පොල් ගණන් වැඩි කාලෙට පොල් කිරි නොදා හදන කෑම රෙසිපි.

පොල් මිල සීග්‍රයෙන් ඉහළ ගිහින්. විසඳුම විදියට පිටි කළ පොල් කිරි පාවිච්චි කිරීමත් ඒ තරම් නුවණැති වැඩක් නෙවෙයි. ඒවාටත් අධික මිලක් වැය වෙනවා.ඒ නිසා මෙන්න මේ විදියට පොල් පිරිමසා ගන්න පුලුවන් නම් ඔබට වියදම් ගැන බය වෙන්න හේතුවක් නෑ. පොල් කිරි නොදා හදන කෑම රෙසිපි කිහිපයක් මෙහි අප ගෙන එනවා.

පොල් පරිස්සමින් පාවිච්චි කරන්නේ කොහොමද?

  • පොල් ගෙඩිය ගාලා ටිකක් මැල්ලුම් වලට සහ සම්බෝලවලට ඉතුරු කර ඉතුරු සියල්ල බ්ලෙන්ඩ් කර ගන්න.
  • දිය කිරි , මිටි කිරි වෙන්ව තබා ගන්න.
  • මේ විදියට වෙන් කර ගත් දිය කිරි සහ මිටි කිරි ශීතකරණයේ තබා පාවිච්චියට ගන්න.
  • පොල් කිරි මිරිකාගෙන කියුබ්ස් විදියට අධි ශීතකරණයේ තබා ගැනීමත් හොඳ ට්‍රික් එකක්.
  • පොල් ඉතා සිහින්ව ගා ගැනීමත් විසඳුමක්.
  • මැල්ලුම් සම්බෝල ආදියට මිරිකා ගත් පොල් ගන්න පුලුවන්. නමුත් එය එතරම් හොඳ උපක්‍රමයක් නොවේ.
  • මී කිරි, යෝගට්, අඹරා ගත් සහල් වැනි ආදේශක (පොල් ස්වල්පයක් මිශ්‍ර කරන්න) පාවිච්චි කරන්නත් පුලුවන්.
  • ඒ වගේම වේලුණු පොල් වතුරේ දමා තබා උදේට බිඳ ගන්න. එවිට ගැලවී යන්නේ නෑ.
  • පොල් බෑයේ ඉතුරු කොටස ෆ්‍රිජ් එකේ දමනවාට වඩා එක්වරම ගා ගැනීම තමයි සුදුසු.

පොල් කිරි නැතිව පිස ගත හැකි ව්‍යාංජන.

1.මිරිස් මාලු , චිකන් , කරවල හොදි.

2.වට්ටක්කා කරි.

  • කැබලි කැපූ වට්ටක්කා
  • සුදු ළූණු බික් 2ක්
  • රතු ළූණු ස්වල්පයක්
  • අමු මිරිල් කරලක්
  • රම්පෙ
  • කරපිංචා
  • කෑලි මිරිස් මේස හැඳි 1/2
  • උළු හාල් තේ හැඳි 1/4
  • කහ තේ හැඳි 1/4
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • අබ තේ හැඳි 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 1/2

හදා ගන්නේ මෙහෙමයි.

වට්ටක්කා සෝදා කපාගෙන එයට කහ, ලුණු සහ මිරිස් එකතු කරගන්න.
රම්පේ, කරපිංචා, සුදු ළූණු සහ ළූණු ටිකක් ද එකතු කරගන්න.
වතුර කෝප්ප බාගයක් එකතු කර ලිප මත තබා හොඳින් තැම්බෙන්නට හරින්න.
වට්ටක්කා තැම්බුණු පසු ලිප නිවා වෙනත් භාජනයක් ගෙන එයට වට්ටක්කා දමා ගන්න.
ලිප දල්වා පිසින භාජනයට තෙල් ටිකක් දමා රත් කරගන්න.
තෙල් රත්වූ පසු එයට රම්පේ කරපිංචා, සුදු ළූණු සහ ළූණු ටිකක් ද එකතු කරගන්න.
ඒවා හොඳින් බැදුණු පසු කෑලි මිරිස් ද එකතු කරන්න.
උළු හාල් සහ අබ ද එකතු කර ගන්න.
අබ පුපුරද්දී භාජනයට වට්ටක්කා දමා ගන්න.
වතුර ටිකක් ද එකතු කරන්න.
හොඳින් පිස ගන්න.

මේ ආකාරයට සෝයා මීට් ද පිසින්න පුලුවන්. පරිප්පු කරිය ද සෑදීමට හැකියි.
මෑකරල් වැනි එළවලු වර්ග ද මේ රෙසිපියට සකසන්න පුලුවන්.

3.මී කිරි දැමූ අල හොද්දක්

අවශ්‍ය දේවල්:

  • තම්බා පොතු ඇර ගත් අල කෝප්ප 2
  • අබ තේ හැදි 1/4
  • කහ කුඩු 1/8
  • මුදවපු කිරි කෝප්ප 1/2
  • කඩල පිටි තේ හැදි 1/2
  • සූදුරු තේ හැදි 1/2
  • කුරුදු පොතු 1
  • මිරිස් කුඩු තේ හැදි 1
  • බටර් මේස හැදි 1
  • කරාබු නැටි
  • ලුණු

සාදාගන්නා ආකාරය:

  • අල තම්බා පොතු ඇර කෑලි කපා ගන්න.
  • භාජනයක් ගෙන මුදවපු කිරි හා කඩල පිටි දමා කලවම් කර ගන්න.
  • භාජනයක් ලිප තබා බටර් දමා එය රත් වූ පසු අබ පුපුරවන්න
  • සූදුරු, මහදුරු, කරාබු නැටි 1-2ක්, කුරුදු පොත්තක් දමා කලවම් කරන්න.
  • කලින් හදාගත් මුදවපු කිරි මිශ්‍රණය එකතු කරන්න
  • කහ කුඩු සහ මිරිස් කුඩු ද එකතු කර රත් කරන්න.
  • අල එකතු කර ලුණු දමා ගන්න.
  • වතුර දමා හොද්ද උතුරවා ගන්න.

මේ වගේ රෙසිපි සහ මුලින් කියපු ටිප්ස් පාවිච්චි කරලා පොල් ප්‍රශ්නය ස්මාර්ට් විදියට විසඳා ගන්න ඔයාලට පුලුවන්.

තොරතුරු සැපයීම – නිහතමානී ජයවර්ධන මහත්මිය

Related Articles

Don't Miss


Latest Articles