කියවන්න පොතක් – ගිරිදේවි

තරුණයෙකුගේ යතුරු පැදියකට හදිසියෙන් රූමත් තරුණියක ගොඩ වෙයි. ඇය පලා යන්නියකි.
තරුණයාට ද කතාවක් ඇත. අඳුරු අතීතයක් ඇත.
තරුණියට ස්වකීය කතාන්දරය ඔහු සමඟ කියන්නට සිදු වේ.

මං මුලා වී ගිය තරුණිය රැකවරණය පතන්නේ ද ගැටුම් ඇති කරගන්නේ ද හෙටක් ගැන වගක් නැති තරුණයෙකු සමඟ.ගිරි දේවි නවකතාව ගොඩ නැගෙන්නේ ඔවුන් දෙදෙනාගේ අතීත සිදුවීම් පදනම් කර ගනිමිනි.

ආශා රූමත් යුවතියක වුවත් සමාජ මිම්මට අනුව පියෙකු නැති අවජාතක දැරියකි. ඇගේ මවට ඇය අනවශ්‍ය උපතකි. මව සහ දියණි බැඳීම වෙනුවට ඒ දෙදෙනා අතර ඇත්තේ වෛරය මිස අන් කිසිවක් නොවේ.

“මං එපා කියද්දී.. මං වැඳ වැටෙද්දී ඒකා මට කරදර කෙරුවෙ.. ඇයි ඉතිං මට බැරි මේක නැති කරන්ඩ..?”

අවිවාහක ගැබිණිය කෑගසා ඇසුවා ය. එහෙත් ඇය සාපරාධී දූෂණයක නියත ඵලය ගර්භාෂයෙහි උසුලාගෙන පුරා නව මසක් පෝෂණය කළ යුතු වූවා ය.

“හරිනං ඉස්පිරිතාලෙං මේක නැති කරන්ඩ එපැයි..”

නව යව්වනයෙහි දරු ගැබක් උසුලා සිටින්නට බල කළා වූ චාන්දනී රෝහලට ද පොලීසියට ද දෝෂාරෝපණය කළා ය.

කුස කළලය හැඳින්වීම ඇය භාවිතා කළේ මේක යන නාමයයි. ප්‍රාණය සහිත යමක් තමා තුළ සෙමින් වැඩෙන බව ඇය විශ්වාස නොකළ සෙයකි.

ආශාගේ මව චාන්දනී දියණිය පිළි ගන්නේ නැත. අත්තම්මා වූ සීතම්මා සමඟ ඇති දැඩි වන ආශා වෛරය තුරුළු කරගෙන වැඩෙන්නී ය. සමාජය සමඟ ගැටුම් ඇති කර ගන්නී ය. ආදරය, කරුණාව නොහඳුනන ඇය ඇගේ අයිතීන් උදුරා ගත් සමාජය සමඟ ද ඈට උපත දුන් මව සමඟ ද ඇගේ ජීව විද්‍යාත්මක පියා වූ නමුත් එය සඟවන දේශපාලඥයා සමඟ ද නිරන්තර කෝපයකින් දිවි ගෙවන්නී ය.

ඉතින් ඔවුන්ගෙන් මිදිය යුතු තැන,පලා යා යුතු තැන ඇය එයට නොපැකිළේ. නමුත් ගැහැනු දරුවෙකුට ජීවත් වීම කිසිසේත් ම පහසු නොවන සමාජයක ඈට එතැනින් එහා ජීවිතය ද පහසු වන්නේ නැත.

සඳුන් හමු වන්නේ ඒ පලා යන ගමනේ ය. ඔහු සිටින්නේ ද දැඩි අර්බුදකාරී තැනක ය.

“ඇයි මාමේ මේ?”

සඳුන් හැඬුම්බර හඬින් ඇසුවේ ය.

“මාමට කවුරුහරි ලොකු බොරුවක් කියලා..”යි නිර්දෝෂීභාවය ගෙන හැර පාන්නට උත්සාහ කළේ ය.

“කට වහපං..උඹ එක වචනයක් කතා කරන්ඩ ඕන් නෑ.. රස්සාවට යන්නෙත් නැතුව මෙතෙන්ට රිංගන්ඩ ලැජ්ජා නැද්ද? යකෝ ඒ උඹේ නැන්දා..”

සඳුන් හිඳින්නේ ද පලා යන ගමනක අතරමැද නතර ව ය.මේ තරුණ යුවල එතැන් පටන් ගොඩ නගා ගන්නා ජීවිතය ගිරිදේවි කෘතියට පදනම් වී ඇත.

ස්ත්‍රී දූෂණ නිසා හට ගන්නා කළල ගබ්සා කිරීමට නොදීමෙන් ඇති වන මානුෂිය ගැටලු ද, ස්ත්‍රී පුරුෂයන්ගේ නොනවතින කාම ගින්න නිසා හට ගන්නා ගැටලු ද, කේලම් සහ අනවබෝධය ද මේ කොදෙව්ව රැගෙන යන්නේ ඉතා ගැටලු සහගත තැනක ට ය.

ශාන්ති දිසානායක මහත්මිය සරසවි ප්‍රකාශනයක් ලෙස ගිරිදේවී රචනා කරන්නේ ඒ ගැටළු පදනම් කරගනිමිනි.

මේ ඔබ කියවිය යුතුම පොතකි.

Related Articles

Don't Miss


Latest Articles