පාට සේදුනු වත්සුණු -24

අම්මා ගේ හිත නො රිදවනු වස් මගේ හිත රිදවා ගන්නට වුව සූදානමින් ළමා හා නව යොවුන් විය ගෙවූ දැරියක වන මම, වැඩිහිටි ලෝකයට අවතීර්ණ වීමත් සමග ඇයට අකීකරු වීමට යාම පිළිබඳ සිතිවිලි රෑ පුරා මට වද දුන්නේ ය. දරුවෙකු හා මවක අතර වන්නේ ශරීරාත්මක සම්බන්ධයකි. මම කාලයක් ඈ තුළ ද ඇය ගේ ශරීරයේ කොටසක් ව ම ද සිටියෙමි. ඒ නව මාසයක් වන් කෙටි කාලයකි. නමුත් ඒ නව මාසය, මවක හා දරුවෙකු අතරේ ආත්ම නවයකටත් වැඩි බැඳීමක් ඇති කරවන්නේ ය. දැන් මා බිඳින්නට සූදානම් වන්නේ එකී බැඳීම ද?

නැත. මට අවශ්‍ය වන්නේ මනසින් ඇය හා බිඳෙන්නට නොවේ. වැඩිහිටි ලෝකයට අවතීර්ණ වූ පුද්ගලයෙකු ගේ ස්වාධීනත්වය රැක ගන්නට ය.

“මං ඔයාට කිව්ව ඔය ගමන යන්න පුළුවන් අපි එක්ක විතරයි කියල. යන්නෑ ගයා. හැබැයි ඔයා හිතුවක්කාර වෙලා ආයෙ මේ ගෙදරට අඩිය ගහන්න නෙවෙයි”

අප යන්නට සූදානම් වෙත්දී අම්මා එක හෙළා විරුද්ධ වූවා ය. ඈ සිටියේ කේන්තියෙන් වෙව්ලමිනි. අම්මා සිටින තත්වයේ හැටියට ඒ වගේ කේන්ති ගැනීම නුසුදුසු බව මා අසා තිබිණි. අම්මා සැනසෙන අයුරින් කතා කරන්නට මා සිතුවේ ඒක ය. ගින්නකින් තවත් ගින්නක් පාලනය කළ නො හැකි ය. ගින්නක් සමනය කළ හැක්කේ සිසිලසකිනි.

“අම්ම…මේක යුගාන්ත අයිය මැදිහත් වෙලා හුඟක් උදව් කරල පටං ගත්ත දෙයක්. දැං එයාව ප්‍රතික්ෂේප කරන එක මානුෂික නෑ”

“ගයා මේ. මගෙං ගුටි කන්නෙ නැතුව ඔය ගමන නවත්තනව. අර කොල්ලට කියනව යන්නෙ නෑ කියල”

“අම්මෙ එහෙම කරන්න බෑ. පැළ ඉවර වේගෙන එනව. බිස්නස් කඩා ගන්න බෑ”

“හරි. අපි එක්ක යන්නං. අසංක…ලෑස්ති වෙන්න”

ඉබ්බා දියට දාත්දී ඇන්නෑවේ කීවා සේ අසංක උඩ පැනගෙන එකඟ වූයේ ය. මම සීතල වී ගියෙමි. මම අසරණ වී හිටියෙමි. මේ අවසාන අවස්ථාව බව ද මොකක්දෝ හඬක් මගේ ඇතුළාන්තයෙන් මුමුණනු ද ඇසුණේ ය. මේ වෙලාවේ ඔවුන්ට අවනත වුව හොත් සිදු වන්නේ ජීවිත කාලය ම ඔවුන් ගේ රූකඩයක් බවට පත් ව නැටැවෙන්නට ය.

“නෑ ඕන නෑ”

මම අන්තිම තත්පරයේ කීවෙමි. මෙතෙක් නිහඬ ව සිදු වන දේ දෙස බලා උන් අත්තම්මා ගේ මුවට සිනහ පොදක් ඉනුවේ ය. ඇය ලොකු හුස්මක් ගන්නවා ද මම දුටිමි.

“කරගෙන ආපු විදිහට ම මං මේක කරං යන්නං අම්මෙ. අම්මට ඉතිං වෙන බිස්නස් එකක් තියෙනවනෙ. මට ඕනෙ මේක නිදහසේ මගෙ ක්‍රමේට කරන්න”

“මට හිතා ගන්න පුළුවන් තමුංගෙ ක්‍රමේ මොකද්ද කියල”

අම්මා පුපුරා හැළුණා ය.

“ඔයාගෙ වැරැද්ද. තරුණ වයසෙ ළමයින්ට එහෙම නිදහස දීල හරියනවද..”

හදිසියේ ම අසංක කීවේ ය.

“ඒගොල්ලො ඉන්නෙ අපේ යටතෙ. ඒගොල්ලො වැඩ කරන්න ඕන අපි කියන විදිහට”

මෙතෙක් නිහඬ ව, නත්තසූරිය වැටට මත්තෙන් පායා ආ ළපටි හිරු දෙස බලාන තමන් තුළට ම වී උන් සීයා හදිසියේ ම නැගිට්ටේ ය.

“මේ අසංක. ඔයා කසාද බැඳගෙන අයිතිය අරගත්තෙ කෝසලාගෙනෙ. ගයා ගැන අපි බලා ගන්නං. ඕකේ…”

“අසංකට එහෙම කතා කරන්න එපා තාත්තෙ. ඇයි අසංකට ගයාගෙ දේවල් ගැන තීරණ ගන්න අයිතියක් නැද්ද…එයා මගෙ හස්බන්”

“උඹගෙනෙ. තේරුණාද…උඹගෙ. මගෙ යකා අවුස්සන්න එපා. ගයාත්මි යන්න. ඔය දරුවො දෙන්නා යන්න”

සීයා අන්තිම තීන්දුව දුන්නේ කේසර සිංහ සෙයියාවකිනි. ඒ පිරිමි පෞරුෂය මා ගොළු කරවන තරම් විය. මම මාරුවෙන් මාරුවට අම්මා හා අත්තම්මා දෙසත්, සීයා දෙසත් බලමින් තුෂී එක්ක පිවිසුම් දොරටුව වෙත ඇවිද යන්නට වූයෙමි. යුගාන්ත ගේ රිය නැවතී අප වෙනුවෙන් බලා සිටියේ ය. අත්තම්මා හා සීයා අප පසුපස රිය වෙත පැමිණ තිබිණ.

“පරිස්සමෙං”

වෙනදා ඉතිරෙන සිනා කවටකම් ගොළු වී තිබිණ. යුගාන්තටත් ඒ වෙනස දැනෙන්නට ඇත. ටික දුරක් ඔහු රිය පැදවූයේ නිහඬව ය. වෙනදා ට තොරතෝංචියක් නැති ව කියවන තුෂී පවා හිටියේ මුණිවතිනි.

“මොකක් හරි අවුලක්ද…”

අන්තිමට ඔහු ම නිහඬතාවය බින්දේ ය. යුගාන්ත ගේ ඇස් තත්පර දෙක තුනකට මවෙත හැරී තිබුණත්, මම බිම බලා ගෙන ම සිටියෙමි.

“අන්තෝ ජටා බහි ජටා තමයි ඉතිං”

මගේ හිනඬ බව නිසා තුෂී පිළිතුරු දුන්නා ය.

“ගයාගෙ අම්මල අකමැති වුණාද අපි යනවට..”

යුගාන්ත හරියට ම අනුමාන කළේ ය.

“අර අකුසලයගෙ කරදරේ ඉවර වුණා විතරයි තව කරදරයක් පටං ගත්ත”

යුගාන්ත ගේ දෙතොලතර ශාන්තිදායක මඳහසක් නැගුණේ ය. මම මහත් සැනසුම් සහගත හැඟීමකින් ඔහු වෙත දල්වා ගත් නෙතින් සිටියෙමි.

එදා යුගාන්ත මා කෙරේ හැසිරුණේ වඩාත් අනුකම්පා සහගතව ද කියා මට සිතිණි. කෙසේ වෙතත් ඒ ගමනින් පසු ඔහු මට වඩාත් සමීප වූවා කියා මම සිතමි.

එසේ ම අම්මා මා කෙරේ වඩාත් කුරිරු වන්නට ද වූවා ය. ඇගේ වචනයට කීකරු නොවී මා හිතුවක්කාර වීම ගැන ඇයට සාධාරණ කේන්තියක් ඇති වන එක ගැන අමුත්තක් මට නැත. මෙතන ඇති ප්‍රශ්නය නම් අසංක කියන්නේ අම්මා හිතන තරම් හොඳ ප්‍රතිරූපයක් නො වීමයි.

“ඔයා ටිකක් තේරුං ගන්න බලන්න ගයා”

දවසක් මා පැළ තවානේ සිටියදී මවෙත ආ අසංක කීවේ ය.

“ඔයාගෙ අම්ම මාත් එක්ක සෑහෙන්න එයාගෙ දුක කිව්ව. එයාට තියන තනිකම ගැන කිව්ව. ඒ අනුකම්පාවටයි මං එයාව මැරි කළේ. ඒක මගෙ මනුස්සකම”

මගේ ඇඟේ ලේ රත් වෙනවා දැනුණේ ය. මා ඔහු දෙස රවා බලන්නට ඇත.

“මං මට වඩා අවුරුදු පහළොවක් වැඩිමල් කෙනෙක්ව මැරි කරපු නිසා අපේ ගෙදරිං මාව රිජෙක්ට් වුණා. මට ලැබෙන්න තිබුණ දේවල් නැති වුණා. කමක් නෑ කියල මං හිත හදා ගත්තෙ ඕගොල්ලො නිසානෙ”

“ඕගොල්ලො කියල බහු වචනෙං කියන්න එපා. කොටිංම මාවනං ඕවට ගාව ගන්නම එපා”

මම නො රිස්සුමෙන් කතා කළෙමි. ඔහු ට ඒ ගැන ගාණක්වත් වූයේ නැත.

“අපි එකතු වෙලා මේ ප්‍රශ්න වලිං ගොඩ යමු. ඒකනෙ අම්මාත් ඔයාට කියන්නෙ”

“මේ බිස්නස් එකනං හවුලෙ කරන්න මගෙ කිසිම අදහසක් නෑ”

අසංක එක්ක මේ විදිහට කැත්තට පොල්ල සේ කතා කරන්නට ඔහු ඍජු ව මට කර ඇති වරදක් නැත. අම්මා හා ඔහු අතර ඇති වූ විවාහය වුව මා ප්‍රශ්නයක් කර ගත්තේ නැත. නමුත් දැන් දැන් ඔහු ගේ විවිධාකාර ඉඟි වලට මගේ කැමැත්තක් ඇත්තේ නැත. නො රිස්සුමක් විදිහට මෙසේ ප්‍රකට වෙන්නේ ඒ අකමැත්ත විය යුතු ය.

“අම්ම මට කියල තිබුණෙනං ඔයා හරි කීකරු…එයාට හුඟක් ආදරේ කරන දුවෙක් කියලයි. ඒත් ඔයා මෙහෙම කතා කරනකොටනං මට එහෙම හිතෙන්නෑ”

“ඔයා කැමති විදිහකට හිතා ගන්න. මට ඒකෙ ප්‍රශ්නයක් නෑ”

අසංක පහු බෑවා කියා මම නො සිතමි. ඔහු ඒ තරම් පහසුවෙන් පරාජය බාර ගන්නා ආකාරයේ අයෙකු නොවේ. නමුත් ඔහු තාවකාලික ව පස්සට අඩියක් තබන්නට ඇත.

“නියමයි. යුගාන්ත තමුසෙව මාර විදිහට හදල අරංනෙ. හොඳ ප්‍රෝග්‍රෙස් එකක්”

තුෂී මා අසංක ට දැක්වූ ප්‍රතිචාර ගැන අසා ප්‍රීතිමත් වූවා ය.

“හැම එකට ම යුගාන්තව ගාවගන්න එපා හරිද…”
මම බොරුවට රැව්වෙමි.

“කටිං මොනා කතා කළත් ඇත්තටම හිතේ තියෙන දේ ලියවෙන්නෙ ඇස් වල”

“දොඩවන්නෙපා අප්ප”

“මට පේන්නෙ දවසක අසංකත් අම්බානක කන්නෙ යුගාන්තගෙං”

“අනේ මේ එයා චණ්ඩියෙක් නෙවෙයි”

“හප්පත බොල…මෙයා එයා ගැන දන්න තරං”

ජීවිතය කියන්නේ අමුතු දෙයකි. ඉකි ගසා හඬන්නට හේතු වෙන කාරණා අතරේ, හදවතින් සිනා සිය හැකි පුංචි පුංචි දේවල් පවා ජීවිතය අපට තනා දෙයි. මහා වේදනා කන්දක වන බර හෑල්ලු කර දමන්නට, මඳ පවනක් වන් එක කුඩා සිනහවකට හැකි වීම, ජීවිතය යනු ආශ්චර්යයක් කියා අපට යළි පසක් කොට දෙයි.

මම අම්මා ගැන සේ ම සීයා හා අත්තම්මා ගැනත් අලුතෙන් සිතන්නට පටන් ගතිමි. මේ සීයලා ගේ ජීවිත වල හැන්දෑවයි. ඔවුන් දෙන්නා ඒ හැන්දෑවේ සුවය ඉත සිතින් විඳිමින් සිටි බැව් සැබවි. නමුත් ඔවුන් ගේ පෝෂණය හා ශරීර සෞඛ්‍යය ගැන ඔවුහු ඒ තරම් සැලකිල්ලක් නො දක්වති. මගේ අතට මුදල් ලැබෙන්නට පටන් ගත්තාට පස්සේ, ගැබිණියක වන අම්මා ගැනත් සිතමින් ඔවුන් ගේ පෝෂණයට අවශ්‍ය කලමනා මම වැඩි වැඩියෙන් මිල දී ගතිමි.

“ගයාත්මී…කෙල්ල සල්ලි කියන දේ ඕනවට වඩා නාස්ති කරල හරියන්නෑ…හම්බ කරන දේ පරිස්සමෙන් වියදං කරන්න ඕනේ…”

මා ගෙනා පළතුරු බෑගයක් දෙස බලමින් සීයා කීවේ ය. අම්මා එයත් ඇදයට ගත්තා ය.

“ගයාත්මි පොඩි කාලෙ මං මොන දුකක් විඳගෙන එයා වෙනුවෙං දේවල් කළාද…එයත් මං ගැන ටිකක් හිතුවට කමක් නෑ”

අම්මා මා උස් මහත් කළ බව ඇත්ත ය. නමුත් ඇය මගේ මනස ගැන බිඳුවක් හෝ හිතුවා යි නො සිතමි. ලක්ෂ ගණන් වියදම් කොට හම සුදු කරන එන්නතක් විද ගන්නට ඇයට වූ උවමනාව, මගේ පොත පතක් වෙනුවෙන් රුපියල් පන්සියයක් වියදම් කරන්නට නො තිබිණි.

“පොත් සල්ලි වලටම ගන්න ඉන්න එපා ගයා. පුළුවන් තරං හොයාගෙන කියවන්න. මං හුඟක් අමාරුවෙං සල්ලි හම්බ කරන්නෙ”

ඇය මට කියා තියේ. නමුත් මට අම්මා හා එකට එක කරන්නට උවමනා නැත. ඇගෙන් පළි දරන උවමනාවක් තුන් හිතකවත් නැත. මුදල් වල වටිනාකම දැනෙන්නේ අවශ්‍යතාවයන්ට ඒවා වියදම් කරත්දී බව දැන් මම පසක් කොට ගෙන හිඳිමි.

“ඔයා ආවද අසංක…කා එකේ සද්දෙ ඇහුණෙත් නෑනෙ”

අම්මා ගේ හඬින් අප කාගේත් අවධානය අසංක වෙතට යොමු වෙන්නට ඇත.

“බස් එකේ ආවෙ”

ඔහු ගේ මූණ පරාජිත ස්වරූපයක් ගති.
“ඇයි කා එක…”

අම්මා ගේ ඇස් ලොකු වී ද ඈ ලොකු කලබලයකට පත් ව ද සිටියා ය. ඒ කලබලය මා තුළ ඇති කළේ දෙගිඩියාවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content