පාට සේදුනු වත්සුණු – 29

කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්‍රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම දැන උන්නෙමි. මගේ කැමැත්තකට ඔවුන් එකඟ බව සීයා කී බවත් යුගාන්ත මට කීවේ ය. නමුත් මේ මොහොත මා අපේක්ෂා නො කළ එකකි.

“අඩේ ඒ කියන්නෙ අපේ කෙල්ල කැමැත්ත දීල වගෙයි”

සීයා එහෙම කියමින් ම සිය සුපුරුදු සිනහව පටන් ගත්තේ ය. යුගාන්ත ඉදිරි කැඩපතින් මදෙස බලනවා මම දුටිමි. මා පත් ව සිටි අසරණකම ඔහු තේරුම් ගන්නට ඇත.

“කැමැත්ත දුන්නමත් නෙවෙයි සීයා. බලෙංම වගේ මං වචනෙ ගත්තා”

“උඹ තමයි බං දවසකටවත් කොල්ලා. බොහොම හොඳයි. බොහොම හොඳයි. මං හරි කැමතියි ඉලන්දාරියගෙ පිරිමි කමට. එහෙම තමයි ඉන්න ඕනෙ”

“මොනා වුණත් දැං මගෙ හිතටත් සැනසීමයි. යුගාන්ත පුතා අපේ කෙල්ලව පරිස්සමෙං බලාගනී කියල අපි විස්වාස කරනව”

අත්තම්මා මගේ අතක් පිරිමදිමින් කීවේ හැබෑ සැනසීමකිනි. අම්මාටවත් නො දැනුණ බරක්, පහුගිය කාලයේ දී අත්තම්මා මා හින්දා උහුලා ගත් බව මම දැන සිටියෙමි.

“ඕක වෙයි කියල මන්නං හිතුවෙ ඉස්සෙල්ලම අත්තම්මලා ගෙ ගෙදරට ආපු දවසෙමයි”

තුෂී මැද්දෙන් පනිත්දී මම දෙතොල් තද කොට පියා ගෙන ඉවත බලා ගතිමි. යුගාන්ත ගේ ඇස්, තාරකා සේ කැඩපත තුළින් දිළිසෙමින් තිබිණි.

“මං හූනා කිව්ව වගේ කියන්නං. මේකි මෙහෙ නාවානං ඔහොම දෙයක් නොවෙන්නත් තිබුණා. ශුවර් එකටම කපුකම කරන්න ඇත්තෙ මේකි”

“අපි කරපු කපු කමක් වැරදිල නෑ සීයා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි”

පරිසරය සේ ම හිතේ වූයේ ත් සිහිලැල් හැඟීමකි. අත්තම්මා හා සීයාත් කාලයකින් සතුටින් සිටින බව පෙනිණ. මට කිහිප වරක් ම කුසල් සිහි නො වුණා කීවොත් මුසාවකි. එවන් අවස්ථා වල කිසියම් තිගැස්මක් ඇතුල් හද ගැබ තුළ ඇති විය. ඔහු කෙරේ ප්‍රේමයක් මා තුළ නොමැති බව විශ්වාස ය. නමුත් කුසල් හා මා අතර වාචික සම්මුතියකින් වෙන්වීමක් සිදු වී නොමැත. කවර මොහොතක හෝ ඔහු යළි කතා කර මට බලපෑම් කරන්නට බැරි නැත.

“මං දන්නව ඔයා සතුටෙන් ඉන්න හැදුවත් හිත ඇතුළෙන් ඉන්නෙ දෙගිඩියාවෙන් කියල”

අපේ තාවකාලික නවාතැනේ සිසිලැති මිදුලේ තනි ව කතා කරන්නට ලැබුණ ගමන් යුගාන්ත මට කීවේ ය.

“ඔයා සාස්තර කියන්නත් දන්නවද…”

මම සැහැල්ලුවට ගෙන විහිළුවක් කළෙමි. ඔහු මදෙස බලා ගෙන ම හිඳියදී මගේ ව්‍යාජ සිනහව තුනී වී යන ලදී.

“අපේ හිත් වලට හුඟක්ම ලං වෙන අයගෙ හිතිවිලි අපිට දැනෙන්න ගන්නව ගයාත්මි. ටෙලිපති කියල දෙයක් විද්‍යාත්මකවත් පිළි අරංනෙ තියෙන්නෙ. අනික ඔයා හිතන්නකො. කොච්චර දුරක ඉන්න කෙනෙක්ගෙ කටහඬක් වුණත් මේ අතේ තියෙන ෆෝන් එකෙන් අහන්න පුළුවන් නෙ. මොකද වයර් එකක් දිගේවත් එනව කියලද…මේ විශ්වය තරංග වලින් එකිනෙකට බැඳිල තියෙන්නෙ. හැබැයි අපිට තේරෙන්නෙ නෑ. අපිට දැනෙන්නෙ වැඩියෙන්ම අපිට ළඟ අයව විතරයි. ඒත් එහෙම දැනෙන්න අපිට ලොකු ඕන කමක් තියෙනවනං විතරයි”

“ඔයා හරි. කුසල් ගැන මං තාමත් බයෙං ඉන්නෙ. මට බයයි එයා අපි අතරට ඇවිත් ප්‍රශ්න ඇති කරයි කියල”

“හ්ම්..මං හිතුව”

යුගාන්ත සුසුමක් හෙළුවේ ය.

“එයා දාන ප්‍රශ්න අපි අතරෙ ප්‍රශ්න කර ගන්න තරංනං මං දුර්වල නෑ. ඒත් ඔයාගෙ හිතට වදයක්නං ඔයා ෆෝන් නම්බර් එක චේන්ජ් කර ගන්න. ෆේස්බුක් අකවුන්ට් එකත් ඩිඇක්ටිව් කරල…අලුත් එකක් හදා ගන්න”

අනවශ්‍ය මිනිසුන් අපේ ජීවිත වලින් ඈත් කොට තැබිය යුතු වග මමත් වටහා ගෙන සිටියෙමි. මිතුරන් ය කියන්නේ පන් දහසක් පමණ වන ෆේස් බුක් මිතුරු කැල ම නොවේ. අපේ ජීවිතයට ළඟ මිතුරන් අතළොස්සක් හිටියත් ප්‍රමාණවත් ය. කොටින් ම පෞද්ගලික ජීවිතය යනු ෆේස් බුක් ජීවිතය නොවන බව දැන් මම වටහා ගෙන සිටිමි.
අතීතයේ දිගින් දිගට ම ජීවත් වීම නිෂ්ඵල වූවක් බවත්, අනාගතය ගැන සිහින මැවීම පසෙක ලා වර්තමානයේ ජීවත් විය යුතු බවත් සොබා දහම හා අත්දැකීම් විසින් මට පසක් කොට දුන්නා සේ ය. මේ මොහොත යහපත් ව හා සතුටෙන් ගත කිරීම මම ජීවිතයේ තේමාව කොට ගතිමි. අනාගතය ගැන මා දන්නේ නැත. යුගාන්ත කියන්නේත් මට නො හිමි වස්තුවක් වන්නට වුව බැරි නැත. නමුත් ඔහු උදා කොට දුන් මේ මොහොතට පෙම් කරන්නට පටන් ගැනීම නිසා සැනසුම නිති මා ළඟ සරන්නට විය.
අප ගෙදර ආ ඉක්බිති අම්මා මට මූණ දී කතා කළේ නැත. දිනක් දෙකක් ගෙවෙන තෙක් ම මා කතා කළත් ඕ පිළිතුරු නොදී මගහැරියා ය. මම ඒ ප්‍රශ්න ගැනත් හිත බර කර ගන්නේ නැති ව සිටියෙමි. නමුත් අසංක ගේ අනවශ්‍ය අතපෙවීම් නම් මා නො රිස්සුම් කළ බව මුසාවක් නොවේ.

ඔහු බලයෙන් ම වගේ මගේ ජීවිතයට ගොඩ වෙන්නට උත්සාහ දරන්නට වූයේ ය.

“ඔයා හැම තිස්සෙම ගණං ගන්නෑ වගේ මං දිහා බලන්න එපා. මට හිතෙනව අපි දෙන්නට එකතු වෙලා මේ බිස්නස් එක සෑහෙන්න ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල”

මා පැළ වලට වතුර දමමින් සිටිත්දී මවෙත විත් ටික වෙලාවක් කැරකෙමින් සිටි අසංක කීවේ ය. මම කට කොනකින් අඩ සිනහවක් හෙළුවෙමි.

“ඔයාගෙ අම්මව බැන්ද එක ගැන මටත් මාත් එක්ක ප්‍රශ්න තියනව තමයි. ඒත් මං වෙලාවකට හිතනව එහෙම දෙයක් වුණ එකත් හොඳයි කියල. මොකද….මට ඔයාව හම්බවුණෙ ඒ නිසානෙ”

“මොනාද කියවන්නෙ…පිස්සුද ආ…”

ඒ නො රිස්සුම පාලනය කර ගන්නා හැටි මම නො දැන සිටියෙමි.

“හ්ම්…වෙලාවකට පිස්සු වගේත් තමයි”

“බල බල ඉන්න එපා එහෙනං. ඉක්මනට සයිකොලොජිස්ට් කෙනෙක්ට අපොයින්මන්ට් එකක් දාගන්න වෙයි”

ඔහු කතා නැති ව මා ළඟට විත් මගේ අතත් ස්පර්ශ වන සේ වතුර බටය අල්ලා ගත්තේ ය.

“මේ මොකද මේ…එහාට වෙන්න කරුණාකරල”

“ප්ලීස් ගයා…මාව තේරුං ගන්න බලන්න”

“යනවද යන්න මෙතනිං නැත්තං මං අම්මට කතා කරන්නද…අම්මේ…”

මා එසේ හඬ නගන කොට ම යුගාන්ත අප වෙත එමින් සිටියේ ය. මා සිටින අපහසුතාවය ඔහු මගේ මූණෙන් ම හැඳින ගන්නට ඇත. අසංක මගේ අත සහ හෝස් එක අත්හැරියත් එතැනින් ඉවත් ව නො ගියේ ය.

“ඇයි ගයාත්මි…මොකද්ද වෙන්නෙ මෙතන…”

මට කට අරින්නට ඉඩ ලැබුණේ නැත. කතා කළේ අසංක ය.

“ඇයි ඇයි කාටවත් මොකද..මේක අපේ ගෙදර. මේ අපේ කතාවක්. තමුං කවුද අපේ දේවල් වලට කට දාන්න”

“ගයා…නංගි මට ඇත්ත කියන්න. මොකද්ද සිද්ද වුණේ”

“මු..මුකුත් …නෑ අයියෙ”

මා එහෙම කීවේ ඔවුන් දෙදෙනා අතර ආරවුලක් වෙන එක වළකන්නට ය. ඒ වෙලාවේ යුගාන්ත සිටි ආවේගය මට නො වැටහුණා නොවේ.

“ඇයි ගයා මොකද..”

කියාගෙන අම්මා ත් අප වෙත ආවා ය. අම්මේ කියා මා කෑ ගැසු හඬට අත්තම්මා ද ඉස්තෝප්පුවේ සිට අප වෙත බැලුම් හෙළුවා ය.

“මෙන්න මේ යකාට ඕන දේකුත් නෑ එපා දේකුත් නෑ. හැම එකටම හොම්බ දාන්න එනව”

“මේ…මං බැලුවෙ ගයා කෑ ගැහුවෙ ඇයි කියලයි”

යුගාන්ත අසංක වෙත දබැරැඟිල්ල දිගු කළේ ය.

“මේ මේ…ඔයා කවුද අසංකට ඔහොම කතා කරන්න…”

අම්මා මැදිහත් වූයේ අතිශය අවිචාරවත් ව ය. යුගාන්ත කිසිත් නො කියා ඉවසා ගත්තේ ය.

“පාඩුවෙ යනවද මෙතනිං. ඔයාට අයිතියක් නෑ මේ හතර මායිමට ඇවිත් අපිට පාට් දාන්න. හරිද…”

“අම්මෙ”

මට තවත් ඉවසිය නො හැකි වූයේ ය.

“මෙයා මගෙ අතිං ඇල්ලුව. ඒකයි මං කෑගැහුවෙ”

මා කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙස යුගාන්ත අසංක ගේ ටී ෂර්ට් එකේ කරෙන් අල්ලා ගත්තේ ය. අත්තම්මා ත් සීයාත් හනි හනික අප වෙත එමින් සිටියහ.

“ගයාත්මිගෙ ඇඟිල්ලකටවත් අත තියන්න හිතන්නවත් එපා ආයෙත්. එහෙම කළොත් තමුසෙව මං ඉතුරු කරන්නෑ”

“කාගෙ හයියකටද ඕයි තමුසෙ ඔය කතා කරන්නෙ…අපේ දේවල් අපි බලාගන්නං. ණයට කහින්නැතුව යනව යන්න”

“ආන්ටි මේ…දන්නැත්තං දැං දැනගන්නකො. මං ගයාව මැරි කරන්න ඉන්නෙ. ගයා ගැන මෙයාට නැති අයිතියක් මට තියනව තමයි. දැං තේරුණානෙ…”

එවර ද යුගාන්ත ඇඟිල්ල දිගු කළේ අසංක දෙසට ය. අම්මා මට ද රවමින් අසංක ගේ අතකින් ඇද ගෙන මිදුල මැදින් යන්නට ගියා ය. මා සේ ම අත්තම්මාත් හුස්ම ගැනීම පවා අමතක කොට උන්නා කියා සිතමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content