උදෑසනම කුරුඳු තේ එකක් බිව්වොත් ඔබට ලැබෙන වාසි 6 ක්

කුරුඳු ශ්‍රී ලංකාවේ ඉතා සුලබ කුළුබඩු විශේෂයක්. අප බොහෝ විට කුරුඳු යොදාගන්නේ ආහාර රසවත් කරන කුළුබඩුවක් ලෙසයි. එහෙත් කුරුඳු තේ ලොව ඉතා ජනප්‍රිය පානයක් බව ඔබ දන්නවාද? මේ ලිපිය කුරුඳු තේවලින් ඔබට අත්වෙන වාසි ගැනයි.

කුරුඳු යනු මොනවාද?

ශ්‍රී ලංකාවේ බහුලව වැඩෙන ඉතා වටිනා ශාකයක් ලෙස කුරුඳු හඳුනා ගත හැකියි. කුරුඳු ගසෙහි පිට පොත්ත කපා සූරා මිටියකින් තලා වේලා කුරුඳු භාවිතයට සුදුසු ලෙස සකසා ගනු ලැබෙනවා. කුරුඳු භාවිතය පුරාණ ඊජිප්තු සමය දක්වා දිවෙනවා. 

කුරුඳු වර්ග හඳුනා ගන්නේ කොහොමද? 

කුරුඳු වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් අපට වෙළඳපොළේ දී හමුවෙනවා. Ceylon Cinnamon සහ Cassia Cinnamon ඒ වර්ග දෙකයි. සැබෑ කුරුඳු ලෙස හඳුනාගන්නේ Ceylon Cinnamon වේ. Cassia Cinnamon වල coumarin ප්‍රතිශතය ඉතා අධිකයි. එය වැඩිපුර පරිභෝජනය සිරුරට හානිදායකයි. එනිසායි Ceylon Cinnamon සෑම විට ම භාවිතා කළයුතු වන්නේ. බැලු බැල්මට මෙම වර්ග දෙකම එක හා සමානයි. එහෙත් Cassia Cinnamonවල තරමක සැර සුවඳක් අඩංගු වෙනවා. ඊට අමතරව, ඒවා මහත ඝනකම් පතුරු ලෙස පවතින අතර Ceylon Cinnamon සිහින් තුනී පතුරු ලෙස පවතිනවා.

කුරුඳු තේ සකසා ගන්නේ කොහොමද? 

කුරුඳු පොතු එලෙසින් ම හෝ කුඩු කර උණු වතුරේ තම්බා කුරුඳු තේ සකසා ගනු ලබනවා. මෙය ඉතා රසවත් මෙන්ම සුවඳවත් පානයක්.

කුරුඳු තේවලින් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

ඉතාම රසවත් පානයක් වන කුරුඳු තේ බීමෙන් ඔබ නොසිතන වාසි බොහොමයක් අත් වෙනවා.

ප්‍රතිඔක්සිකාරකවලින් අනූන නිසා බෝනොවන රෝග රැසකින් හා වයසට යාමෙන් ඔබ වලකාවී 

ඔබව සෞඛ්‍යමත් ව තබන්නට හැකි ප්‍රතිඔක්සිකාරකවලින් කුරුඳු පිරී පවතිනවා. එමගින් පිළිකා, දියවැඩියාව, හදවත් රෝග වැනි රෝග ඇතිවීම පාලනය කරනවා. එමෙන්ම වයසට යාමේ ලක්ෂණ පාලනය කරන්නටත් ප්‍රතිඔක්සිකාරක නිසා හැකියාව ලැබෙනවා. 

හදවතේ රෝග වලින් ඔබ ආරක්ෂා කරන්න කුරුඳු තේ වලට පුලුවන් 

කුරුඳු තේවලට ප්‍රදාහ තත්ත්වවලින් ඔබව රැක ගන්නට හැකියාව තිබෙනවා. මෙය හදවත් රෝග මූල නසන ක්‍රියාවලියක්. රුධිර පීඩනය සහ අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් කුරුඳුතේ වලට හැකි බවයි පර්‍යේෂණ පෙන්වා දෙන්නේ. එමෙන් ම හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමමින් හදවතේ සෞඛ්‍යය යහපත් ව තබා ගන්නට කුරුඳු තේවලට හැකියාව තිබෙනවා. 

රුධිර ගත සීනි මට්ටම පහත හෙළන්නට කුරුඳු තේවලට පුලුවන්.

කුරුඳු තේවලට දියවැඩියාව පාලනය කළ හැකි සුවිශේෂ හැකියාවක් තිබෙනවා. මේවා ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ලෙස ම ක්‍රියාකරන බවයි පැවසෙන්නේ. කුරුඳු තේවල ඇති එක්තරා සංයුතියක් නිසා ඉන්සියුලින් ප්‍රතිරෝද පහළ හෙලමින් රුධිරගත සීනි මට්ටම පහළ හෙලන්නට හැකියාව ලැබී තිබෙනවා. එමගින් ඉන්සියුලින්වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වනවා. කාබෝහයිඩ්‍රේට් සිරුරට එක්වරම අවශෝෂණය වීමේ වේගය අඩු කරන්නටත් කුරුඳු තේවලට හැකියාව තිබෙනවා. එමගින් ආහාර වේලක් ශරීර ගත වීමෙන් පසු රුධිරගත සීනි මට්ටම ක්ෂණිකව ඉහළ යාම වළකනවා. 

අනවශ්‍ය බර පාලනය කිරීමේ හැකියාව කුරුඳු තේවලට තිබෙනවා.

කුරුඳු තේ වඩාත් ම ප්‍රචලිත වී ඇත්තේ බර අඩු කරනා පානයක් ලෙසයි. කැලරි ප්‍රමාණය අඩු කිරීමත් සමග කුරුඳු තේ පානය කිරීමෙන් බරෙහි සැලකිය යුතු වෙනසක් ඔබට දකින්නට පුලුවන්. අනවශ්‍ය මේදය දිය කර හැරීමේ සුවිශේෂ හැකියාවක් කුරුඳු තේවලට තිබෙනවා. 

කුරුඳු තේ බැක්ටීරියා සහ දිලීර නැසීමේ හැකියාවෙන් යුක්තයි.

කුරුඳු තේවලට බැක්ටීරියා සහ දිලීර නැසීමේ හැකියාව පවතිනවා. එහි පවතින Cinnamaldehyde වලට බැක්ටීරියා සහ දිලීර පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. Staphylococcus, Salmonella සහ E.coli වැනි මිනිසා නිතර රෝගී කරන විෂබීජ විනාශ කිරීමේ හැකියාව කුරුඳුවල තිබෙනවා. එමෙන් ම බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන දත් නරක්වීම සහ මුඛ දුර්ගන්ධය වළකන්නට ද කුරුඳු බෙහෙවින් උපකාරී වෙනවා. 

ඔසප් වේදනා අඩු කරන්නටත් කුරුඳු තේවලට පුලුවන්. 

ඔසප් දිනවල ඇතිවන අපහසුතා රාශියක් සමනය කිරීමේ හැකියාව කුරුඳු තේවලට තිබෙනවා. ඔසප් දිනවලට දින කිහිපයකට කලින් කුරුඳු තේ කිහිප වරක් පානය කිරීමෙන් වමනය, ක්ලාන්ත ගතිය, උදරය වේදනාව ආදී අපහසුතා මගහැරගන්න පුලුවන්. 

කුරුඳු ඉතා හොඳ ස්වාභාවික  පානයක්. ඉන් ලැබෙන ප්‍රයෝජන රාශියක් පිළිබඳ ඉහත සඳහන් වෙනවා. එහෙත් ස්වාභාවික හෝ කෘත්‍රීම ඕනෑම දෙයක් සීමා රහිතව භාවිතා කිරීම කෙසේවත් සුදුසු නැහැ. හොඳ කුරුඳු කුඩු මේස හැන්දක් දිනකට වැඩුණු මිනිසෙක්ට ප්‍රමාණවත්. නිසි ප්‍රමාණයෙන් කුරුඳු තේ පානය කර එහි ප්‍රයෝජන ඔබත් අත්විඳ ගන්න.

Related Articles

Don't Miss


Latest Articles