පාට සේදුනු වත්සුණු – 32

පැළ කිහිපයක් බඳුන් ගත කරමින් උන් නිසා ඒ වෙලාවේ මගේ දෑත් හි මඩ තැවරී තිබිණ. අත්තම්මා පෙන්වූ කළබලය මගේ තිගැස්ම උත්සන්න කළ නිසාවෙන් දෑතින් දෑත් ගසමින් පමණක් මම අත්තම්මා වෙත යොමු වීමි.

“මොකද්ද අත්තම්මා කිව්වෙ…”

මඩ රැඳි අතක් අත්තම්මා ගේ උරහිස මත තබන්නට තරම් මගේ නොසන්සුන් බව දැඩි වී ය.

“මේ සම්බන්ධෙ ගැන ඒගොල්ලංගෙ කිසි මනාපයක් නෑලු. ඒත් යුගාන්ත පුතා මේකම කරන්න ඕනෙ කියන නිසා බලල යන්න මෙහෙ එනවලු”

තවත් අලුත් බරක් හිස මත පැටවුණා සේ ය. මගේ හදවත මේ සියල්ලෙන් පළා යාමේ ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබිණ. සියල් බැඳීම් වලින් මිදීම වූ කලී කරදර වලින් ද මිදීම ය. නො කර ඇති වැරදි ගැන ඔප්පු කොට පෙන්වීමක් කරන්නට තරම් ඒ ගැන උනන්දුවක් මට දැනෙන්නේ නැත. ඔවුන් සිය පුතනුවන්ගේ සහකාරිය ලෙස මා තෝරා ගන්නට නොසතුටු නම්, ඒ වෙහෙසින් වෙහෙසී, පොර බදා යමක් කළ යුත්තේ ඇයි?

“එහෙම තමයි. හැම දේම රිදී බන්දේසියක තියල අපේ අතට වැඩැම්මෙන්නෙ නෑ.”

මගේ උදාසීනත්වය ගැන තුෂී උදහස් වූවා ය.

“යුගාන්තගෙ ආදරේ එහෙම ලැබුණනෙ. හොඳ දේවල් අයිති කර ගන්නනං ෆයිට් කරන්න වෙනව”

“වෙලාවකට මට මහ හිස් හැඟීමක් දැනෙනව තුෂී”

මගේ ස්වරයේත් ඒ හිස් ස්වභාවය සනිටුහන් ව තිබෙනවා මට දැනිණ. තුෂී දෑස් කුඩා කර බැලුවා ය.

“ඒ ඇයි…”

“මන්දා. අයිතිකර ගන්න යන එක නිසාම අපිට හුඟක් දේවල් අහිමි වෙනව වගේ හැඟීමක් මට දැනෙනව. මන්දා…”

තුෂී සුසුමක් හෙළුවා ය. ඊළඟට ඕ දැඩි සහෝදර හැඟීමකින් මගේ අතක් පිරිමැද්දා ය
.
“ඔයාගෙ වයසට ඔයාට අත්විඳින්න වෙච්ච දේවල් බර වැඩියි ගයා. ඒක වෙන්නැති ඔයාට එහෙම දැනෙන්නෙ”

මගේ කියා කිසිවක් මෙලොව තිබිය හැකි දැයි මම සිතමි. මගේ ම තාත්තා මගෙන් දුරස් වූයේ ය. අම්මා ද කුසල් ද මගෙන් ඈත් වී තියේ. අයිති කර ගැනීමක් ගැන සිතත්දී යුගාන්ත වුව මට මගහැරී යා නො හැකිද?

යුගාන්ත දුටු මුල් ම දිනයේත් මගේ ජීව රසායනයෙහි කිසියම් වෙනසක් වෙනවා මට දැනිණ. හැම මිනිසෙක් ගැහැනියක් ම හමු වීමේ දී එසේ වන්නේ නැත. ඒ හුරු පුරුද්ද සංසාරයට අයිති එකක් කියා හෝ ඒ ආදරයට ළඟ හැඟීමකැයි කියා හෝ සිතන්නට එවෙලේ මට උවමනා නොවිණ. විශේෂයෙන් ම ඒ අවස්ථාව වෙත්දී එපා වී ගිය සම්බන්ධයක් ඇතුළේ වුව මා හිර වී උන් නිසා යුගාන්ත ගැන එසේ හිතන්නට මා උනන්දු නො වන්නට ඇත. නමුත් අප අප ව දකින බොහෝ අවස්ථා වල අපේ දෑස් විසින් යමක් හඳුනා ගැනීමේ උත්සාහයක නිරත වන ලද බව පිළිගත යුතු ය. ඇතැම් විට අප දෙදෙනා ම හෙමි හෙමිහිට එය හඳුනා ගන්නට ඇත.

ආදරය යන ඒ හැඟීම මිහිරි වූවකි. ඒ ආකර්ෂණය තිගැස්මකි. සදාකල් ඒ මිහිරත් එක්ක ජීවත් වීම ප්‍රමාණවත් සේ මට දැනෙන්නේ ඇයි? නීතියෙන් හෝ ශරීරාත්ම වලින් හිමි කර ගැනීම තුළ ඒ තිගැස්ම ක්ෂය වී යාමකට ලක් විය හැකි සේ මට දැනෙන්නේ ඇයි?

“ඔයාගෙ ගෙදරිං අකමැතිනං…අපි එයාලගෙ කැමැත්තට ඉඩ දෙමු අයියෙ”

ඒ වූ කලී මෙලොව කිසිදු පෙම්වතියක විසින් කියනු ලබන කතාවක් නොවෙන සෙයකිනි යුගාන්ත මදෙස බැලුවේ ය.

“ළමයො. මුකුත් නොකරම පරාජෙ පිළි අරගෙනත් ඉවරද ඔයා…”

යුගාන්ත ගේ ස්වරයෙහි අනුකම්පාව තැවරී තිබිණ.

“අපි දවසක කාවම හරි මැරි කරයි තමයි. ඒත් නතර වෙන්න ඕන හුඟක් දුරට අපි වෙනුවෙන් මැවුණු කෙනා ළඟ කියලයි මං හිතන්නෙ ගයා. එතකොට ජීවිතේ පහසුයි. ඒ පහසුව අත්විඳින්න ටිකක් කරදර වෙන්න පුළුවන්. අපි එක්කෙනෙක් විදිහට මේකට ෆේස් කරමු. තනියම කරන්න අමාරු හුඟක් දේවල් දෙන්නෙක් එකතු වුණහම පහසුයි ගයා. මේ ජීවිතේ හරි බරයි කියල ඔයා දන්නවනෙ. ඒ නිසා තමයි කොහෙ හරි දෙපැත්තක හිටපු දෙන්නෙක් එකතු වෙලා එක ආත්මයක් විදිහට ඉතිරි ජීවිතේට මූණ දෙන්න තීරණේ කරන්නෙ. ඒ අනිත් කෙනා හරිම කෙනාද කියලයි පරිස්සං වෙන්න ඕන. මොකද හරිම කෙනා නෙවෙයිනං ගමන පටං ගත්තට පස්සෙ දැනෙන්න ගන්නව එයා වැරදි කෙනෙක් කියල. එතනිං එහාට ඒ ජීවිත දෙකම අවුල් වෙන්න පුළුවන්. එහෙම නැත්තං එයාලට වැරැද්ද නිවැරදි කරං හරි කෙනා මුණ ගැහෙනකල් ආයෙත් බලං ඉන්න වෙන්න පුළුවන්. හැබැයි මට හිතෙනව අපි නතර වෙලා ඉන්නෙ හරි තැනයි කියල”

යුගාන්ත දිග කතාවක් කර ගෙන ගියේ ය. ඔහු සිය අදහස කෙතරම් තදින් මගේ සිත්හි පැළ කළේ ද යත් කියන්නට හිතා හිටි හුඟක් දේවල් ක්ෂණයකින් මට අමතක ව ගියේ ය.

යුගාන්ත ගේ මවු පියන් එන්නට ගත් තීරණය ගැන අම්මා නම් සතුටු වූයේ නැත.

“කසාදයක් කර ගන්න තරං ඔයාට වයසක් තියනවද ගයා…අනිත් එක කසාදයක් කියන්නෙ පිටිං ඉඳල බලන තරං සුර පුරයක් නෙවෙයි. අන්තිමට ළමයි බමයි එල්ලගෙන ජීවිතේ නිදහස නැති කර ගන්න වෙන එකයි වෙන්නෙ. මතකනෙ මට වුණ දේ…මං ඔයාට කියන්නෙ තව හුඟක් ජීවිතේ එන්ජෝයි කරන්න. තව පහු වෙලා මැරි කරන්න. ඔය උගුලට අහු වෙන්න එපා”

ඇය කී කතාවේ යම් සත්‍යයක් ද වන බව මට නො දැනුණා නොවේ. නමුත් අත්තම්මා අම්මා ව අනුමත කරන සූදානමක හිටියේ නැත.

“කසාද බඳින්න අහවල් වයසයි කියල වයසක් නෑ කෝසලා. හරි වෙලාවෙදි හරි තීරණ නොගත්තොත් පසුතැවිලි වෙන්නත් පුළුවන්. අනික අවස්ථාවල් මග ඇර ගැනීම කියන්නෙ අපි අපිටම කරන වරදක්. ඒ අවස්ථාව ආයෙ කවදාවත්ම උදා නොවෙන්න පුළුවන්. ඒ නිසා ලැබෙන හැම අවස්ථාවක්ම අරගන්න ඕන කියලයි මමනං කියන්නෙ. යුගාන්ත කියන්නෙ මේ කාලෙ ඉන්න හුඟක් කොල්ලො දිහා බලද්දි ගෑනු ළමයෙක් පතන්න ඕන කොල්ලෙක්”

 ඔවුන් හැම දෙනාගේ ම කතා වල හිතන්නට යමක් නො තිබුණායි කිව නො හැකි ද? ඔවුන් කතා කළේ තම තමන් ගේ අත්දැකීම් මත පිහිටා වන්නට පුළුවන. ඒ සියල්ල තුළ මට ඉගෙන ගන්නට හෝ ජීවිතයට ඈඳා ගන්නට යමක් වූවා සේ දැනුණ බැවින් මම සන්සුන් වීමි.

කෙසේ වෙතත් ඒ ඉරිදාවේ යුගාන්ත ගේ මවු පියෝ පැමිණියහ. යුගාන්ත ගේ අලුත් ගෙදර ඔවුන් හිඳිනු දුටු මගේ හද ගැස්ම උත්සන්න වූ සෙයක් දැනිණ.

“ඔහොම බය වෙන්න එපා. ඒ මිනිස්සු ගෑනු ළමයි ගිලින රාක්ෂයො නෙවෙයිනෙ. කියන්න තියන දෙයක් කියල යයිනෙ”

තුෂී මා ළඟින් නො සෙල්වී හිටියා ය. එහෙම හිත මිතුරු කමක් ජීවිතයට පුදුම හයියකි.

“හැබැයි අම්මනං ටිකක් අහංකාර පාටයි”

“ඒ වගේ සම්ප්‍රදායික අම්ම කෙනෙක් අපේ අම්මා වගේ කෙනෙක්ගෙ දුවෙක්ට කොහොම කැමති වෙන්නද තුෂී…”

“මන්නං හිතන්නෙ ගයා හුඟක් නූතනවාදී දෙමව්පියො පවා තමුන්ගෙ දරුවන්ගෙ කසාදෙ වගේ දේකදි හිතන්නෙ ගතානුගතික විදිහට. ඒකට හේතුව ඒ දෙමව්පියන් ගෙ අත්දැකීම් වෙන්නැති. සම්ප්‍රදාය ඇතුළෙ…ගතානුගතිකත්වය ඇතුළෙ ආරක්ෂාව තියනව කියල එයාල අත්දැකල ඇති.”

අත්තම්මා පුංචි තේ මේසයක් සූදානම් කරගෙන බලා සිටියා ය. යුගාන්ත ගේ අම්මා ගේ රැවුම් ගෙරවුම් අස අත්තම්මා ට හිත රිදුවා ගන්නට වෙතැයි කියන බය මවෙත විය. ඔවුන් ආවේ ශාන්ති හතර වෙනි වතාවටත් වතුර උතුරත්දී ගෑස් ලිප නිවා දැමු ඉක්බිති ය.

කලකින් වැසි නො වැටීම ගැන හා අධික දාහය ගැන කතා කරමින් සිට අහවර ඒ අම්මා එතැනට ආ මගේ අම්මා විනිවිද බැලුවා ය.

“මේ වෙන්නැති මනමාලිගෙ අම්ම”

මම පිළිසරණ පතා යුගාන්ත දෙස බැලීමි. ඔහු ඇස් වලින් කීවේ මට නො සැලෙන ලෙසයි.

“ඔව්. ගයාගෙ තාත්තගෙං දික්කසාද වුණාට පස්සෙ අපේ දුව කෝසලා තනියම ගයාවත් හදං හිටියෙ. මේ ළඟදි එයා ආයෙ බැන්දා. ගෑනියෙක්ට හැමදාම තනියම ජීවත් වෙන්න අමාරුයිනෙ දුව”

අත්තම්මා එහෙම කී එක ගැන මට පුදුමත් සිතිණි. මීට පෙර ඕ තොමෝ කිසි සේත් අම්මා ගේ පමා වූ නැවත විවාහය අනුමත නො කළා ය. ඇතැම් විට පිටස්තරයන් ගේ දෝෂ දර්ශනයෙන් තමන්ගේ අය රැක ගන්නට වෙත්දී එසේ කරන සහජ හුරුවක් මනුස්ස අප වෙත වනවා විය යුතු ය.

“යුගාන්තව අපි හුඟක් පරිස්සමට හැදුවෙ”

“ඒක ඕනම කෙනෙක්ට පේන්න තියෙනව දුව”

“යුගාන්ත එයාට ගැලපෙන කෙනෙක් තෝරගන්නවටයි අපිනං කැමති”

“ගයා කියන්නෙත් වැදගත් විදිහට හැදුණ ගෑනු ළමයෙක් කියල යුගාන්ත පුතා දන්නව ඇතිනෙ”

“හැබැයි හුඟක් වෙලාවට ළමයි එයාලගෙ දෙමව්පියො කරපු දේවල් බලං ඉඳල ඒව කරන්න උත්සාහ කරනව”

සීයා හඬ නගා හිනහුණේ ය. මගේ හදවත දෙදරන්නට විය. මේ වගේ කටුක දෙබස් පෙළක් හුවමාරු වෙන තැනකට එහෙම හිනාවක් ගැලපේ දැයි මා දන්නේ නැත.

“එහෙනං ඉතිං අපි වැඩ කරපු විදිහට මේ අපේ එවුං දෙන්නත් වැඩ කරන්න එපැයි. නැද්ද නන්දා…ඒව මහ මනස්ගාත කතා. හොඳ දෙමව්පියන්ගෙ නැහැදිච්ච දරුවො නැද්ද…චාරෙකට නැති දෙමව්පියන්ගෙ වැදගත් දරුවො නැද්ද…”

සීයා ගේ කතාවට මුළු සභාව ම නිහඬ වූ සේ ය.

“නෑ මං මේ දුව නරක ළමයෙක් කියල කිව්ව නෙවෙයි”

යුගාන්ත ගේ මව ගේ හඬ මට ඇසුණේ ඈත ග්‍රහ ලොවකින් සේ ය. ප්‍රේමය කියන්නේ මේ විදිහට ප්‍රසිද්ධියේ තක්සේරු විය යුතු දෙයක් ද? හදවත මත්තෙහි සීරුම් තුවාල වල රිදුම මට දැනිණ. මම කාමරයේ තිර රෙද්ද අත්හැර කාමරය තුළට වැදුණෙමි.

තේ පැන් වලින් සංග්‍රහ කෙරුවාට හෝ සංග්‍රහ වින්දාට කාගේත් හිත් වල සැහැල්ලුවක් වූවා යි සිතිය නො හැකි ය. මා යළි පිටතට ආවේ ඔවුන් නික්මෙත්දී ආචාර කිරීමට පමණකි.

“මං දන්නව දුකෙන් ඉන්නෙ කියල”

යුගාන්ත කෙටි පණිවිඩයක් එව්වේ ය. මම පිළිතුරු දෙන්නට නො ගියෙමි.

“හැමෝම බලාපොරොත්තු වෙන විදිහට දේවල් කර ගන්න බැරිනං අපිට ඕන විදිහට කරගන්න වෙනව. කලබල නොවී ඉන්න”

ඊළඟ පණිවිඩයෙහි විය.

“ඔයා අයිති වුණේ නෑ කියල කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ. මං ගැන කරදර වෙන්නෙපා”

මම එහෙම ලියා එය මකා දැමුවෙමි. කවරක් සිදු වී ද ඊට යුගාන්ත ට දොස් පැවරිය නො හැකි ය. ඔහු අවංක කම කියන දේ මා ඉදිරියේ පෙන්වා සිටියේ ය. ඔහු ආදරය කියන දේ මට දැනෙන්නට හැරියේ ය. අනාගතය ගැන ආශාවක් ද ඔහු මහදෙහි දල්වනු ලැබුවේ ය. ඔහු ගේ වරද කිම?

“මං හොඳින්”

මම එහෙම පිළිතුරු යැව්වෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content