සමහරවිට ආදරේ කියන්නේ ඒකට වෙන්න ඇති – ’96

රාම්, මුහුණ පුරා ඝණ රැවුලක් වවා ගත් මැදිවියේ ඡායාරූප ශිල්පියෙක්.ඔහු තමන්ව අමතක කර ජීවිතය ගෙවන්නෙක් බව ඔහු දකින කෙනෙකුට නොසිතෙන්නට හේතුවක් නැහැ. දිනක් ඉතා අහම්බයකින් ඔහුට තමන්ගේ පාසල ළඟින් ගමනක යෙදෙන්නට සිදු වෙනවා.

සියල්ල ඇරඹෙන්නේ එතැනින්.

නැහැ!!
කලකට පෙර සිදු වී අවසන් වූ සියල්ල ඔහු නැවත සිහි කරන්නේ එතැන් පටන්.

නැහැ!!
ඔහු කිසිදා අමතක නොකළ ඒ කතාව ඔහු අපට කියන්නේ එතැන් පටන්.

මෝටර් රථයෙන් බැස පාසල පුරා ඇවිදිමින් පැරණි මතක අලුත් කර ගන්නා රාම් ඔහුගේ පැරණි මිතුරන් සමඟ එක් වී get together එකක් සංවිධානය කරනවා. බොහෝ කාලයකට පසු ’96කණ්ඩායම යළි හමු වෙනවා.

ඒ අපූරු හමුවේ රාම් සිටින්නේ ප්‍රීතියෙන්. නමුත් වරින්වර ඔහු පෙළන තිගැස්ම ඔහුට කම්පනයක් වන මොහොත එළැඹෙනවා.

“රාම්, ජානු එනවා..”

ජානු, රාම්, සතිස්, මුරලි සහ සුභා කුඩා කල එක ගැංසියකට අයත් හොඳම මිතුරන්. ඉතා මනරම් ව ගී ගයන, බුද්ධිමත් දැරියක වන ජානු ගැන ඔවුන් වයසින් වැඩෙද්දී රාම්ගේ සිතේ ආදරයක් හට ගන්නවා.මිතුරන් මොනතරම් බල කළත්, ඔහුගේ හැඟීම් ඔහුට පීඩාවක් වුවත් රාම් ඒ ආදරය ගැන ජානුට නොකියන්නේ මිතුරුදම පවා අහිමි වේයැයි යන බිය නිසාමයි.

එහෙත් රාම් ජානුගේ අප්‍රකාශිත ප්‍රේමය බවට පත් වී අවසන්. ඇය ඔහුට ප්‍රේම කරමින් පසු වනවා. යොවුන් වියේ අප්‍රකාශිත ප්‍රේමයේ මනරම් බව විඳිමින් ඔවුන් පසුවන්නේ සතුටින් සහ තිගැස්මෙන්. ජානු ඇයට ආදරය ප්‍රකාශ කරන්නට අවස්ථා ගණනාවක් රාම්ට උදා කර දුන්නත් ඒ හැම මොහොතක ම ඔහු අඩියක් පස්සට තබනවා. පාසල් නිවාඩුව ලබා දෙන දිනයේ පවා ආදරය සිතේ තබා ගනිමින් ඔවුන් වෙන්ව යනවා.

පාසල් නිවාඩුවෙන් පසු රාම් යළි පාසලට පැමිණෙන්නේ නැහැ. පවුලේ හදිසි තීරණයක් මත ඔවුන් ගම හැර දා ගොස් අවසන්. ජානුට ජීවිතයේ සතුට ගිලිහ යන්නට පටන් ගන්නවා. කවදා හෝ රාම් ඈ සොයා එතැයි ඇය විශ්වාස කරනවා. වයසින් වැඩී ගොස් දෙමාපිය තීරණ මත විවාහ වන්නට සිදු වන විට පවා ඈ ඔහු දකින්නට පතනවා. නමුත් ඔවුන් යළි හමු වන්නේ නැහැ. 96′ මිතුරු හමුව තෙක් ම යළි හමු වන්නේ නැහැ.

ජානු සිංගප්පූරුවේ සිට මිතුරු හමුවට එන්නේ යළි රාම් දකින්නට බලාපොරොත්තු ඇතිව නොවේ. නමුත් ඔවුන් යළි මුණ ගැසෙනවා. ජානු දකින්නේ ඝණ රැවුලක් වවාගත් මැදිවියේ පිරිමියා නොවේ.කෝල ලෙස සිනා නගන කෙට්ටු කොලුවා වයි.ඇය තවමත් ඔහු දකින්නේ ඒ රූපයෙන්.

මොනතරම් සාමාන්‍ය ලෙස කතාබහ ඇරඹුවත් රාම් විවාහ වී නැති බව දැනගත් වහා සියල්ල හොඳින් අවසන්ව නැති බව ජානු වටහා ගන්නවා. සුභා සහ ජානු ඇරලවා යන්නට යන රාම්ට ඇමතුමක් දෙන්නට ජානු හිතන්නේ එනිසා

“රාම්,ඔයා ගොඩක් දුර ගිහින් ද?”

“ජානු, මං තවම ඔයා බැහැලා ගිය තැනමයි..”

ඔවුන් අතීතය දිග හරින්නේ එතැන් සිට. ඔවුන්ව මඟ හැරුණු වාර ගණනත් ඒ මඟ හැරීම් නිසා ජීවිතයට ඉතිරි වූ වේදනා ද ඔවුන් එකිනෙකාට පවසා ගන්නේ ඉන්පසුවයි.නිවැරදි ව කිවහොත් චිත්‍රපටිය හරියටම ඇරඹෙන්නේ එතැන සිටයි.

ඒ මතක දිග හැරීම බොහෝ වේදනාකාරීයි.එකම සිපගැන්මක් හෝ සරාගී දර්ශනයක් නොමැතිව ගලා යන චිත්‍රපටයේ හැම තත්පරයක ම තැවරී ඇත්තේ ප්‍රේමය ම පමණයි.

වසර විසි දෙකකට කලින් පවසන්නට නොහැකි වූ ආදරය දැන් පැවසීම තේරුමක් ඇති දෙයක් නොවන බව ඇත්තක්. නමුත් ආදරය කිසි දිනක මිය යන්නේ නැහැ.අප්‍රකාශිත ප්‍රේමයක වේදනාවට විරහව පවා පැරදෙන්නේ ඒ හේතුව නිසාමයි.

ප්‍රේමය මඟ හැරී යනවා.ප්‍රේමයෙන් මඟ බලා හිඳින්නට සිදු වෙනවා.නමුත් ප්‍රේමය යනු පරිත්‍යාගය මිස වෙන කිසිවක් නොවෙයි.

මතක දිග හරිමින් ඒ අතීතයේ එකිනෙකා ගිලිහුණු තැන් සිහි කරමින් හිඳිද්දී එකතැනක දී රාම් ජානුගෙන් ප්‍රශ්නයක් අහනවා.

“ඔයා සතුටින් නේද ඉන්නේ?”

ජානු දෙන උත්තරය බොහෝ තරුණියන්ට තමන්ගේ අප්‍රකාශිත ප්‍රේමයට, ප්‍රථම ප්‍රේමයට දිය හැකි එකම පිළිතුර මිස වෙන මොකක්ද?

“සතුටින් නැතත් සැනසීමෙන් ඉන්නවා.”

හැම ජානු කෙනෙකුට ම රාම් ව මඟ හැරෙනවා. ආදරය කියා ගන්න ඉඩ නොලැබීම නිසා, ඒ ආදරය අතරමඟ නතර කරන්න සිදු වීම නිසා ජානුට රාම් ව මඟ හැරෙනවා. ඇයට කොතනක හරි ජීවිතේ ආයේ පටන් ගන්න සිද්ධ වෙනවා.

“එයා මාව තේරුම් ගන්නවා.මට ඇහුම්කන් දෙනවා. ඇත්තටම එයා සුන්දර මනුස්සයෙක්.”

සමහරවිට රාම්ට වඩා බොහොම සුන්දර මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ජානුට දෛවය ඉඩ දෙන්න ඇති. ඔහු හොඳ තේරුම් ගැනීමක් තියන, හොයා බලන අපූරු මනුස්සයෙක් වෙන්න ඇති.

ඒත් හිත කම්පනය කළ දෑස මතක් වෙනකොට ජානුට සැනසීමෙන් මිසක් සතුටින් ඉන්න පුලුවන් ද?

සතුට සහ සැනසීම කියන්නේ කාරණා දෙකක් කියලා තේරුණත් ජානුට ආයේ හැරෙන්න පුලුවන් ද?

මොනතරම් මතක දරාගෙන වුණත් අර “සුන්දර මනුස්සයා” ළඟට ආපහු යන්න ම වෙනවා. ඒ ඉරණම ද වෙනයම් දෙයක් ද කියන්න පැහැදිලි නැතත් ඇය ඒ වේදනාව දරා ගන්නවා. ආපසු හැරී විත් රාම් වැළඳගෙන අතීතය නිවැරදි කරගන්නට ඈ උත්සාහ ගන්නේ නැහැ. ඔහුගෙන් ගිලීහී ඇයට පැල වන්නට සිදු වුණු බිමට ඇය නැවත යනවා.

ඇගේ මතකයන් තැන්පත් කළ සූට්කේසයේ අතුරන්නට රාම් ට තවත් මතකයක් පමණක් ඉතිරි වෙනවා.

ඔහු දරා ගන්නවා. වසර විසි දෙකක් දරා ගත් ප්‍රේමයේ වේදනාව අලුත් කර නැවත දරා ගන්නවා.

ඇයට යළි හැරී එන්නට බැරි නම් ඔහුට ඉතිරි වන්නේ දරා ගැනීම මිස අන් කිසිවක් නෙවෙයි. සමහරවිට ආදරේ කියන්නේ ඒකට වෙන්න ඇති.

2018 වසරේ නිකුත් වූ ’96 චිත්‍රපටිය රචනා කර අධ්‍යක්ෂණය කරන්නේ සී ප්‍රේම් කුමාර් විසින්.විජේ සේතුපති සහ ට්‍රීශා විසින් රාම් සහ ජානුට පණ පොවනවා. ’96 අද දක්වා ම අතිශය ජනප්‍රිය ප්‍රේමණීය සලරුවක්.

මිනිත්තු එකසිය පනස් අටක් පුරා ප්‍රේමයේ හද පාරවන වේදනාව විඳ ගන්න ඔබ මේ චිත්‍රපටිය මඟ නොහැර නැරඹිය යුතු වෙනවා.

ප්‍රේමයෙන් මඟ බලන්නට ’96 ඔබට අපූරු ප්‍රේමණීය පාඩමක් උගන්වාවි.

Related Articles

Don't Miss


Latest Articles