පාට සේදුනු වත්සුණු – 22

අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ වෙනකක් නිසා නොව මගේ ආදායම් පවා කලමණාකරණය කරන්නට ඇයට වන අවශ්‍යතාවය හින්දා කියා මම සිතුවෙමි. නමුත් තුෂී මා නො දකින පැත්තක් දැක තිබුණා ය.

“යුගාන්ත එක්ක ඔයා අෆෙයා එකක් ඇති කර ගනී කියල කෝසලා ආන්ටි බයයි. යුගාන්ත නෙවෙයි මේ වෙලාවෙ ඔයා මොන කොල්ලෙක් එක්කවත් සම්බන්දයක් ඇති කර ගන්නවට එයා කැමති වෙන්නෑ. එහෙම වුණොත් ඔයා එයා එක්ක තියන ගනුදෙනු අඩු වෙනව කියල එයා දන්නව. දැං එයාට ඕනෙ ඔයාගෙ ජීවිතේට වෙන කෙනෙක් එන්න නොදී මුර කරන්න. එයාගෙ ප්‍රයෝජනේට විතරක් ඔයාව තියාගන්න”

මම දිග සුසුමක් හෙළුවෙමි. නමුත් ඉන් හිත් බර හෑල්ලු වූවා නොවේ. මා කුඩා කාලයේදීත්, තාත්තාව රිදවන හා ඔහුගෙන් පළි ගන්නා තුරුම්පුවක් ලෙස අම්මා මා යොදා ගත්තා මතක ය. මෙහිදී තාත්තා සියයට සියයක් නිවැරදියි කියා මම නො කියමි. අම්මා එහෙමයි කියන්නට තරම් සාධාරණ වූ හේතු ද මට නොමැත්තේ ය.

“ඒකට ලොකුම හේතුව ඔයා බිස්නස් එකක් පටං ගත්ත එක. එහෙම නොවුණනං යුගාන්තට නෙවෙයි කුසල්ට වුණත් ඉල්ලන පරක්කුවට ඔයාව දීල නිදහස් වෙන්න එයා දෙපාරක් හිතන එකක් නෑ”

තමන්ගේ මවු ගේ දොස් අසා ඉන්නට මෙලොව කිසිදු දරුවෙකු කැමති නැත. මා සම්බන්ධයෙන් ද එය එසේ ම ය. නමුත් ඒ කිසිත් සාවද්‍ය නොවන බව මම දනිමි.

කුසල් ගේ පැත්ත තරමක් සන්සුන් වී තිබීම මේ කාලයේදී මට සහනයක් විය. ඔහු නිතර නිතර කතා කරන එක අඩු විය. ඇතැම් විට අන්තර් ජාලයට පින් සිදු වන්නට ඔහු වෙනත් යුවතියක සිය දැලට හසු කර ගෙන ඇතිවා විය හැක. සයිබර් පෙම් කතා ගැන මුලදී නොවූ අවබෝධයක් දැන් මට ඇත්තේ ය. චැට් කරන්නට අලුත් කෙනෙක් හමු වෙත්දී මුලින් චැට් කළ අය වෙනුවෙන් වෙන් කළ හැකි කාලය අඩු වී යන්නේ ය.

කුසල් ගෙන් ඒ ආකාරයෙන් හෝ මිදිය හැකි වීම හිතට පහසුවක් වුණත් මම කිසියම් රිදුමක් ද අත් විඳි බව නොකියා බැරි ය. ඒ ප්‍රතික්ෂේප වීම පිළිබඳ රිදුමක් කියා සිතමි. අප කොයි තරම් නො ගැලපෙන පුද්ගලයෙකු හා නො කැමැත්තෙන් එක් ව සිටිය ද, ඒ පුද්ගලයා ගෙන් වෙන් වී යත්දී ඉසියුම් සංවේගයක් හදවතෙහි ජනිත වීම ස්වභාවයයි.
කුසල් නිසා ඇති වූවා වූ හිස් තැන යුගාන්ත වෙතින් සපුරා ගැනීමේ කිසිදු අදහසක් මට වූයේ නැත. නමුත් කුසල් වෙතින් කිසි දා නො පිරුණු හිතේ අහු මුලු අරා යුගාන්ත කඳවුරු බඳිමින් සිටි බව මම දැන සිටියෙමි.

“ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඔයාගෙ මේ බිස්නස් එක ගැන මොකද කියන්නෙ….”

දවසක් පැළ තවාන පරිශ්‍රයේ ගැවසෙන ගමන්, මාතෘකාව වෙනස් කරමින් යුගාන්ත අමුතු මාදිලියේ ප්‍රශ්නයක් ඇහුවේ ය. උත්තර දෙන්නට තබා ඒ ප්‍රශ්නය තේරුම් ගන්නට මා තත්පර කිහිපයක් ගත කළ යුතු වූයේ ය.

“මුකුත් නෑ අයියෙ”

මම මිමිණුවෙමි. මා කෙතරම් සසල ව සිටියේද යත්, ඒ හඬ ඔහු ට ඇහුණාද කියාත් මට සැක සිතිණි. මා කැළඹී ගියේ යුගාන්ත මා සමග කුසල් පිළිබඳව කතා කළ නිසාවෙන් ද? තුෂී සමගින් කුසල් ගැන කතා කරත්දී නො දැනෙන්නා වූ අපහසුවක්, යුගාන්ත සමීපයේ මට දැනේ.

“කොහොමත්…මං එයාට මේ ගැන හරි තොරතුරක් කියල නෑ”

“ඇයි…”

ඒ ඍජු ප්‍රශ්නය තියුණු වූවකි. යුගාන්ත ගේ ඇස්, සඳ නැති අහසක තාරකා සේ දීප්තිමත් වූයේ ය.

“මන්දා. මට එයා ගැන විශ්වාසයක් දැනෙන්නැති නිසා”

“කොච්චර වැරැද්දක්ද…”

ඔහු කීවේ මට නොව තමුන්ට ම සේ ය. මම තිගැස්සී ගිහින් යුගාන්ත දෙස බැලීමි.

“විශ්වාසයක් හිතේ ඇති නොකරපු කෙනෙක්ට ආදරේ කරපු එක…”

යුගාන්ත ඌණ පූර්ණය කරත්දී මට සුසුමක් හෙළිණ.

“ජීවිතේ ගැන මෙලෝ දෙයක් තේරුං නොගෙන ගේ අස්සට වැදීගෙන හිටිය කෙල්ලෙක්ට එහෙම වැරැද්දක් වෙන්න පුළුවන් අයියෙ. ඒක තමයි දෙමව්පියො තමංගෙ තරුණ දුවලව තනි කරන්න හොඳ නැත්තෙ. ආදරේ කියල හිතාගෙන ඕන කැලේක වල්මත් වෙන්න පුළුවන්. තනිකමක කරවටක් ගිලිල හිටිය වෙලාවක මං කුසල්ව පිදුරු ගහක් වගේ දැකපු එක ගැන පුදුමයක් මටනං නෑ”

ඒ වචන, කලින් මා සිතා සිටි ඒවා නොවේ. නමුත් මා කතා කළේ පරම සත්‍යය සේ මට දැනිණ.

“අද වෙනකල් තව මාස කීපයක් ජීවිතේ මේ අත්දැකීම් ටික ලැබිල තිබුණනං මං කවදාවත් කුසල් කෙනෙක් ගැන හිතන එකක් නෑ. ජීවත් වෙනව කියන්නෙ අත්දැකීම් ලබන එකටයි කියල දැං මට හිතෙනව අයියෙ. කුසල් කියන්නෙත් මට අත්දැකීමක්”

“ඒක ඇත්ත”

“මොනාද අප්ප මේ දෙන්න මේ තරං කතා කරන්නෙ”

කියාගෙන අම්මා අප වෙතට ආවා ය. එසේ නො විණි නම් අප ඊට වඩා ජීවිතයේ සියුම් තැන් ගැන කතා බහකට එළඹෙන්නට තිබිණි.

“මල්ලි කොහෙද වැඩ කරන්නෙ…”

අම්මා හදිසියේ ම යුගාන්ත ගෙන් ඇසුවා ය. මුළු සිරුරේ ම රුධිර වහනය මොහොතකට ඇනහිට, මා සීතල ව ගියා සේ මට දැනිණ. මල්ලි! ඒ ඇයට තරම් වන ආමන්ත්‍රණයක් ද? අම්මා අතිශය තරුණ පෙනුමැති බව ඇත්ත ය. නමුත් යුගාන්ත වූ කලී මට වඩා වසර හතර පහකට වඩා වැඩිමහල් විය නො හැකි ය. ඔහු අත්තම්මා හා සීයා අමතන්නේත් මා සේ ම ය. එහෙම එකේ අම්මා ඔහු ව මල්ලී කියා ඇමතීම විහිළුවක් සේ පෙනෙන්නේ ය.

“මං ප්‍රයිවට් බෑන්ක් එකක”

“බෑන්ක් ෆීල්ඩ් එකේද…ඒක තමයි ඉක්මනට ගෙයක් හදන්නෙ නේ…ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇතිනෙ. අපේ ගයාට උදවු කරනකොට මං ඒත් හිතුව ගයා ගැන අදහසක්වත් තියෙනවද කියල”

අම්මා ඒ කීවේ මොන තරම් ලැජ්ජා හිතෙන කතාවක්ද? මගේ කොපුල් පුපුරු ගසන ලැජ්ජාවක් මට දැනිණ. මා අම්මා දෙසට හෙලූ බැල්මේ “මොනාද අම්ම කියවන්නෙ” කියන ප්‍රශ්නය ලියැවී තියෙන්නට ඇත.

“නෑ මං එහෙම කිව්වෙ…ගයා තාම පොඩි ළමයෙක්නෙ. දැන්ම එයාව මැරි කරවන අදහසක් අපිට කොහොමවත් නෑ. ඒකයි…”

පැතිරුණු නිශ්ශබ්දතාවය තමන් ව ප්‍රතික්ෂේප කිරීමකැයි වටහා ගෙන ද මන්දා අම්මා හෙමිහිට එතැනින් නික්ම ගියා ය.

“සොරි අයියා”

මා එහෙම කීවා පමණකි. යුගාන්ත දෙස බැලීම පවා අපහසුවක් දනවන තරමට අම්මා ගේ කතා මා තුළ ලැජ්ජාව ජනිත කොට තිබිණ.

මා ඔහු දෙස බැලූයේ යුගාන්තගෙන් කිසිදු වාචික ප්‍රතිචාරයක් නොවූ තැන ය. දෑත් කලිසම් සාක්කු වල ඔබා ගත් හෙතෙම නිවී සැනැහුනු බැල්මකින් මදෙස බලා ගෙන සිටියේ ය. මම ඉක්මන් කෙටි බැල්මකින් බිම බැලුවෙමි.

“මට ඔයාව තේරුං ගන්න පුළුවන්.

ඊළඟට ඔහු හෙමිහිට දෙඩුවේ ය.

“ඔයා ඒ වෙලාවෙවත් අත්තම්මල ළඟට ආපු එක හොඳයි. ඔයාව එහෙම එවන්න ඇත්තෙ ඔයාගෙ වාසනාවක් වෙන්නැති”

කිසිදු ලේ නෑදෑ කමක් නැති සමහර මිනිස්සු, වචන කිහිපයක් කතා කරත්දී ම මහත් සමීප බවක් හදවතට දැනෙන්නට ගනී. යුගාන්ත ඇසුරේත් මට දැනුණේ එහෙව් පහසුවකි. ජීවිතයේ ඕනෑම දෙයක් ගැන කතා බහ කළ හැකි කෙනෙක් හදිසියේ ම ඇසුරට ලැබුණාය යන හැඟීමෙන් හදවත තෘප්තියට පත් ව සිටියේ ය.

“අපි දුෂ්කර ගම් වල මිනිස්සු. හිත පිරෙන්න දුක් විඳින මිනිස්සු. ඒත් ඒ දුප්පත් කම ඔයාගෙ ජීවිතෙත් එක්ක බලද්දි මොකද්ද කියල හිතෙනව ගයා”

ඒ සිද්ධිය ගැන දැන ගත් වේලේ තුෂී මා ගැන අවංකව ම දුක් වූවා ය.

“අපේ මිනිස්සු ජීවිතේ මත්තෙ නොවිඳිනා දුක් විඳිනව. වතුර ටිකක් හොයාගෙන ඉඩෝර කාලෙට හැතැප්ම ගණං ඇවිදිනව. කැලේ ඇවිදල පාන්දරම දිවුල් එකතු කරගෙන ඒව පාරෙ තියං විකුණන්න දඟලනව. ඒ ලැබෙන සොච්චමකිං හාල් තුනපහ ටිකක් ගන්නව. ඒත්…එහෙම ජීවත් වුණත් මට මං ගැන නො දැනෙන දුකක් ඔයා ගැන දැනෙනව.”

මටත් මා ගැන මහත් සංවේගයක් දැනෙන්නට ඇත. උගුර රිදී මගේ ඇස් වලට කඳුළු පුරා ආවේ ය.

“ඔයාව මේ තරං පරීක්ෂා කරන්න ඉරණමට තියන ඕනකම මොකද්ද කියල මට තේරෙන්නෑ. අපේ ගම් වල ගෑනු නං ඔයා ගැන දැන ගත්තොත් කියයි කරුමෙ කියල. කරුමෙ ගෙවන්නම ඕන කියල. ඒත් කරුමෙකට එහා ගිය දෙයක් මට නං දැනෙනව ගයා. “

මම හීල්ලුවෙමි . මේ පුංචි වයසට ජීවිතය මගෙන් හුඟක් දේවල් උදුරා ගෙන තියේ. මුලින් ම තාත්තාවත්, ඊළඟට පවුලකුත් මට අහිමි විය. ඉනික්බිති අම්මා ද, කුළුඳුලේ හිතේ උපන් ප්‍රේමය ද මගෙන් උදුරා ගැනිණ. වැටී ඉන්නට තිබූ ගෙදර ද දැන් අහිමි වී තියේ. නමුත් ජීවිතයෙන් ඈත් වී යන්නේ අපට අවැසි නැති දෑ යයි මම කොහේ හෝ තිබී කියවීමි. ඒ පදනම මත සිටියදී ජීවිතයට වෛර කිරීමේ හේතුවක් මට නො පෙනී යයි.

කෙසේ වෙතත් මල් ව්‍යාපාරය දියුණු වෙන බවක් පෙනෙන්නට තිබිණ. කොළඹ සිට පැළ ගෙනෙනු වස් කඳුකරයට යන්න ගිය වෙළෙන්දන් කිහිප දෙනෙක් ම නත්තසූරිය පැළ තවාන ළඟ නතර වූහ. මා ළඟ නැති ඔවුන්ට අවශ්‍ය පැළ වර්ග ද ලයිස්තු ගත කර ගත් මම, දෙවන වතාවට පැළ ගේන්නට බණ්ඩාරවෙල යන බලාපොරොත්තුවක සිටියෙමි.

“යුගාන්ත පුතාට කිව්වොත් එයි නේද නන්දා….හැමදාම කරදර කරන්න බෑ තමයි. ඒත් මේ කෙල්ල ටිකක් මේවට හුරු වෙනකල් තනියට කෙනෙක් ඉන්න එක හයියක්නෙ”

සීයා මා ගැන මා නොසිතු අවධානයකින් හිඳ තිබිණ.

“යුගාන්ත පුතා ඇරෙන්න ගයාගෙ තනියට යවන්න වෙන විස්වාසවන්ත පිරිමියෙක් අපිට නෑ පුතාලගෙ තාත්තෙ. යුගාන්ත අපිට උදවු කරයි”

“සොබා දහම හැම වෙලේම හරි දේවල් තෝරල දෙන හැටි බලන්න නන්දා.”

“සොබා දහම හරිම දේ කරන නිසා වෙන්නැති තාත්තෙ අපිව මේ ගෙදරට එවන්න ඇත්තෙ.”

අම්මා අපේ කතාව අසා සිටි බවක් අප තිදෙනාට ම දැනී තිබුණේ නැත.

“ගයාගෙ තනියට පිට මිනිස්සු යවන්න හදන්න ඇයි…අනික මේ කොල්ලෙක්…හරිම ෂෝක්. මෙච්චර වයසට ගිහිල්ලත් ලෝකෙ සිද්ද වෙන දේවල් දන්නැද්ද අම්මෙ. ගයාට උදව් කරන්න අපි ඉන්නව. මං ඉන්නව. අසංක ඉන්නව.”

අත්තම්මා අඩ සිනහවක් පෑවා මිස වචනයක් කියන්නට කලබල වූයේ නැත. නමුත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් අහම්බෙන් අහිමි වෙන්නට යත්දී දැනෙන අපේක්ෂා භංගත්වය මට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...