ව්‍යාපාර සඳහා ණයක් අනුමත කිරීමේදී බැංකුව විසින් සලකා බැලෙන මූලික සුදුසුකම්.

ව්‍යාපාරයක් ආරම්භ කරන්නට මෙන්ම ආරම්භ කළ ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්නටත් අපට මූලිකවම හරස් වන්නේ ආයෝජනයට මුදල්. එක්වර සැලකියයුතු යුතු මුදල් ප්‍රමාණයක් ලබාගතහැකි පහසුම ආකාරය වන්නේ විශ්වාසනීය බැංකුවකින් සහන පොළියට ණය මුදලක් සඳහා ඉල්ලුම් කිරීමයි. මේ සඳහා සැලකිය යුතු කරුණු රාශියක් තිබෙනවා.

බැංකුවෙන් ණය මුදලක් ලබා දෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ණය මුදලක් ලබා දෙන්නේ ජනතාවගේ තැන්පත් මුදලෙන්මයි. ඒ නිසා ඒවා නිසි පරිදි අය කර ගැනීම බැංකුවේ වගකීමයි. එනිසා ණය මුදලක් ලබා දීමට පෙර ණය ඇගයීමක් සිදුකරනු ලබනවා. හැමදෙනාට ම ණයක් නොලැබීමට හේතුව එයයි.

ස්වයං රැකියාවකට, කෘෂි කර්මාන්තයට, සත්ත්ව පාලනයට වැනි දේට ණය ඇගයීම සිදුකරන්නේ කොහොමද?

  • මූලිකව ම ඔබ සතුව ඵලදායී ව්‍යාපාරික අදහසක් තිබිය යුතුයි.
  • මෙහිදී ඔබ කරන්නට අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳවත්, ඒ සඳහා ඔබට කෙතරම් මුදලක් අවශ්‍ය ද යන්නත් පිළිබඳ ව දළ අදහසක් ඔබ සතු විය යුතුයි. ව්‍යාපාරය පිළිබඳ සම්පූර්ණ සැලැස්මක් ඔබ සතුවිය යුතුයි. ව්‍යාපාරික අදහසකින් එහා ගිය සම්පූර්ණ ව්‍යාපාරයේ යෝජනාවලියක් (Business Proposal)ඔබ සතුවීම වැදගත්.
  • ඒ අදහස සඳහා ඔබ සතුව ඇති හැකියාව සහ දැනුම මෙහිදී සලකා බලනවා.
  • ඔබ රූපලාවන්‍යාගාරයක් දැමීමට ඔබට ඇති දැනුම ඔප්පු කරනා සහතික පත් මෙන්ම හෝ කිරි ගව පාලනයකදී ඔබ සතු අත්දැකීම් සහ හැකියාව මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකියි.
  • ආපසු ගෙවීමේ හැකියාව තිබිය යුතුයි.
  • එක්කෝ ඔබට දැනට ආදායමක් තිබිය යුතුයි. නැතිනම් ඔබේ නව ව්‍යාපාරය තුළින් ගෙවීමේ හැකියාව පෙන්විය යුතුයි. එනම් ඉදිරි ව්‍යාපාරයේ ලාබ ලබන අයුරු සැලසුම් කිරීමෙන් පසුව ඔබ ගන්නා ණය මුදල පියවීමේ හැකියාව පෙන්වීම මෙහෙදී වැදගත් වෙනවා.

ඔබේ ව්‍යාපාරයේ වෙළඳපොළ තරඟකාරීබව උදෙසා ඔබේ කැපවීම සලකා බැලෙනවා.

  • ඔබේ ව්‍යාපාරයට හොඳ වෙළඳපොලක් තිබේද? යන්නත්, එහි තරඟකාරීත්වයට මුහුණ දීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? යන්නත්, ඔවුන් සමඟ තරඟ කරන්නට තරම් ව්‍යාපාරයේ ප්‍රමිතිය ඉහළ මට්ටමක පවතිනවා ද යන්නත් මෙහිදී සලකා බැලෙනවා.
  • එමෙන් ම, ඔබේ ව්‍යාපාරයේ පරිමාණය අනුව විගණනය කරන ලද ගිණුම් වාර්තා මෙහිදී සලකා බලනා තවත් කොටසක්.
  • මෙය අදාළ වන්නේ දැනට පවතින ව්‍යාපාරයක් සඳහා ණය ඉල්ලුම් කිරීමේදී යි. එහිදී කුඩා පරිමාණ ව්‍යාපාරයක් නම් පොතක ලියූ අය වැය වාර්තාවක් වුවත් සෑහෙනවා. ඉන් සලකා බලන්නේ සැබැවින් ම ඔබට මේ ණය මුදල අවශ්‍ය ද යන්නයි.
  • ක්‍රිබ් එක පරීක්ෂා කිරීමත් අනිවාර්යයෙන් සිදුවෙනවා.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්‍යාංශය හෙවත් CRIB එක ලෙස හඳුන්වන්නේ සෑම පුද්ගලයෙක්ගේම ණය තොරතුරු වාර්තා ඇති ස්ථානයයි. එහි ලබාගත් ණය, ණය සඳහා ඇපවීම්, ගෙවුණු මාස විසි හතරක කාලය තුළ ණය ගෙවූ ආකාරය සඳහන්. ගත් ණයක් නිවැරදිව නොගෙවූ විට නම මෙහි Blacklist වෙනවා. එසේ Blacklist වීමෙන් පසු නැවත ණය ලබා ගැනීමේ උත්සාහයන් සාර්ථක වන්නේ නෑ.

  • ඔබට ව්‍යාපාරික අදහසක් නොමැති නම්, දේපළක් හෝ සුරැකුමක් ඇපයට තබා මේ ණය වර්ගය ඔබට ලබන්නට බැහැ.

ණය ඇගයීමෙන් ඔබ නුසුදුසු යැයි තීරණය වුවහොත්?

ඔබේ ව්‍යාපාර අදහස වෙනස් කිරීමෙන් ඔබට නැවත උත්සාහ කළ හැකියි.

නැතිනම්, ණය මුදලින් කොටසක් දීමටත් සමහර අවස්ථාවලදී බැංකුව තීරණය කරනවා.

අපි මේ ලිපියෙන් කතා කළේ ස්වයං රැකියාවක් හෝ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී බැංකුවෙන් ව්‍යාපාර සඳහා ණය මුදලක් අනුමත කර ගැනීමේදී සලකා බැලෙන මූලික කරුණුයි. මේ සුදුසුකම් පුද්ගලික ණය හෝ නිවාස ණය සඳහා අදාල ඒවා නොවෙයි. එවැනි ණය ඉල්ලීම් අනුමත කිරීමේදී බැංකුව විසින් සලකා බැලෙන සුදුසුකම් පිළිබඳව වෙනත් ලිපියකින් අපි තොරතුරු ගෙන එනවා.
වැදගත්කම කරුණ නම් අපි මේ සාකච්ඡාව සදහා තොරතුරු ලබා ගත්තේ ලංකා බැංකුවෙන්. ඔවුන් මේ දිනවල ව්‍යාපාරික ණය අනුමත කිරීමේදී සලකා බැලෙන මූලික කරුණු පමණයි මේ ලිපියේ සඳහන් වන්නේ. ඔබ ණය ඉල්ලුම් කරන බැංකුව අනුව මේ තොරතුරු වෙනස් වීමේ හැකියාව තිබෙනවා. ඔබත් ස්වයං රැකියාවක් සඳහා ණය ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ ලිපියෙන් මූලික සූදානම් වීම කෙසේ විය යුතුද යන්න පැහැදිලි කෙරෙනවා. අපේ අරමුණු වන්නේ ඔබේ සිහිනයට යාමේ මූලික පියවර වෙනුවෙන් ඔබ දැනුවත් කිරීමයි. ඉතිරි කරුණු සඳහා මේ කරුණු සම්පූර්ණ කරගෙන බැංකුව වෙත යාමෙන් ඔබේ කාර්‍ය් පහසු වේවි.

Related Articles

Don't Miss


Latest Articles