පිළිකාවලින් වැළකෙන්න ,කවුළු දොර ජනෙල් විවර කර තබන්න

පසුගිය දිනවල ඇමරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල ආන්දෝලනයක් ඇතිකළ පුවතක් වාර්තා වී තිබුණා .ඉන් කියවුනේ ඇමෙරිකානු කාන්තාවන් රුධිර පිළිකාවන්ට ගොදුරුවීම බෙහෙවින් ඉහළ යමින් ඇති බවයි .එයට හේතුව ලෙස අනාවරණය වුණේ රෙඩොන් නම් වායුවයි.

රේඩෝන් ගැන විශාල කතිකාවක් ලොව පුරා ඇති වුණේ එය පිළිකාකාරකයක් ලෙස හඳුනා ගැනීමෙන් පමණක් නෙවේ .වසා තබන ලද නිවාස ,කාමර ,හෝ වෙනත් ගොඩනැඟිලි තුළ රේඩෝ න් මට්ටම ඉහළ යන බව අනාවරණය වීමත් සමඟ. කෙසේ වෙතත් ලංකාවේද සිදුකර ඇති පරීක්ෂණ අනුව තවමත් අපරටේ රේඩෝන් මට්ටම හානිකර මට්ටමට වර්ධනය වී නැහැ .එහෙත් මේ තත්වය නොසලකා හැරිය එකක් නොවෙයි .අප ඒ ගැන අවධානයෙන් නිතරම සිටිය යුතු වනවා.

රේඩෝන් පිලිබඳ මේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ ඇමරිකානු පිළිකා සංගමයේ පර්යේෂණ නිලධාරි ආචාර්ය ලෝරන් ටෙරස් ඇතුළු පිරිස විසින් වන අතර, එය උග්‍ර ගැටළුවක් බවට පත් වී තිබෙන බව අධ්‍යන වාර්තා පෙන්වා දෙනවා. 2016දි ඇමරිකාව තුලින් පිළිකා රෝගීන් 171000 ක් හමුවීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

තම අධ්‍යනයේදී ටෙරස් විසින් පුද්ගලයන් 140,652 දෙනෙකුගේ දත්ත නිරීක්ෂණය කළා. මින් 3,019 දෙනෙකු පිළිකා රෝගීන් වූවා. එම පිළිකාරෝගින් පිලිබඳ ගැඹුරු අධ්‍යනයක නියැළුන පර්යේෂකයන්ට පෙනී ගියේ රේඩෝන් මට්ටම ඉහළ ප්‍රදේශවල ජිවත්වන කාන්තාවන් එසේ නොමැති ප්‍රදේශවල ජිවත් වන අයට සාපේක්ෂව 63%ක ඉහළ අවධානමක් රුධිර පිළිකා වැළඳීම සම්බන්ධව දරන බවයි. මෙලෙස වැඩි අවධානමකට කාන්තාවන් ලක්වීමට හේතුව වන්නේ පිරිමින්ට සාපේක්ෂව වැඩි වේලාවක් ගෙවල් ඇතුලෙහි රැඳෙනා නිසාවෙන් වනවා .එසේම ආරක්ෂක හේතු මත ගෙදර ජනෙල් දොරවල් වසා ගෙන සිටීමටද බොහෝ කාන්තාවන් පෙළඹෙන අතර,එයින් සිදු වන්නේ තත්වය උග්‍ර අතට හැරීමයි.

මීට අමතරව මෑතකදී එක්සත් රාජධානියේ කල අධ්‍යනයකින් පෙනී යන්නේ රේඩෝන් හේතුකොටගෙන පෙනහළු පිළිකා වර්ධනය වීමේ අවදානමක්ද පවතින බවයි. එසේම එක්සත් රාජධානිය තුළ රේඩෝන් නිසාවෙන් පෙනහළු පිළිකා වැළඳී වසරකට මිය යන ගණන 100ක් පමණ වන අතර කැනඩාවේදී එය 3000ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම දුම් බොන්නන් සිටින නිවසක රේඩෝන් නිසා ඇතිවන පිළිකා අවධානම දුම් නොබොන්නන් සිටින තැනක මෙන් 33 ගුණයක් තරම් වනවා.

එසේම මෙම අධ්‍යනයේදී සොයා ගත් තවත් කරුණක් වන්නේ අත්තිවාරම් සහ කොන්ක්‍රීට් දැමීම සඳහා භාවිතා කරන කුඩා කළුගල් කැබලි වලින්ද අධික ලෙස රේඩෝන් නිකුත්වන බවයි .විශේෂයෙන් අලුත හදන ගෙවල් තුළ වැඩි වේලාවක් රැඳෙන අය මේ අවදානම ගැන කල්පනා කිරීම සුදුසු වනවා.

කෙසේ වෙතත් අධ්‍යන වාර්තා පෙන්වා දෙන්නේ ලංකාව තුළ තත්වය තවමත් බරපතල නැති බවයි. නමුත් අවදානමට පෙර සුදානම හොඳ බව අප දන්නා නිසා ,නිතරම පිරිසිදු වාතය සංසරණය වීම පිණිස නිවසේ ජනෙල් කවුළු හැකි සැම අවස්ථාවක දීම විවරව පවත්වා ගැනීම මඟින් රේඩෝන් මාරයාගෙන් ඈත් වී සිටීමට වග බලාගනිමු.

 චම්මි.

Related Articles

Don't Miss


Latest Articles