මටත් ඉන්නවා දුවෙක්

0
33935

නොදන්නාමුත් පිහිනනා හැටි සයුරු තරණය කළා සේ විය

දුවේ නුඹ ලොව උපන් දිනයේ නැවත මා ඉපදුනා සේ විය

ප්‍රවීණ කිවිඳියක් වන මොනිකා රුවන් පතිරණ දියණියක ඉපදීම මවකට දැනෙන හැටි කියාපෑවේ ඒ විදියටයි.

දුවෙක් උපන්නාම විතරක් නෙමෙයි පුතෙක් උපන්නාමත් අම්ම කෙනෙක් අලුතින් ඉපදෙනවා. ඒත්, දුවක් ඉපදුනාම අම්ම කෙනෙකුට දැනෙන හැ‍‍ඟෙන තව හුඟක් දේවල් තියෙනවා. ඇයත් දවසක මවක් වන බව පවා අම්මා කෙනෙකුට ඒ මොහොතේ හිතට එනවා. මේක හරිම බර හැඟීමක්. අපි මෙවර Creative you විශේෂාංගයෙන් ඔබට ගෙන එන්නේ ඒ බර හැඟීම නව පරපුරේ නිර්මාණකාරියකට තවත් අපූරු කෝණයකින් දැනුන හැටි. නිර්මාණය උපුටා ගත්තේ සවිනි නානායක්කාර රණසිංහ එයාගේ මුහුණු පොතට එකතු කරල තිබුණු නිර්මාණයක් ඇසුරින්. මේක ඉතාම සරල පද එකතුවක්. හැබැයි ගැඹුරින් හදවතට දැනෙන හැඟීමක්. ඔබට මේ ගැන දැනෙන දේ අපි එක්ක බෙදාගන්නත් පුළුවනි. ඔබේ ප්‍රතිචාර අපට හුඟක් වටිනවා.

ඒත් එක්කම Smart lady වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න නිර්මාණශීලී ඔබට අපි පුංචි යෝජනාවක් කරන්නත් හිතුවා.

පහුගිය සතියේ අපි ඉදිරිපත් කරපු ඇරයුම පිළිගෙන අපට නිර්මාණ එවපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි. නිර්මාණ අතරින් විශිෂ්ටතම නිර්මාණය තෝරාගැනීමේ දී අපට පහසු වෙන්නත් එක්ක අපි තීරණය කළා සතිපතා ඔබට අලුත් තේමාවක් දෙන්න. එතකොට ඔබට තියෙන්නේ ඒ තේමාවට අදාළව ඔබේ නිර්මාණය එවන්නයි. මේ සතියේ අපි ඉදිරිපත් කරන නිර්මාණය රසවිඳින්න. ඔබට ඒ හා සම්බන්ධව ලියැවෙන ඔබේ ම වූ අත්දැකීමක් ඇති. ඒක අපට කවියෙන් ලියා එවන්න. හොඳම නිර්මාණයට නිසැකව ම තිළිණයක් ලැබේවි.

මහ දවල් නිදියන 

රෑ මැදියමේ ඇහැරෙන 
පාන්දරට කතා අහන 
නවත්තන්නෙම,
නැතුව කියවන 
දුවෙක්…..

ඔව්…දුවෙක්.

ගේ වටෙටම් දුව පැන 
හිනා මල් දම් ගොත ගොත 
ඔලොක්කු කටකින් හිනැහෙන 
දුවෙක්….

ඉර බහින හැන්දෑවට 
මගේ තුරුළේ සැතපෙන 
ඉනික්බිති 
මා මග විමසන 
වෙහෙසබර දෑස පිනවන 
දුවෙක්…..

ලොව පුරාවට ඇවිදින 
මගේ පසුපස දුව දුව 
ලෝකේ නැති දේ අස අස 
ආදරෙන් මට ගුළිවෙන 
ලෝකෙටම ආදරේ බෙදන 
පුංචි දඟකාර 
දුවෙක්…..

පාපතර සාපෙන් බේරෙන 
ගැහැණු හිතකින් හිත හිත 
යමා මහ පෙළහර පාන ,
ගැහැණු සාරය හඳුනන 
එයින් ම 
ජීවිතය දකින 
ලෝකයක් සදිසි 
දුවෙක්…..

ඔව්….මටත් ඉන්නවා දගකාර ලස්සන දුවෙක්.

.