පොඩ්ඩන්ට හැදෙන පොඩි බඩගින්නට ඉක්මනින් සකසා දෙන්න පුලුවන් රසවත් කෑම වර්ග.

පොඩිත්තන් කැමතියි විවිධ රසයෙන් යුත් කෑමවල රසය විඳින්න .නමුත් පාසලේ දිවා ආහාරය වෙනුවෙන් දෙමාපියන් බොහෝ විට ලබා දෙන්නේ එක ම ආකාරයේ ආහාර වර්ග .උදෑසන පහසුවෙන් පිළියෙළ කර ගැනීමේ හැකියාව නිසාත් එය සිදු වෙනවා .ඉතින් රසවත් ,වෙනස් ආකාරයක වගේ ම ,පහසුවෙන් පිළියෙල කරගත හැකි මේ ආහාර වට්ටෝරු කිහිපය ඔබේ සිඟිත්තාගේ මුවගට සිනහවක් රැගෙන ඒමට වගේම ඔහුට අවශ්‍ය පෝෂණය ලබා දීමටත් පොහොසත් වේවි.

1.චීස් මිශ්‍ර අර්තාපල් ස්ලයිසස්

අවශ්‍ය දේවල්

  • තම්බා ගත් අල
  • චීස් ටිකක්
  • සිහින් ව ලියා ගත් ගොටුකොළ
  • සිහින් ව ලියා ගත් ළූණු
  • ලුණු ටිකක්
  • ගම්මිරිස් ටිකක්
  • කඩල පිටි ටිකක්

සාදන ක්‍රමය

මේ සියල්ල ම එකට හොඳින් මිශ්‍ර කරගන්න.රස පමණට ලුනු දමන්න .පොඩිත්තාගේ තරමට ගම්මිරිස් ටිකක් එකතු කරන්න .දැන් කුඩා පැතලි ආකාරයේ බෝල සකසා ගන්න .( බිස්කට් ලෙස)
ගැඹුරු තෙලේ බැදීම හෝ අවන් එකේ බේක් කර ගැනීමටත් සුදුසු යි.පොඩිත්තන්ගේ ඉල්ලුම වැඩි හරිම රසවත් ආහාරයක්.

2.ක්ෂණික පීට්සා

අවශ්‍ය දේවල්

  • පාන් පිටි හෝ පාන් පෙති කිහිපයක්
  • බේකින් පවුඩර් ටිකක්
  • චීස් සහ බටර්
  • ලුණු සහ තක්කාලි සෝස්
  • කැමති ආකාරය ක කුඩාවට කපාගත් එළවළු

සාදන ක්‍රමය

මේ සඳහා පාන් පෙති හෝ සාමාන්‍ය රොටී මිශ්‍රණය භාවිතා කරන්නට පුළුවන් .
රොටි මිශ්‍රණයේ සකසනවා නම් පාන් පිටි ටිකකට බටර් ලුණු දමා වතුර සමග හොඳින් අනා කුඩා බෝල සාදා පැතලි කර ගන්න .
බේකින් පවුඩර්, ඔබ ගන්නා ප්‍රමාණය අනුව අවශ්‍ය පමණට මිශ්‍ර කරන්න.
දැන් එම රොටිය හෝ පාන් පෙත්ත ගෙන එහි තක්කාලි සෝස් තවරන්න .
ඒ මතින් චීස් තට්ටුවක් අතුරන්න.ඔබ කැමති විවිධ වර්ගයේ එළවළු කිහිපයක් උඩින් අතුරන්න .මතක තියා ගන්න මේ අපේම නිර්මාණයක් නිසා ඕනෑම දෙයක් එකතු කරන්නට පුළුවන්.නැවතත් උඩින් චීස් තට්ටුවක් දමන්න.දැන් අංශක එකසිය පනහක් උෂ්ණත්වයේ විනාඩි තිහක් පමණ බේක් කර ගන්න .

3. පළතුරු පුඩිම

අවශ්‍ය දේවල්

  • පාන්
  • නැවුම් කිරි ,සීනි
  • ස්ට්‍රෝබෙරි අඹ කෙසෙල්

නැවුම් කිරි ,පාන්,සීනි සමග මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
එය බේකින් ට්‍රේ එකකට දමා සිහින්ව කැපූ පලතුරු තැනින් තැන මිශ්‍ර වන සේ අතුරා ගන්න .සෙල්සියස් අංශක 150 උශ්ණත්වයට විනාඩි තිහක් පමණ බේක් කරන්න

4.සොසේජස් ෆින්ගර්ස්


අවශ්‍ය දේවල්

තෙලෙන් පිස ගත් සොසේජස් කරල් කිහිපයක් පාන්පිටි , ලුණු බටර් ගොටුකොල

සාදන අයුරු

පාන්පිටි,බටර් ,ලුණු දමා මිශ්‍ර කර අතේ නොඇලෙන පදමට සකසා ගන්න.කුඩා කොටස් වලට වෙන්කර ,රෝලින් පින් එකකින් සිහින් රොටියක් ලෙස තුනීකරගන්න.හතරැස් කැබලි වෙන්කර ගෙන එක කැබැල්ලකට සොසේජස් කරලක් දමා ,ගොටුකොලයක් ද තබා එය රෝලක් ලෙස ඔතා ගන්න.ගැඹුරු තෙලේ බැදගන්න.
අවශ්‍ය නම් ආහාරයට ගැනීමේදී සෝස් ද සමගින් පිළිගන්වන්න.

ඉහත සෑම ආහාරයක් ම ඔබට අවශ්‍ය ප්‍රමාණය ට සකසා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles