පාට සේදුනු වත්සුණු -31

යුගාන්ත මගෙන් ඉල්ලා සිටියේ අලුතෙන් සිදු වෙමින් පවත්නා වූ කිසිවක් ගැන නො සිතා අධ්‍යයන කටයුතු කරන ලෙසට ය. ඒ අනුව සති අන්තයේ මම උද්‍යාන සැකසුම් හා ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පය යන පාඨමාලා දෙක ම එක වර හදාරන්නට පටන් ගතිමි. ඒ වෙලාවට තුෂී පැළ තවාන බලා ගත්තා ය. ඇගේ උදව්වට අත්තම්මා ද සිටියා ය. ඒ නිසා මට හිතේ සැනසීම හා සතුට ඇතිව මගේ අධ්‍යයන කටයුතු කරගෙන යා හැකි විය.

තුෂී ගේ විශ්ව විද්‍යාල පාඨමාලා ද ආරම්භ වූයෙන් රැකියාවට යාම නතර කරන්නට ඇයට සිදු විය. ඈ දුක් වූයේ සොච්චම් මුදලක් හෝ ගෙදරට යවා ගත නොහැකි වීම ගැන ය.

“වීක් එන්ඩ්ස් වලට විතරක් හරි කරන්න පුළුවන් ජොබ් එකක් සෙට් වෙනවනං මං යනව අප්ප. මහපොළ නිසා මගෙ වියදං ෂේප් කර ගන්න පුළුවන්. ඒත් ගෙදර ගැන හිතනකොට පිස්සු හැදෙනව ගයා”

ඇය අවංකව ම කම්පා වූවා ය.

“ඇත්තටම මේ පැත්තෙ කීයක් හරි හම්බ කර ගන්න මොනා හරි මාර්ග තියනව. ඒත් එහෙ එහෙම නෑ. කැලේට ගිහිං දිවුල් ටිකක් ඇහිඳල විකුණන එකයි හේනක් කොටන එකයි මිසක්…හේන් කිරිල්ලත් එපා වෙන්නෙ ආසාවටවත් වැස්ස පොදක් වැටෙන්නැතුව මාස ගණං ගෙවෙනකොට…”

සති අන්තයේ පැළ තවානේ වැඩ කිරීම වෙනුවෙන් තුෂී අත මුදලක් තබන්නට මා සිතුවේ එය මගේ යුතුකම සේ සලකා ය. නමුත් ඕ එය තරයේ ප්‍රතික්ෂේප කළා ය.

“හිතවත්කං සල්ලි වලට විකුණන්න තරං මං නිවට නෑ ගයා. ඔයාට පිස්සුද…”

“ඒත් ඔයා දවස් දෙකක් මෙතන වැඩ කරනවනෙ. මේක ඔයාගෙ මහන්සියට කරන ගෙවීමක්”

“එතකොට මං මෙහෙ ඉන්නවට…මං මෙහෙං කනවට…ඕගොල්ලො සල්ලි ගන්නවද…”

“ඔයා ගෙදර ගැනත් බලන්න ඕනනෙ. අනික දැන් මට ආදායමක් තියනවනෙ මේකෙන්”

මා ඒ මුදල ඇයට ලබා දුන්නේ බලයෙන් සේ ය. කෙසේ වෙතත් වැටුපක් ලැබීමත් සමග තුෂී වඩාත් වගකීමෙන් සිය කාරිය කරන්නට වූවා ය. මල් පැළ වලට අමතර ව පොහොර වර්ග හා වගාවන්ට අවශ්‍ය ආයුධ හා උපකරණ වර්ගත් අප විකුණන්නට ගෙනාවේ තුෂී ගේ අදහසක් මත ය.
උද්‍යාන අලංකරණයට අවශ්‍ය විවිධ ප්‍රතිමා හා කුඩා දිය ඇලිත්, පෝච්චි වර්ග හා උද්‍යාන බංකුත් තවදුරටත් ඊට එකතු විය.

“කෙනෙක් මෙතනට ආවම එයාගෙ ගාඩ්න් එකට ඕන කරන හැමදේම අරං යන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනෙ”

සීයා උද්‍යෝගයට පත් ව සිටියේ ය. නමුත් මගේ සිත විටින් විට කඩා වැටෙමින් නො තිබුණා නොවේ. ඒ යුගාන්ත ගේ ගෙදරින් අපේ ඇසුර පිළිබඳ ප්‍රශ්න මතු වෙමින් තිබි නිසා ය.

“ගෑනු ළමයෙක් හැදෙන්නෙ අම්මා දිහා බලාගෙන. අම්මගෙ චර්යාව හොඳ නැත්තං ඒ ගෑනු ළමයගෙං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ”
කියා යුගාන්ත ගේ මවු කියා තිබේ.

“එයාගෙ අම්ම වෙන කසාදයක් කර ගත්තයි කියල ඒ ළමය මොනා කරන්නද…අම්මල මට කියල තිබුණෙ මං කැමති ගෑනු ළමයෙක් තෝර ගන්න කියලනෙ”

යුගාන්ත ප්‍රතිචාර දක්වා ඇත්තේ එසේ ය. අම්මා හා පුතා අතර කතාව දුර දිග ගිහින් තිබේ.

“අපි කිව්වෙ ඔයා කැමති හොඳ ගෑනු ළමයෙක්ව තෝරගන්න කියලයි”

“ගයාත්මි හොඳ ගෑනු ළමයෙක් තමයි”

“ඒ ළමය දෙමවුපියො ඩිවෝස් වෙච්ච පවුලක ළමයෙක්. ඒ අම්මා මේ ඊයෙ පෙරේදා ආයෙත් බැඳල. ඒ උන්දැට වඩා අවුරුදු දහ පාළොහක් බාල කොල්ලෙක්ව. අම්ම කෙනෙක් කරන වැඩක්ද ඒ…ලැජ්ජ නැති පවුලක්නෙ. ඔයා එහෙම තැනකින්ම කසාදයක් කර ගන්න හදන්නෙ රටේ ගෑනු නැතුවටද…”

“මට ඒ පවුලෙ දේවල් වැඩක් නෑ අම්ම. ඒ ළමයත් එක්ක මට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියල මං දන්නව. එච්චරයි”

යුගාන්ත මට කීවේ ඔය වැනි කාරණා කිහිපයකි. ඔහු ගේ අම්මා තව නොයෙක් කාරණා පෙන්වා දෙමින් ඔහුට මගේ වන නො ගැලපීම් ගැන කියන්නට ඇත. මම අත්තම්මා ට හෝ මේවා කියන්නට නො ගියෙමි. ඇය අනිවාර්යයෙන් හිත රිදුවා ගන්නා බව දන්නා නිසාවෙනි.

“ඒක හරි අසාධාරණයිනෙ. කවුරුවත් කරපු දේවල් වලට ඔයා මොනා කරන්නද…”

කාරණා ගැන මගෙන් දැන ගත් තුෂී උදහස් වූවා ය.

“එක අතකට ගෑනු ළමයි ඉන්න අම්මල තමුං ගැන හිතනවට වඩා ඒ ගෑනු ළමයි ගැන හිතන්න ඕන කියල කියන්නෙ ඒක නිසා තමයි.”

“අම්ම එයාගෙ සතුට ගැන හිතපු එක ගැන මමනං කවදාවත් දොස් කියන්නෑ තුෂී. එයාටත් ජීවිතයක් කියල දෙයක් තියෙන්න ඕනනෙ”

“ඒක හරි ගයා. ඒත් අම්මා කියන්නෙ මේ ලෝකෙ තියෙන උතුම්ම පදවිය. ඒ පදවිය ලබපු කෙනෙක් ඒ පදවිය ලබල දීපු දරුවො ගැන තරං තමුං ගැන හිතන්නෙ නෑ. හිතන්න බෑ”

මා එහෙම නො සිතන බව ඇත්ත ය. නමුත් එහෙම හිතන්නට පුරුදු වුණ සමාජයක ජීවත් වෙත්දී මට ඒ නියමයන්ට අනුගත වන්නට සිදු වේ. මුලින් ම මා පෙම් කළ කුසල් අම්මා ගේ දෙවන විවාහය ගැන කියමින් මට රිදවන්නට පුරුදු ව සිටියේ ය. යුගාන්ත ගේ අම්මා ත් එසේ කරාවියි නො සිතිය හැකිද?

“එහෙම හිතන්න එපා. නැන්දම්මල ඉතිං කොහොමත් බලන්නෙ ලේලියෙක්ගෙ වරදක් අඩුපාඩුවක් අල්ලගන්න තමයි. ඒත් ඔයා වටින කෙල්ලක් කියල දවසක එයා තේරුං ගනියි. එයාට එහෙම තේරුං ගන්න අරින්න”

අම්මා ගේ දරු ගැබ දිනෙන් දින මෝරා වැඩෙමින් තිබිණි. ඇගේ විලාශය දකිත්දී මට ඈ ගැන දැනෙන්නේ අනුකම්පාවකි. දරුවා ලැබෙන්නට දින ලං වෙමින් තිබුණත්, අලුත් අමුත්තාට අවශ්‍ය කරන දේවල් හෝ මිල දී ගෙන ඇති බවක් නො පෙනිණ.

“බබාගෙ බඩු ගන්නෙ නැද්ද අම්මෙ…”

දවසක් මම කෙලින් ම අම්මා ගෙන් ප්‍රශ්න කළෙමි. ඕ මළානික සිනහවක් පෑවා ය.

“අසංකට මේ ටිකේ හරි අපලයි අප්ප. කරන කිසි දෙයක් හරියන්නෑ කියල ඔය කන් කෙඳිරි ගගා ඉන්නෙ”

“ඉතිං අම්මා ඉතුරු කර ගත්ත සල්ලිවත් නැද්ද…”

“ඒවත් ටික ටික අරං ඉවරයි ගයා. අසංක ගෙ ණය බේරන්නම කොච්චර දුන්නද…”

ඔහු නම් පුදුම මිනිසෙකි. සිය කුළුඳුල් දරුවා බිහි වන්නට සූදානමින් හිඳියදී එකී අවශ්‍යතා සපුරා ගන්නටවත් හැකියාවක් ඔහු ට නැත. මම අම්මා සමග අසංක ට දොස් කියන්නට නො ගියෙමි. නමුත් මේ බව දැනගත් අත්තම්මා ඔහු ට දෙස් තැබුවා ය.

“නිකමෙක්. නමට පිරිමි කියන්නෙ ඔය වගේ එව්වන්ට තමයි. අපේ එකීටත් ඌ හරි ඉහළයි”

“අම්ම පව් කියල හිතෙනව අත්තම්මා”

“පව් තමයි. ගොං හරකි”

“මං බබාට බඩු ටිකක් අරං දෙන්නද අත්තම්ම…”

“අනේ හනිච්චං. මේව ඉතිං කොයි කපේක සිද්ද වෙච්ච දේවල්ද ගයාත්මියො. මාත් සල්ලි ටිකක් දෙන්නං. බලල ඔය ඕන දේවල් ටික අරං දෙන්නකො. ඉස්පිරිතාලෙකට වුණත් හිස් අතිං යන්න බෑනෙ”

මේ බව අම්මා ට කී විට ඈ ගත් කටට ම කීවේ “අසංක අරං දෙයි” කියා ය.

“එයා සල්ලි දුන්නහම මං එහෙනං ඔයාගෙ ණය ගෙවන්නංකො. අපි අද ගිහිං අරගමුද ගයා…මට දැං ටිකක් වැඩිපුර අමාරුකමුත් දැනෙනව”

මගේ හදවත ඇතුළේ පිරුණ සුසුමක් හඬ නගාගෙන පිටත් වූයේ මටත් නො දැනීම ය. ජීවත් වෙත්දී ගෑනු අප කෙතරම් ප්‍රවේසම් සහගත විය යුතු ද? වරදින්නට වයස බලපාන්නේ නැත. නව යෞවනියකට වුණත්, අත්දැකීම් ඇති පරිනත ගැහැනියකට වුණත් ආදරය හමුවේ එක මොහොතකින් ජීවිතය වැරදී යා හැකි ය.
කෙසේ වෙතත් මා අම්මා එක්ක අවිස්සාවේල්ල නගරයට ගියේ සතුටෙනි. මගේ බාල ළමා වියේදී ඇය සමග නුගේගොඩ හෝ මහරගම නගර වල කඩසාප්පු ගානේ ඇවිදි මතකයක් හදිසියේ ම හිත මතුපිටට පැමිණියේ ය. නමුත් කෙමෙන් මා වයසින් වැඩෙත්දී අම්මා මා වෙනුවෙන් එහෙම කාලයක් වෙන් කළේ ම නැති තරමි. සිංහල අවුරුද්දකට හෝ මට අලුත් ඇඳුමක් මිල දී ගනු වස් ඇය මගේ අතට මුදලක් දුන්නා ය.

“ක්ලාස් යන ගමං යාළුවෙක් එක්ක හරි ගිහිං ගන්න ඔයාට පුළුවන් නේ…”

පුළුවන් බව ඇත්ත ය. නමුත් තරුණ දියණියක ලෙස අම්මා සමගින් එහෙම ගමනක් යන්නට මසිතේ වූ ආශාව ගැන හැඟීමක් අම්මා ට කිසි දා දැනුණේ නැත.

ළදරු ආම්පන්න සහිත සාප්පුවේදී හදවතට දැනුණේ අමුතු ම ලෝකයකට ගියා බඳු හැඟීමකි. මුදල් ගැන නො හිතා මම මහිතේ ආශාව දනවන සියල්ල අලුත් බිළිඳා වෙනුවෙන් මිල දී ගතිමි. කෙසේ වෙතත් මා අම්මා ට අම්මා කියා අමතනු ඇසෙත්දී වෙළෙඳ සහායිකාවන් අප දෙස බැලූයේ පුදුමයෙන් බව මට දැනිණ. නමුත් මම ඒ ගැන නො සිතා සිටියෙමි.

“ගයා වාසනාවන්ත අක්ක කෙනෙක්. නංගි හරි මල්ලි හරි වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න ඔයාට පුළුවන් වුණා”

එන ගමන් අම්මා කීවා ය. හිත යටින් හිනැහුණා මිස මම කිසිත් කියන්නට නො ගියෙමි.

“ඇත්තටම චූටි බබාලගෙ ඒ බඩු අතරෙ ඉන්නකොට හිතට පුදුම ආසාවක් දැනුණෙ. ඒ ඔක්කොම දේවල් ගෙදර අරං එන්න තරං ආසයි”

යුගාන්ත එක්ක මා එහෙම කියත්දී ඔහු බලා උන්නේ ඉවසිලිවන්ත දෑසකිනි.

“අපේ බබාලට එහෙම ගමු”

මගේ වත රතු ව යන්නට ඇත. සැබවින් මා එසේ කීවේ එබඳු චේතනාවක් ඇතිව නොවේ.

“ඕනම ගෑනු ළමයෙක්ගෙ හිතක නිදන්ගත වෙලා තියන ආසාවක් තමයි ඒ. සමහර විට ඒක ගෑනු ළමයින්ගෙ ජාන වලම ලියවිලා තියෙන දෙයක් වෙන්නැති. අම්මා කෙනෙක් වෙන ආසාව”

“එතකොට පිරිමි ළමයින්ගෙ ජාන වල එහෙම නැද්ද…”

මම ඔලොක්කුවට ඇසීමි.

“ඒක වගකීමක්. තාත්ත කෙනෙක් වෙනව කියන්නෙ මහ කන්දක් වගේ පපුව බර කරන වගකීමක් ගයා. හුඟක් පිරිමි ඒ වගකීම කරට ගන්නෙ කැමැත්තෙන්”

“අසංක වගේ”

මම සැහැල්ලුවෙන් හිනැහුණෙමි.

“ඔයා දවසක තේරුං ගනී”

“ඒත් මට එච්චර දුර යන්න පුළුවන් වෙයිද කියල සැකයි”

“සැකයක් තියාගන්න එපා.මං වගකීමක් ගන්නෙ ඒක ඉෂ්ට කරන්න පුළුවන් නං විතරයි”

යුගාන්ත ගැන විශ්වාසය තබන්නට මම රිසි වීමි. ඒ ඕනෑම ස්ත්‍රී සිතක් ඈ පෙම් කරන පිරිමියා වෙත තබන්නට කැමති ආකාරයේ බලාපොරොත්තුවකි. නමුත් දෛවය සරදම් කර යන අවස්ථාවන් ගැන දන්නා මා පූර්ණ සිත් සුවයකින් සිටියා යි කිව නො හැකි ය.

“ගයාත්මි”

මා පැළ තවානේ සිටිනාතරවාරයක අත්තම්මා කළබලයෙන් වගේ ඒ වෙතට ආවා ය.

“යුගාන්ත පුතාගෙ ගෙදරිං කෝල් කළානෙ. යුගාන්තගෙ අම්ම”

මගේ හද ගැස්ම ඒ තරම් උත්සන්න වූ ආසන්න මතකයක් වෙන මට නැත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content