ලොකු පොඩි කාටත් මාරාන්තික විය හැකි ආසාත්මිකතා (Allergy) ගැන ඔබත් සැලකිලිමත් ද?

යම් ආහාරයක් ගැනීමෙන් පසුව, සතෙක් ගෑවුණ විට සමහරුන්ට පළු දැමීම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇස් රතු වීම ආදී ලක්ෂණ ඇති වනු අප දැක තිබෙනවා.එහෙත් සමහරුන්ට එම ආහාරවලින් එසේ වන්නේ නෑ. මෙම රෝග ලක්ෂණ සමහර අවස්ථාවන් හිදී ජීවිත තර්ජන පවා එල්ල කරනවා. එම තත්ත්වය ඇති වීමට හේතු සහ වැඩිදුර විද්‍යාත්මක තොරතුරු අපි විමසා බලමු.

අසාත්මිකතාවක් යනු කුමක්ද?

පරිසරයේ පවතින හානිදායක නොවන ද්‍රව්‍යයකට ස්නායු පද්ධතිය දක්වන අධිසංවේදීතාව අසාත්මිකතාවක් ලෙස හඳුනා ගන්න පුලුවන්. කෙනෙක්ගෙන් කෙනෙක්‍ට අසාත්මිකතා විය හැකි දේ වෙනස් වෙනවා. 

අසාත්මික විය හැකි දේ

අසාත්මික විය හැකි ප්‍රධානතම දේ වන්නේ ආහාරයි. එළකිරි, සෝයා, බිත්තර, තිරිඟු, රටකජු, තක්කාලි, ස්ට්‍රෝබෙරි, නට්ස් වර්ග, මාලු, ඉස්සන් සහ මුහුදු බෙල්ලන් මේ අතරින් ප්‍රධාන වනවා.

අසාත්මිකතා කියන විටම අපට සිහි වන්නේ දළඹුවන්. දළඹුවන්ගේ බූව බොහොමයක් දෙනාට අසාත්මිකතා ඇති කරනවා. ශරීරයට විදින කෘමිසතුන්ගේ ද මිනිස් සිරුරට අසාත්මික ද්‍රව්‍ය තිබිය හැකී. කූඹින්, මීමැස්සන්, මදුරුවන් ඒ අතර වනවා.

බූව සහිත ශාක කොටස් මෙසේ අසාත්මිකතා ඇති කරනවා. වල් දෙල් ශාකයේ බූව ලංකාවේ බොහොමයක් දෙනාට අසාත්මිකතා ඇති කරන දෙයක්.

රෝග සඳහා ලබා ගන්නා බෙහෙත් වර්ග සමහර අවස්ථාවලදී අසාත්මිකතා ඇති කරනවා. පෙනිසිලින් එසේ බොහෝ අයට අසාත්මිකතා ඇති වන බෙහෙතක්.

මානසික ආතතිය නිසාත් අසාත්මිකතා වැඩි විය හැකි බව ඔබ දන්නවාද?යම් අසාත්මිකතා තත්ත්වයක සිටිනා විට ඔබ ආතතියට පත් වන්නේ නම් ඔබේ රෝග ලක්ෂණ වැඩි වන්නට ඉඩකඩ වැඩියි.

ස්වාභාවික රබර් (Latex) මිශ්‍ර දෑ සමහරුන්ට අසාත්මිකතා දක්වනවා. විශේෂයෙන් එමගින් නිපදවන උපත් පාලන කොපු වැනි දේ අසාත්මිකතා ඇති කරන වග සුලබයි. 

ජානගතවත් අසාත්මිකතා තත්ත්ව ඇති විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. දෙමාපියන්ට අසාත්මිකතා ඇති විය හැකි බොහෝ දේ දරුවන්ටත් අසාත්මිකතා ඇති කර හැකි බවත්, සහෝදරයන් අතරත් එලෙසම විය හැකි බවත් ඔවුන් පවසනවා


අසාත්මිකතාවක් ශරීරය බාහිරට පෙන්වන්නේ කෙසේද?

  • ඉදිමීම
  • පලු නැගීම
  • කැසීම
  • රතුවීම
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • කැස්ස
  • පාචනය
  • ක්ලාන්ත ගතිය
  • හුස්ම ගැනීමේ අපහසුව
  • කඳුලු ගැලීම
  • උගුරේ වේදනාව
  • ඇදුම

මෙවැනි රෝග ලක්ෂණයක් ඔබ සතු නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් මගින් අසාත්මිකතාව ශරීරයෙන් පිටතට පෙන්වනවා. සමහර රෝග ලක්ෂණ සුලු වේලාවකින් පහ ව ගියත් සමහර ඒවා බරපතල විය හැකී. තත්ත්වය වඩාත් දරුණු වීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම යහපත්. වෛද්‍යවරයා එය අසාත්මිකතාවක්ද නැද්ද යන්න හඳුනාගැනීමට ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමට නියම කරනවා.

කුඩා දරුවන් හා අසාත්මිකතා

කුඩා දරුවන්ට අසාත්මිකතා වැඩි වශයෙන් ඇති වන්නේ ආහාර පටන් ගත් අවධියෙහි දී. රටකජු, කජු, ආමන්ඩ් වැනි දේ ලබා දෙන විට වඩාත් සැලකිලිමත් විය යුත්තේ එනිසායි. 

අසාත්මිකතාවලින් වැළකෙන්නේ කෙසේද?

අසාත්මිකතාවලින් වැළකෙන්නට ඇති එකම ක්‍රමය වන්නේ ඔබට අසාත්මිකතා ඇති වන ද්‍රව්‍යවලින් ඈත් වී සිටීමයි. 

පිටතින් ආහාර ගන්නා අවස්ථාවල ඔබට අසාත්මිකතා ඇති වන ද්‍රව්‍ය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට ඔබට පුලුවන්. බෙහෙත් ලබා දීමේදී නම් වෛද්‍යවරයා ඔබට අදාළ උපදෙස් ලබා දෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම ප්‍රමාණවත්. බාහිර පරිසරයට නිරාවරණය වීමේදී සැලකිලිමත් වීමෙන් බූවෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීමට පුලුවන්. 

අසාත්මිකතා එක්තරා තත්ත්වයක් මිස දරුණු ලෙඩක් නොවෙයි. එහෙත් රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වීමෙන් ඔබට වඩාත් දරුණු ප්‍රතිඵල ලැබීම වළක්වා ගැනීමට පුලුවන්. අත් බෙහෙත් නොකර වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් ම සුදුසු කාරණයයි.

Related Articles

Don't Miss


Latest Articles