පාට සේදුනු වත්සුණු – 27

‘හොරෙක් වගේ ගෙට රිංගලා’ යනුවෙන් අසංක කී කතාව යුගාන්ත ගේ හිත රිදවූ බව මට ඔහු ගේ මූණෙන් ම දකිත හැකි විය. ඒ වෙලාවේ යුගාන්ත ගේ මූණට ආ මඳහස කෝපය වසා ගත් එකකි.

“හොරෙක් වගේ ගෙට රිංගුවෙනං නෑ. අත්තම්මත් මාත් එක්ක කතා කරලයි දැං ගේ ඇතුළට ගියේ”

මුලින් කී මඳහසින් ම යුගාන්ත කතා කළේ අසංක කෙරේ නො රිස්සුම ඔහු ගේ මූණට ම දමා ගසමිනි. මා සිත් හි මඳ ගැස්මක් ඇති විය.

“අනේ ද කියන්නෙ. ඒ දරුව මොකට හොරෙක් වගේ රිංගනවද මේ ගෙදරට…අර මාළිගාවක් වගේ අලුතෙන් ගෙයක් හදන්නෙ. අනික අසංකල මේවයෙ එන්න සෑහෙන කාලෙකට කලින් ඉඳලයි යුගාන්ත පුතා මෙහෙ එන්නෙ. අනිත් එක ඉතිං හොරු වගේ අනුංගෙ ගෙවල් ඇතුළට රිංගගන්නෙ යන එන මං නැති ඈයොනෙ”

ඒ අන්තිම වචන ටික අත්තම්මා කීවේ අසංක ගේ හිතේ පිහි තුඩු සේ ඇනෙනවා දකින්නට හිතා ගෙන ම විය යුතු ය.

“මං ශාන්තිට කිව්ව තේ හදන්න කියල. කෝ පුතා තාමත් හිට ගෙන නෙ. ඉඳගන්න”

මේ වගේ වස්සාන හැන්දෑවක ඉඟුරු දැමූ තේ එකක් බොමින් ඉඳ හිට යුගාන්ත වෙත නෙතු යොමු කරමින් සිටිනා එකත් වෙනත් රසයකි. තුෂී හිටියා නම් කුමක් හෝ ඕන නැති කතාවක් කියා හිනහෙන බව මම දනිමි. මා අත්තම්මා ළඟට වී සිටියේ ඈ හැන්දෑ නින්දකට වැටී සිටියදී ය. සතියේ එක ම විවේකී දවස වන ඉරිදා හවසට ටිකක් නිදන්නට බැරි වුණොත් එළඹෙන සතියම කෙඩෙත්තුවකින් ගෙවන්නට වෙනවායි ඇය කියයි.

“තුෂී නැද්ද අද…”

යුගාන්තටත් ඇය ව සිහි වී තිබිණ.

“නිදි. කතා කරන්නද…”

“එපා එපා. මං නිකං ඇහුවෙ. ඉරිදා වෙලත් සද්දයක් නැති නිසා”

අපේ කතා බහට ඔහු කිසි වැදගත් කමක් නැති බව තමන් විසින් ම වටහා ගෙන දෝ අසංක එතැනින් නික්ම ගෙතුළට යනවා මට පෙනිණ.

“වැස්සෙ සීතලට සීයටත් නින්ද ගියා. මේක නවතින වැස්සක් නෙවෙයි වගේනෙ අප්ප. පුතාගෙ ගෙයි වැඩ කරන්නෙත් නෑ මගෙ හිතේ…”

“නෑ අත්තම්මා…මං නිකං බලල යන්න කියල ආවෙ…”

“බලල යන්න ආවයි කිව්වෙ ගේ ද..”

ඒ හඬ තුෂී ගේ ය. ඇය ආලින්දයත් ඉස්තෝප්පුවත් අතරේ සිනා සිසී උන්නා ය. මා යටි තොල සපා ගෙන බිම බලත්දී යුගාන්ත ලස්සන සිනහවක් නගනවා ඇස් කොනට හසු විය.

“ඒවත් කියන්න බෑ තමයි. මෙහෙත් ගෑනු ළමයි දෙන්නෙක්ම ඉන්න නිසා..”

අත්තම්මා ත් ඒ විහිළුවට සම්මාදම් වෙත්දී මා සීතල වී ගෙන එනවා මට දැනිණ.

“දෙන්නෙක් හිටියට ඔය අපිව බලන්න එන ගමනක් නෙවෙයි කියලනං ෂුවර් අත්තම්ම”

මම තුෂී ට රවන්නට බැලුවෙමි. ඇය වැරදීමකින් වත් මදෙස නො බලන්නට ප්‍රවේසම් වූවා ය.

යුගාන්ත නැවත වතාවක් අර ලස්සන මන්දස්මිතය හෙළුවේ ය.

“ඒකත් එහෙමද…”

අත්තම්මා එහෙම කියනුත්, සියලු නෙත් මවෙත යොමු වෙනුත් මට දැනුණේ ය. මා කෙතරම් අපහසුතාවයකට පත් ව සිටියේ ද යත් හිස ඔසවා ගන්නට බැරි සෙයක් දැනෙන්නට වූයේ ය.

“මං සීයව ඇහැරවගෙන එන්නංකො. තේ බොන්නත් ඕනනෙ”

කියමින් අත්තම්මා යළිත් කාමරය දෙසට ගියේ අපට කතා කරන්නට දෙයක් වේ නම් ඊට ඉඩ සලසා දෙන්නට කියා මම සිතමි.

“පිස්සුද…”

ඈ ගිය ගමන් මම තුෂී ට කඩා පැන්නෙමි.

“මන්දා. ඇයි ඕගොල්ලන්ට ඒ වගේ දැනෙනවද…”

ඈ එසේ ඇසූ තාලයට මට සිනා නොවී බැරි විය.

“මේ…හිනා වෙවී ඉඳල හරියන්නෑ හරිද…අපිට කේක් ඕනෙ”

එවර තුෂී අල්ලා ගත්තේ යුගාන්තවයි.

“කේක්…”

“ඔව්”

“හේතුව…”

“අනේ…හේතුව දන්නැති චූටි බබා”

මම සිනහව ගිලගෙන සිටියෙමි.

“ඇත්තටම මන්නං දන්නෑ කේක් දෙන්නවත් කේක් කන්නවත් හේතුවක්. අහන්නකො ඔයාගෙ යාළුවගෙං එහෙම හේතුවක් තියනවද කියල”

මමත් තුෂීත් මූණෙන් මූණ බලා ගතිමු.

“එයා එහෙම හේතුවක් තියෙනව කියනවනං මං ඔයාට ගෙනත් දෙන්නංකො පෙරේරා ඇන්ඩ් සන්ස් එකම හරි”

ටික වෙලාවක් අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලූ තුෂී, එක්වර ම ‘බකස්’ ගා සිනහ වූවා ය. මම සිනහව තද කර ගෙන වෙනතක් බලා ගතිමි.

“ඒකත් ඇත්ත තමයි. හැබැයි ඔයා අහල නැද්ද යුගාන්ත කතාවක්. කෙල්ලො බෑ කියන්නෙ හා කියන එකට. කෙල්ලො එපා කියන්නෙ ඕනෙ කියන එකට…”

“ඒකත් එහෙමද…එහෙනං ඉතිං කේක් දෙන්න වෙයි නේ”

මගේ වත ලජ්ජාවෙන් පුපුරු ගසමින් තිබෙන්නට ඇත. තමන් අසල ම හිඳ දෙදෙනෙකු තමන් ගැන කතා කරත්දී මුණිවතින් එදෙස බලා ඉන්නට වීම කෙතරම් අපහසුවක් දැයි මම පසක් කරමින් සිටියෙමි.

ඒ තරම් මිහිරි වූ හැන්දෑවක් ඊට පෙර මගේ ජීවිතය ට උදා වී නො තිබුණ සෙයින්, ඒ සන්ධ්‍යාව මගේ මතක ලෝකයෙහි සනිටුහන් ව තියේ. සීයා ත් අත්තම්මා ත් යුගාන්ත ත් තුෂී ත් මම ත් ඉතාමත් ප්‍රීතිමත් ව සිනහ වෙමින් හා කතා කරමින් තේ බීවෙමු. කවුරුත් දන්නා රහසක් එළි පිට කතා නො කරන බවක් මට දැනුණේ ය. එය රහසක් ව පැවතියේ මට පමණක් සේ ය.

“ඔයා කැමතිද කියල විතරක් හරි කියනකල් මං බලං ඉන්නව”

සමු ගන්නට මොහොතකට පෙර, යුගාන්ත මිදුල මැදදී මට කීවේ ය. ඒ වෙලාවේ වැස්ස තුරල් කොට, මන්දාරම පමණක් තුරුලු කර ගෙන අහස බුම්මා ගෙන අප දෙස බලා සිටියේ ය. කඳුකරයේ බඳු පිනි වැස්සක් අප මත පතිත වෙමින් තිබුණේ ය. නමුත් මා සීතල ව සිටියේ පරිසරයේ වූ සිසිලස හින්දා ම නොවේ.

“අත්තම්මල මොනා හරි හිතුවද කියල මට බයයි අයියෙ. තුෂීව මං අල්ලගන්නංකො”

“අත්තම්ම දන්නව”

“දන්නව කිව්වෙ…”

“අත්තම්මටයි සීයටයි මං කිව්ව මගෙ අදහස. ඔයා කැමතිනං එයාලගෙ අකමැත්තක් නෑ කියල කිව්ව”

“අයියෝ…”

“මට දැනෙනව ඔයාගෙ අකමැත්තක් නෑ වගේ”

“කුසල් ගැන මට බයයි අයියෙ”

“කුසල් නෙවෙයි. අනිත් හැම කෙනෙක් ගැනම බලා ගන්න මට පුළුවන්. ඒකට ඔයාගෙ අකමැත්තක් නැත්තං”

සුළඟත් අමුතු ගීයක් මුමුණමින් අප වට දැවටුණේ ය. හීන් නිලි වැස්ස මුතු වැස්සක් සේ පා ව ආවේ ය. යයුගාන්ත ගේ දෑස්, මන්දාරම් අහසේ ඈත කොනක දිළිසෙන තාරකා යුග්මයක් සේ මට පාර කියමින් මා මත්තේ පායා තිබිණි. මම කතා කරන්නට වචන සොයා ගත නො හැකි ව මං මුලා වී සිටියෙමි.

“අකමැත්තක් නෑ නේද…”

ඔහු වචනය කටට ම දී ඇසුවේ ය. එය මට පහසුවක් වූයේ වචන නොමැති ව ම කතා කළ හැකි වූ නිසාවෙනි. මම ‘ඔවු’ යි හඟවන්නට හිස සැළුවෙමි. ඒ ඇස් වල මා හොයමින් සිටි සෙනෙහස් හැඟීම මට හැඳින ගත හැකි විය.

“පොද වැටෙනවනෙ…ඇතුළට යන්න..”

යුගාන්ත කතා කළේ පොඩි දැරියකට වාගේ ය.

හදවතේ ඈත කොනක රිදුමක් ඇති විය. මට තාත්තා සිහි විය. තාත්තා වගේ තමන් ගේ රැකවරණය ගැන හිතන පිරිමියෙකු යනු හැම කෙල්ලක ගේ ම ජීවිතයේ නො මියෙන ප්‍රාර්ථනාවයි.

මා ගෙට ආවේ ලෝභී හැඟීමකිනි. කාමරයට ගොඩ වෙත්දී තුෂී උගුර පෑදුවා ය.

“මොකද…කක්කල් කැස්සද…”

“මොකක් හරි වෙලා වගේ”

“මොනා වෙන්නද…”

“බ්ලෂ් වෙලා තියන විදිහෙන්නං හා කියල වගේ”

ජනේල වීදුරුවෙන් පේන මන්දාරම් අහසට මම සිනහවක් පා කොට හැරියෙමි. තුෂී දිවවිත් මා දැඩි ව වැළඳ ගත්තා ය.

“වෙන්න ඕන මොකද්ද කියල ඉරණම හොඳටම දන්නව කියන්නෙ ඒකනෙ. මට හරිම සතුටුයි ගයා”

“මං දන්නව. එක බඩ වැල කඩාගෙන ඉපදුණෙ නැතත් ඔයා සහෝදරියක්”

“මේකනං සෙලිබ්‍රේට් කරන්න ඕන හරිද…මං කියන්නද…අපි සීතාවක බොට්නිකල් ගාඩ්න්ස් ගිහිංම සෙලිබ්‍රේට් කරමු. අත්තම්මයි සීයයි එක්කම”

ඉරණම කුමක් කරන්නට හදනවාදැයි මම නො දැන උන්නෙමි. කුසල් හමු වූ වෙලාවේත් මා ඉරණමෙහි කැමැත්ත කුමක් දැයි නො දැන බලා සිටියා විතර ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content