එයාට වැඩක් කරල දුන්නා කියල මට පව් පිරෙන එකක් නෑ”

නමුත් සිකුරාදා වන විට අම්මා ගේ දුක් ගැනවිලි වඩාත් වැඩි විය. සිකුරාදා ඕ සැලෝන් එකට ද නො ගියා ය.

“මං මෙච්චර අමාරුවෙං ඉද්දි ඔයා එහෙ මෙහෙ යන්න දාගන්න එපා ගයා. ඔයත් නැති වුණහම මං වතුර ටිකක් හරි ඉල්ලන්නෙ කාගෙංද…”

සෙනසුරාදා අප ඇවිදින්නට යන්න දා ගැනීම ගැන දැනගත් අම්මා නො රිස්සුම හා නෝක්කාඩුව තවරා ගත් වචන අහුරක් මා ඉදිරියේ අතෑරියා ය.

“ඇවිදින්න යන්න බැරියැ ඕන වෙලාවක. ඉන්නකො. මට පොඩ්ඩක් හොඳ වෙච්ච ගමං අසංකගෙ කාර් එකේ අපි ඔයාව එක්කං යන්නං. අනික මේක මං උපං ගමනෙ අනේ. මෙහෙ හැම බිං අඟලක් ගානෙම මං දන්නව. ඉන්නකො වටේම එක්කං ගිහිං පෙන්නන්න”

උඩහමුල්ල ත් අවිස්සාවේල්ල ත් අතර වන්නේ මහ දුරක් නොවේ. මේ අවුරුදු විස්සට මම අම්මා එක්ක කොයි තරම් වාර ගණනක් අත්තම්මලාගේ ගෙදර ආවෙම්ද? ඒ කිසි දවසක අම්මා මාව අවට පෙන්වන්නට කියා කැටිව ගොස් නැත.යුගාන්ත කියන තෙක් ඒ කිසිදු ස්ථානයක් පිළිබඳව මා අසා හෝ තිබුණේ නැත.

“පුදුම අම්මණ්ඩියෙක් තමයි. කෝසලා මේ තරමට ආත්මාර්ථකාමී ගෑනියෙක් කියල කලිං මට හිතිල තිබුණෙ නෑ. ඒ කාලෙ අපි ගයාගෙ තාත්තටම දොස් කිව්ව. මෙයා කියන දේවල් විතරනෙ අපි දන්නෙ. ඒ මනුස්සය අතේ විතරක් වැරදි තිබුණා වෙන්න බෑ කියල දැං තමයි මටත් හිතෙන්නෙ”

අත්තම්මා මා එක්ක කියවමින් කම්පා වූවා ය. යන්නට දා ගත් ගමන යන්න ය කියා අත්තම්මා කීවත්, මට එසේ කරන්නට සිත් දුන්නේ නැත.

“සීතාවක මේ හදිස්සියේ ඇෆ්ගනිස්තානෙ පැත්තට එහෙම ගෙනියන්නෑනෙ. ඒ නිසා අපි නිවී සැනසිල්ලෙ යං”

තත්වය ගැන කී වෙලේ යුගාන්ත සිනහ වෙමින් කීවේ ය. මම ඒ වශීයක් බඳු සිනහවෙහි අතරමං වෙමින් මග සොයමින් තත්පර ගත කළෙමි.

“අපිට ඉන්නෙ එක අම්මනෙ නංගි. එයා හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ අම්මනෙ. මට ඔයාගෙ හිත තේරුං ගන්න පුළුවන්”

තේරුං ගැනීම කියන්නේ එහෙම එකකි. මම කතා කරන්නට වචන සොයා ගත නො හැකි ව ගොළු ගැසී සිටියෙමි. කුසල් නම් අම්මා ගේ වැරදි කියමින් මට වද දීම විනෝදාංශයක් කර ගෙන සිටියි. අම්මා කළ දේත් මාත් කළ යුතු යි බලාපොරොත්තුවෙන් සිටියි. ඒ ගැන කියා මා පාරමින් හිඳියි.

“අපි වෙන දවසක ඒ ගමන යමු. කොහොමත් හිතේ කලබල තියාගෙන ගමනක් ගියා කියල ඒකෙ සතුට උපරිමයෙන් විඳින්න බෑ. හිතෙන් නිදහස් වෙලා යමු”

කෙසේ වෙතත් සෙනසුරාදාව ගෙවෙමින් පවතිද්දී පෙර දා අම්මා කෙරේ වූ ගිලන් බව දැකිය හැකි නො විණි.

“කෝසලා ආන්ටිනං මාරම මාරයි”

තුෂී කතා කළේත් අවඥාවෙනි. අම්මා ගැන කලකිරීම මුසු සිතිවිල්ලක් මගේ හිතේත් හිස නො එසවූවා කීවොත් මුසාවකි. නමුත් මම ඒ සිතිවිල්ල ලියලා වැඩෙන්නට නොදී අතු සිඳ දැම්මෙමි.
අම්මා තව වැඩි දිනක් සැලෝන් එක කළේ නැත. එය වසා දැමුණේ ඇගේ ගැබිණි බව නිසා යි සිතන්නට තරම් මම නම් මෝඩ නො වෙමි. ඇය කාටත් හැඟවූයේ එහෙම ය. නමුත් ඒ පිටුපස වෙනත් හේතුවක් ඇත කියා ම ය මට නම් සිතුණේ. එහි වූ බඩු මුට්ටුත් ගෙනැවිත් ආත්තම්මලා ගේ ගෙදර කාමර වල පැටවිණ. අත්තම්මා කම්මුලේ අතක් තබා ගෙන බලා සිටියා ය.

“නන්දා…මං දන්නව ඔයා ඉන්නෙ හිතේ කේන්තියෙං කියල. ඒත් අපි ඉවසමු කෝසලා ඉන්න තත්වෙ ගැන හිතල”

සීයා අත්තම්මා ව අස්වැසුවා ය.

“මොනා වුණත් අපේ දරුවොනෙ”

මේ සංසාරයේ අත්හැර දමන්නට වඩාත් ම අසීරු බැඳීම තියෙන්නේ දෙමාපියන් ළඟ ය. ඔවුන් ව සසරට බැඳ තබන රැහැන වූ කලී දරුවන් ය. ඒ අතරේ තමන් එහෙම රැහැනක් ව තාත්තා ව සේ ම අම්මා වත් සසරට මතු නොව තමන් වෙතටවත් බැඳ නො තැබිය හැකි වූයේ කවර අවාසනාවක් නිසා දැයි සිතෙන දරුවෙකු ද ඉඳහිට හෝ මෙලොව සිටිය හැකි ය. මම ඒ අවාසනාවේ නීරස රසය දැනටමත් ඇති තරම් විඳ ගෙන ඇත්තෙමි.

මේ අතරේ අසංක මා කෙරේ අමුතු ලෙංගතුකමක් පෙන්වන්නට පටන් ගෙන ඇති බව මට දැනෙන්නට ගත්තේ වරක් දෙ වරක් නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content