උදෑසන ආහාරය මඟ හැරුණොත් ඇත්තටම මොකද වෙන්නේ?

උදේට කන්න ඕනෙ රජෙක් වගේ කියලයි අපි කුඩා කාලයේ ඉඳන් ම අහලා තිබෙන්නේ. ඒත් ඇත්තටම මේ කතාව ඇත්ත ද? උදේට නොකෑවොත් සෞඛ්‍යයට අහිතකරද? අපි අද ඒ ගැන කතා කරමු. 

උදේට නොකෑවොත් මහත් වෙනවාද? 

උදෑසන ආහාරය නොගත් විට මහත් වන බවට මතයක් තිබෙනවා. එහෙත් ආහාරයක් නොගන්නා විට මහත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්. නොකා සිටීම නිසා බඩගින්න අධික වීම මත ආහාර වැඩි ප්‍රමාණයක් ගන්නට වන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් ඒ සඳහා මෙතෙක් පර්යේෂණ මට්ටමින් ඔප්පු කළ සාක්ෂි ලැබෙන්නේ නැහැ. 

ඔබ උදෑසන ආහාරය නොගන්නා විට දිනකට කැලරි 400ක් පමණ ශරීරයට නොලැබී යනවා. ඒ නිසා බර අඩුවීමක් වෙන්න පුලුවන් බව නිගමනය කරන්න හැකි වුවත්, ඒ සඳහාත් පර්යේෂණ මට්ටමින් තහවුරු කළ සාක්ෂි ලැබෙන්නේ නැහැ.

අධිබර ස්ත්‍රීන් පුරුෂ‍යන් 309 දෙනෙකු යොදාගෙන මාස හතරක් තිස්සේ උදෑසන ආහාරය මග හරිමින් පර්යේෂණයක් කර තිබෙනවා. එයින් පැහැදිලි වී ඇත්තේ බර අඩු වැඩි වීම කෙරෙහි උදෑසන ආහාරය බල නොපාන බවයි.

උදේට කෑවොත් පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරනවාද? 

උදෑසන ආහාරය සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියට මනා පිටුවහලක් බව සමහරුන්ගේ මතයයි. එහෙත් මෙය මිථ්‍යාවක්. පරිවෘත්තීය ක්‍රියාවලියට බලපාන්නේ දිනක් තුළ ලබා ගන්නා සම්පූර්ණ කැලරි ප්‍රමාණයයි. එය ලබා ගන්නේ උදේට ද දවල්ට ද යන්න ගැටලුවක් වන්නේ නෑ.

හැමෝටම එක වගේ ම ද? 

සැබැවින් ම මෙම තත්ත්වය සියලු දෙනාට ම එක ලෙස බලපාන්නේ නෑ. එක් එක් සිරුරේ ක්‍රියාකාරිත්වය අනුව මෙය වෙනස් වෙනවා.

Intermittent fasting ක්‍රමයේදී පැය 16 ක් ආහාර නොගනිමින් සිටින අතර පැය 8ක් ආහාර ගන්නවා. මෙහෙදී බොහෝ විට මග හැරෙන්නේ උදෑසන ආහාරයයි. මෙම ක්‍රමය සමහරුන්ට බර අඩු කරන්නට උපකාරී වී තිබෙනවා. එහෙත් සමහරුන්ට කලන්තය, ඇඟට පණ නැති වීම වැනි ලක්ෂණ ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

උදෑසන ආහාරය මඟ හැරීම නුසුදුසු පිරිසක් ? 

වෛද්‍ය මතය අනුව උදෑසන ආහාරය මග හැරීම කිසිසේත් ම නුසුදුසු පිරිසක් ඉන්නවා.

ඔබ දියවැඩියාවෙන් පීඩා විඳින අයෙක් නම් උදෑසන ආහාරය මග හැරීම සුදුසු නැහැ. එක්වරම ග්ලූකෝස් මට්ටම වෙනස් වීම ඔබට යහපත් නොවන නිසායි ඒ. 

ගෑස්ට්‍රයිටීස්වලින් පීඩා විඳින අයටත් උදෑසන ආහාරය අතපසු නොකරන ලෙසටයි වෛද්‍යවරුන් අවවාද කරන්නේ. අධික වේලාවක් කුස හිස්ව තබා ගැනීම ගෑස්ට්‍රයිටීස් වැඩි වන්නට එක් හේතුවක්. රාත්‍රී ආහාරයෙන් පසු පැය 8- 10 අවම නිරාහාරව තමයි ඔබ ඉන්නේ. ඉතින් උදෑසන ආහාරය මගහැරියොත් මේ කාලය දිගු වෙනවා. ඔබත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන අයෙක් නම් උදෑසන ආහාර මග හැරීම එතරම් සුදුසු අදහසක් නෙවෙයි.

ගර්භනී සමයේදී මෙන්ම මවුකිරි දෙන සමයේදී ත් කාන්තාවන් විශේෂයෙන් ම උදේ ආහාරය ගැන සැලකිලිමත් විය යුතුයි. ශක්තිය ඉක්මනින් වැය වන සමයක් නිසා කලන්තය ඇති වන්නට පුලුවන්.

ඇත්තෙන්ම ඔබ යම් ලෙඩ රෝගවලින් පෙළෙනවා නම්, උදෑසන ආහාරය ගැන වගේම ඔබ ලබා ගන්නා අනෙක් ආහාර වේල් ගැනත්, ඒ ආහාර වේල් සදහා ඔබ ලබා ගන්නා ආහාර කොයිතරම් සෞඛ්‍යයට හිතකර ඒවාද යන්න ගැනත් අවධානයක් යොමු කිරීම වැදගත්.

වැදගත් ඔබ ආහාර ගන්නා වේලාවද ? ලබා ගන්නා ආහාරද? 

ඉහත සුවිශේෂී අවස්ථාවලට අයත් නොවන ඔබ යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන කෙනෙක් නම්  වඩා වැදගත් වන්නේ ඔබ ආහාර ලබා ගන්නා වේලාව නොව දිනක් තුල ඔබ ලබා ගන්නේ කුමන ආහාරද යන්නයි.

ලොව පිළි ගත් අලුත්ම වෛද්‍ය මතය සාමාන්‍ය වැඩුණු මිනිසෙක් දිනය පුරා සෞඛ්‍යමත් සැකසූ පෝෂණීය ආහාර මගින් දෛනික කැලරි අවශ්‍යතාව සපුරා ගන්නවා නම් උදෑසන ආහාරය ලබා ගත්තාද? නැතිද? යන්න එතරම් ම වැදගත් නැති කරුණක් බවයි.ඒ අනුව ඇත්තෙන්ම ඔබ උදෑසන ආහාර ගත්තත් ඔබ ලබා ගන්නේ සෞඛ්‍යයට හානිකර පිටි, සීනි හා තෙල් අඩංගු සෞබ්‍යමත් නොවන ආහාර වේලක් නම් ඔබ උදෑසන ආහාරය ලබා ගත්තත් ඔබ ලෙඩ වීමේ ඉඩ කඩක් පවතින බවයි.

එමෙන්ම ආහාර පාලනය කරන නිසාම උදෑසන ආහාර වේල මගහැරිය මුත් දවසේ අනික් වේලාව පුරාම අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ලබා ගන්නේ නම් ඔබ අපේක්ෂිත ලෙස ශරීරයේ බර අඩු වීමක් නම් වෙන්නෙ නෑ.

ඇත්තෙන්ම මේ අනුව ඔබට දැන් පැහැදිලි ඇති, ඉහත සඳහන් රෝගවලින් නිදහස් සෞඛ්‍ය සම්පන්න පුදගලයන් උදෑසන ආහාර වේල මඟ හැරිය පමණින් එය විශාල හානියක් ඇති වන්නෙ නෑ. මේ සම්බන්ධව ඇති මිථ්‍යා මතවලින් ඔබ නිදහස් කර ඔබේ සෞඛ්‍යය රැකගැනීමට අවශ්‍ය වැදගත්ම පණිවිඩයක් දීමයි අපේ අරමුණ.

ඔබ වඩාත් අවධානයක් දිය යුත්තේ ආහාර මගින් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව මගහරවා ගැනීමට සහ සෞඛ්‍යය සුරැක ගැනීමටයි.

අනෙක් කාරණය නම් දෛනිකව ඔබේ ශරීරයට අවශ්‍ය කැලරි මට්මට ඉක්මවා හෝ කැලරි මට්ටමට ඉතාම අඩුවෙන් ආහාර ගැනීම නොකල යුතු බවයි.

මේ කාරණා ඔබේ ජීවිතයට එක් කර ගැනීම වඩාත් සෞබ්‍යාරක්ෂිත ජීවිතයක් ගෙවීමට ඔබට වැදගත් වේවී.

Related Articles

Don't Miss


Latest Articles