කියවන්න පොතක් – කන්ද උඩ ගින්දර

“පරිවාර කන්‍යාවියන් විසින් වට කරනු ලදුව වාසල මුල්ලේ වකුටුවී කන්තල වසා සිටි ප්‍රමිලා හැරී බලද්දී දොර අභියස සිටි යුධ වීරයාගේ උදාර පෞරුෂ ලීලාව ඕ දැක ගත්තාය .

එතරම් ඖදර්ය පෞර්ෂයක් ඇය දස්කොන් කෙරෙන් කවරදාවත් දැක තිබුණේ නැත .

හේ කවියෙකි.
නිවුණු මිනිසෙකි.

රජුටත් ප්‍රමිලා ටත් සිටි එකම කල්‍යාණ මිත්‍රයා දස්කොන් ය .මහරජ අද මාලිගාවේ නැත.
දස්කොන් මාරාන්තික සටන් කරුවෙකු වී දිවි දෙවෙනි කොට කුපිතයන් හා සටන් කළේ තමන් වෙනුවෙන් නොවේ දැයි ප්‍රමිලා කල්පනා කළා ය .ඕ නැගී සිටියා ය.දස්කොන් වෙත වේගයෙන් දිව ගියා ය.ප්‍රමිලා දැඩිව දස්කොන් වැළඳ ගත්තා ය.”

  • කන්ද උඩ ගින්දර – 283 පිට-

ජැක්සන් ඇන්තනි මහතා කලකට ඉහත දී කන්ද උඩ ගින්දර – දස්කොන් නමින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කළ හැකි ඔබට මතක ඇති. ඒ අපූර්වත්වය විඳි නොවිඳි සියල්ලන්ට ම ඔහුගේ කන්ද උඩ ගින්දර කෘතිය හරහා ඉතිහාසය වෙත ඇවිද යන්නට පුලුවන්.

මේ ඓතිහාසික නවකතාවට වස්තු බීජ වන්නේ ලංකා ඉතිහාසයේ අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රජ සමය යි. මහනුවර යුගය ලංකාවේ අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස ඒ කාලය හැඳින්වූ බව ඔබ අසා ඇති.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ( කුණ්ඩසාලේ කුමාරයා ) දස්කොන්, මොණරවිල කුමාරිහාමි , ප්‍රමිලා දේවිය ඉතිහාසයේ අපට හෙළි කළ සහ නොකළ කතා දැන ගන්න ඔබ මේ කෘතිය කියවා බැලිය යුතුමයි. කන්ද උඩ රට පැවති දේශපාලන ගැටුම් , චාරිත්‍ර වාරිත්‍ර , අන්‍යාගමික බලපෑම් ගැන පමණක් නොව රාජකීය මාලිගාවේ රන් දෝලිය සහ යකඩ දෝලිය අතර ඇති වෙනස්කම් සහ වරප්‍රසාද ද කාන්තාවන් ලෙස ඔවුන් ඒවා දරා ගත් ආකාරය ද සංවේදි ලෙස විවරණය කරන්නට “කන්ද උඩ ගින්දර කෘතිය” සමත් ව තිබෙනවා.

අප දන්නේ ඉතිහාස කතා පමණයි. නමුත් ඒවා තුළ සැබෑ මිනිසුන් ජීවත් වුණා.ආදරය ද වෛරය ද දරා ගත්තා.අරමුණු සහ වගකීම් වෙනුවෙන් ජීවත් වුණා. සංවේදනා දරා ගත් ඒ අතීත මිනිසුන්ගේ ජීවිත ගැන විමසා බලන්නට කන්ද උඩ ගින්දර ඉතා වටිනා කෘතියක් බව නොකියාම බැහැ.

මේ කෘතිය දස්කොන් ප්‍රමිලා ‘ කතා වස්තුව ලෙස හැඳින්වූ නමුත් මෙහි කුණ්ඩසාලේ හා මොනරවිල කුමාරිහාමි ‘ ආදර අන්දරයට විශාල තැනක් හිමිව තිබෙනවා.ආදරය විඳගන්නටත් රැක ගන්නටත් මිනිසුන් තුළ තිබූ සමත්කම් සහ අසමත්කම් ඒ හරහා අප හමුවට එනවා.

ජැක්සන් ඇන්තනි මහතා දක්ෂ රංගධරයෙකු පමණක් නොව කතාන්දර කීමේ සමතෙකු බව දැන ගන්නට ඔහුගේ ලේඛනයේ ඇති විශිෂ්ඨ බව වටහා ගන්නට අතීතය දිග ඇවිද යන්නට පමණක් නෙවෙයි, ආදරය නිසා දරා ගන්නා ගැහැනු අතීතයේ පවා ජීවත් වූ බව දැන ගන්නට

“කන්ද උඩ ගින්දර” ඔබේ පොත් රාක්කයට එකතු කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles