සමේ දීප්තිමත් බව, පැහැපත් බව වැඩිකර ගැනීම සඳහා ඔබ ලබා ගත යුතුම ආහාර වර්ග.

නිරෝගී පැහැපත් සමක් කියන්නේ හැම කාන්තාවකගේම සිහිනයක්. බාහිරින් කරන සත්කාර වගේම අභ්‍යන්තර පෝෂණයත් පැහැපත් සමකට මග පාදනවා. ප්‍රමාණවත් ජලයත් නිසි පෝෂණ ගුණයෙන් යුතු සමබල ආහාර වේලකට ඔබ මේ ආහාරත් එක් කරගනිමින් නිතර භාවිතා කරනවා නම් කෘත්‍රිම පෝෂක අතිරේක අමුතුවෙන් ගත යුතු නෑ. එනිසා ඔබේ සම නිරෝගී වෙනවා මෙන්ම යහ සෞඛ්‍යයත් සුරකිනවා. 

මේද සහිත මුහුදු මාලු

මේද සහිත මුහුදු මාලුවල Omega – 3 Fatty Acid තිබෙනවා. මේවා නීරෝගී සමක් සඳහා ඉතා ගුණදායකයි. බලයා, කුම්බලාවා, හුරුල්ලා සහ සැමන් මාලුවා මේ ගණයට අයත් වෙනවා. මේ සැමන් මාලුවා යනු සැමන් ටින්වල ඇති මාලුවා නොවෙයි. 

මේද සහිත මෙම මාලු සමෙහි වියළීම දුරු කරන්නට බෙහෙවින් උපකාරී වනවා. එය සමෙහි පැහැපත් බවට සෘජුව ම බලපානවා.

අලිගැටපේර  

අලිගැටපේර ප්‍රතිඔක්සිකාරකවලින් අනූන මෙන් ම හොඳ මේදය සහිත ආහාරයක්. සමේ තෙතමනය රැකගැනීමටත් වයස්ගත වීමේ සලකුණු පාලනය කිරීමටත් අලිගැටපේර ආහාරයට ගැනීම ඉතා හොඳයි.

කහ බතල

කහ බතල වල සමට ඉතා වැදගත් පෝෂකයක් වන බීටා කැරොටින් තිබෙනවා. බීටා කැරොටින් වැනි කැරොටිනොයිඩවලට ස්වාභාවික හිරු රැස් ආරක්ෂයක් ලෙස ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම ඔබේ සම පැහැපත් කිරීමේ හැකියාවක් ද කහ බතල වලට තිබෙනවා. 

කහ පැහැති බෙල් පෙපර්

කහ පැහැති බෙල් පෙපර්වලත් බීටා කැරොටින් බොහොමයක් අඩංගුයි. ඒවා ආහාරයට ගැනීමෙන් ඔබේ සම පැහැපත් කරගන්නට හැකිවන්නේ ඒ නිසායි. 

බ්‍රොකොලි

නිරෝගී සමකට අවශ්‍ය පෝෂක කොටස්වලින් අනූන වූ ආහාරයක් ලෙස බ්‍රොකොලි හඳුන්වන්නට පුළුවන්. සින්ක්, විටමින් සී, විටමින් ඒ මෙන්ම බීටා කැරොටින් ද අඩංගුයි. සමේ පැහැපත් බව රැකගන්නට බ්‍රොකොලි ආහාරයට ගැනීම වැදගත් වන්නේ ඒ නිසායි.

තක්කාලි 

විටමින් සී සහ කැරොටනොයිඩ බොහොමයකින් සපිරීම නිසා තක්කාලිවලට ඔබේ සම හොඳින් පැහැපත් කරන්නට පුළුවන්. එමෙන් ම හිරු කිරණින් ආරක්ෂා කිරීමට හැකි නිසා පැහැපත්බව රැකගැනීමටත් පුළුවන්.

ග්‍රීන් ටී

දිනකට ග්‍රීන් ටී කෝප්පයක් පානය කිරීමට ඔබට හැකි නම් ඔබේ සමේ වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කරගනිමින් සම පැහැපත් කරගන්නට හැකියාව ලැබෙනවා. ග්‍රීන් ටී වල ප්‍රතිඔක්සිකාරක බහුල වීම ඊට හේතුවයි.

කැරට්

බීටා කැරොටින්, විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක් ලෙස කැරට් හඳුනාගන්න පුළුවන්. ඉතින් කැරට්වලට ඔබේ සම පැහැපත් කරන්නට හැකි වීම පුදුමයක් නොවෙයි. 

බිත්තර

බිත්තර කහ මදයෙහි බයොටින් අනූනයි. බයොටින් යනු සමට කොතරම් වැදගත් පෝෂකයක් ද යන්න ඔබ මේ වන විට දන්නවා. සම වියළීම වළකමින් සම පැහැපත් කිරීමේ හැකියාව බිත්තර වලට තිබෙනවා.

ආමන්ඩ් ඇට

විටමින් ඊ වලින් සපිරුණු ආහාරයක් ලෙසයි ආමන්ඩ් ඇට හඳුනා ගැනෙන්නේ. විටමින් ඊ සමට ඉතා ගුණදායකයි. එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියාකරනවා. ආමන්ඩ් ඇට ඔබේ සම පැහැපත් කිරීමට යොදාගත හැක්කේ ඒ නිසායි. 

අපට උපතින් උරුම වුණු සමෙහි පැහැය සර්ව සම්පූර්ණයෙන් වෙනස් කරන්නට මේ ආහාරවලට හැකි වන්නේ නැහැ. එහෙත් සමබල ආහාරත්, සමට කරන සත්කාරත් සමෙහි පැහැය වැඩි දියුණු කරමින් නිරෝගී කරන්නට උදව් වෙනවා. මේ ආහාර භාවිතා කරමින් සමෙහි පැහැය වැඩි දියුණු කරගන්නට ඔබත් උත්සාහ කරන්න.

Related Articles

Don't Miss


Latest Articles