කරදරකාරී කුරුලෑ වලින් නිදහස් වෙන්න මේ සත්කාර නිවසේදීම කරලා බලන්න.

පිම්පල්ස් බොහෝ තරුණියන්ට හිසරදයක් වූ දෙයක්. අපේ රූපයට හානි කරන, අපේ පෞරුෂය බිඳ දමන පිම්පල්ස් වලට එරෙහිව සටන් කරන්න අපි ස්මාර්ට් වෙන්න ඕනෑ. සැලෝන් ගිහින් සත්කාර කරනවා වගේම අපිට ගෙදරදීත් පිම්පල්ස් වකට එරෙහිව රූපලාවණ්‍ය සත්කාර කරන්න පුලුවන්.

මේ කියන්නේ ඒ වගේ සත්කාර ගැන.

රාත්‍රී සත්කාර කිහිපයක්.

ට්‍රී ට්‍රී ඔයිල් පිම්පල්ස් ඇති තැන්වල තවරා විනාඩි විස්සකින් උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

ස්වභාවික කෝමාරිකා යුෂ රාත්‍රිය පුරා තවරා තබන්න.

පිරිසිදු මී පැණි ආසාදිත ප්‍රදේශවල ගල්වා මඳ උණුසුම් වතුරෙන් උදෑසන සෝදා හරින්න.

ඇස්ප්‍රින් පෙත්තක් කුඩු කර පිම්පල් එක මත තවරා විනාඩි දහයකින් පමණ සෝදා හරින්න.

පාවිච්චි කළ ග්‍රීන් ටී බෑග් ශීතකරණයේ දමා සීත කරන්න. රෑ නින්දට පෙර පිම්පල්ස් ඒවාගෙන් තවා ගන්න.

පිපිඥ්ඥා යුෂ අධි ශීතකරණයේ දමා අයිස් කියුබ් සාදා ගන්න. කියුබ් එකක් මෘදු රෙදි කඩක ඔතා ඒවාගෙන් පිම්පල් එක තවා ගන්න.

කුරුලෑ සහිත සමට ගැලපෙන ස්ක්‍රබ්

පිපිඤ්ඤා ස්ක්‍රබ්

  • පිපිඤ්ඤා ගෙඩි බාගයක් හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
  • එය මුහුණේ තවරා මෘදුව සම්බාහනය කරන්න.
  • විනාඩි පහකින් සීතල වතුරින් සෝදා හරින්න.

සතියට දෙවතාවක් මෙය සිදු කරන්න.

ඕට්ස් ස්ක්‍රබ්

  • බ්ලෙන්ඩ් කරගත් ඕට්ස් තේ හැන්දක්, රෝස වතුර තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් සහිතව මිශ්‍රණය සකසා ගන්න.
  • මුහුණේ විනාඩි දහයක් ගල්වා තබන්න.
  • ඇඟිලි තෙත් කරගෙන විනාඩි පහක් පමණ හොඳින් සම්බාහනය කර ගන්න.
  • සිසිල් ජලයෙන් සෝදා හරින්න.

සතියට දෙවතාවක් මෙය සිදු කරගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

ග්‍රීන් ටී ස්ක්‍රබ්

  • ග්‍රීන් ටී බෑග්ස් දෙකකට සීනි තේ හැන්දක්, ලෙමන් යුෂ තේ හැන්දක් සහ උණු වතුර ටිකකින් මිශ්‍රණය සකසා ගන්න.
  • මෙය පැය බාගයක් මුහුණේ ආලේප කර තබන්න.
  • ඇඟිලි තෙත් කර විනාඩි පහක් හොඳින් සම්බාහනය කරන්න.
  • මුලින්ම මඳ උණුසුම් වතුරෙන් මුහුණ සෝදා නැවත වතාවක් සීතල වතුරෙන් මුහුණ සෝදා ගන්න.

මී පැණි ස්ක්‍රබ්

  • මී පැණි වලට ලෙමන් බෑයක යුෂ මිශ්‍ර කරන්න.
  • ඇස් ආශ්‍රිතව ආලේප නොකර කුරුලෑ ඇති ස්ථාන වල ගල්වා විනාඩි පහක් පමණ සම්බාහනය කරන්න.
  • මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

ලෙමන් සහ සීනි ස්ක්‍රබ්

  • ලෙමන් බෑයක යුෂ වලට දුඹුරු සීනි හැන්දක් එක් කර ගන්න. ඔලිව් ඔයිල් ස්වල්පයක් ද එකතු කරන්න.
  • මිනිත්තු 3-5 අතර වෙලාවක් මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.

දොඩම් ලෙලි ස්ක්‍රබ්.

  • දොඩම් ලෙලි හොඳින් වේලා කුඩු කර ගන්න.
  • එයට මී පැණි සහ කහ කුඩු එකතු කර ගන්න.
  • ආසාදිත ප්‍රදේශවල තවරා මෘදු සම්බාහනයකට පසු විනාඩි පහකින් පමණ සෝදා හරින්න.

මේ සත්කාර වලින් පසු ඔබට පිම්පල්ස් වල කරදරය නැති කර ගන්න පුලුවන්.

නමුත් අමතක නොකළ යුතුම කාරණාව මේවායින් පිම්පල්ස් වලට බලපෑමක් නොවුණේ නම් ඔබේ හෝමෝන හෝ සමේ ගැටලුවක් ද යන්න පරීක්ෂා කර ගැනීම හොඳ දෙයක්. එවැනි ගැටලුවක් නම් දුක් වන්න එපා. පිම්පල්ස් සහිතව වුවත් ලස්සනට ඉන්න.

ගැහැණු ළමයෙකුගේ සුන්දරත්වය කුඩා බිබිලි කිහිපයකට නැති කරන්න බෑ.

Related Articles

Don't Miss


Latest Articles