අභියෝග හමුවේ කිසිවිටෙක පසු නොබැසූ ලොව ජනප්‍රියම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්

ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන හද බැඳගන්නට හේතු වන්නට ඇතුවා විය හැකියි. මේ ඇගේ කතාවයි. 

1980 වසරේදී මුරුපාරා නම් දුෂ්‍කර, දරිද්‍රතාවෙන් පෙළුණු කුඩා ගම්මානයේ දී ඈ උපත ලබා තිබෙනවා. විරැකියාව නිසා ගමේ මිනිසුන් සිය දිවි හානි කරගත් අයුරුත්, ඈ සහ ඇගේ සොයුරිය කුඩා කල බලාගත් ගැහැණු ළමයා හෙපටයිටිස් රෝගය වැළඳී කහ පැහැ වූ ආකාරයත් අත්විඳීම සාධාරණ සමාජයක් උදෙසා මුල් පියවර තබන්නට හේතු වූ බව ඈ පවසනවා. 

ටික කලකට පසු ආර්ඩන් පවුල මොරින්ස්විල් වෙත පැමිණෙනවා. ඇගේ පියා නගරයේ පොලිස් නිලධාරියෙකු ලෙසත් මව පාසලේ කෝකිවරිය ලෙසත් සේවයෙහි නිරත වන්නේ ජසින්ඩා සහ සොහොයුරියගේ අනාගතය උදෙසාමයි. පාසල් වේලාවෙන් පසුව ජසින්ඩා ගෝල්ඩන් කිවි ආපන ශාලාවේ සේවයට යන්නේ වසර 14දී යි. ඇයගේ ඉදිරියට යාමේ ගති ලක්ෂණ කුඩා කල සිටම පෙනෙන්නට තිබූ බව ඉන් පැහැදිලි වනවා.

ඇය චතුරව අදහස් ප්‍රකාශ කරන බව මොරින්ස්විල් හි ගොවි මහතෙක් වන ජෝන් වොල්ශ් පවසනවා. ඒ ඇය කුඩා කළ සිටි ගමෙහි නිතර හමුවූ අයෙක්. ජසින්ඩා ආර්ඩන් මොරින්ස්විල් විද්‍යාලයේ භාරකාරත්ව මංඩලයට ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස සම්බන්ධ වන්නේ මේ අතරයි. ශිෂ්‍යාවන්ට දිග කොඩ්‍රෝයි කලිසම් වෙනුවට පහසු කොට කලිසම් අඳින්නට අවසර ඉල්ලන්නට ඈ ඉදිරිපත් වෙනවා. සැබැවින්ම එය ඉතා අභියෝගාත්මක ක්‍රියාවක්. එවකට විදුහල්පති ජෝන් ඉන්ගර් මහතා පවසන්නේ ඈ ඉතා ඉදිරියෙන් සිටි බවක්. ඔහුට ඇයව ඉතා හොඳින් මතක තිබුණේ ඇගේ කැපී පෙනෙන සුළු ගති ලක්ෂණ නිසාමයි.

1998 වසරේ මොරින්ස්විල් වාර්ෂික සඟරාවේ ඉතා පුදුම සහගත දෙයක් සටහන් ව තිබෙනවා. ඒ අනාගතයේ අගමැතිවන්නට වඩාත් ම හැකියාවක් ඇත්තේ ආර්ඩන් ට යන්න කවුරුන් හෝ ලියා ඇති වීමයි. 

දේශපාලනයට පිවිසෙන්නට නම් සිටින දුෂ්කර ගම්මානයෙන් මිදී නගරයට යන්නට ඈට සිදු වෙනවා. වයස අවුරුදු 18දී කම්කරු පක්ෂය හා සම්බන්ධ වෙමින් ඈ සිය දේශපාලන ගමනට අත්පොත් තබනවා. වයිටාකෝ විශ්ව විද්‍යාලයෙන් සන්නිවේදන අධ්‍යනය පිළිබඳ උපාධියක් ලබා ගන්නා ජසින්ඩා පළමු නවසීලන්ත අගමැතිනිය මෙන්ම කම්කරු නායිකාවක ද වන හෙලන් ක්ලාක්ගේ කාර්‍යාලයෙහි සේවය ඇරඹීමත් ඇගේ දිවියේ සුවිශේෂීම කටයුත්තක්. ඉන්පසු එක්සත් රාජධානියේ රාජ්‍ය කැබිනට් කාර්‍යාලයෙහි සේවය කිරීමට ඈ ලන්ඩන් බලා පිටත් වනවා. 

විවිධ හැල හැප්පිලි බිඳ වැටීම් රාශියක් මත වයස 37 වන විට ඈ අගමැති අපේක්ෂිකාවක් ලෙස මැතිවරණයට සූදානම් වනවා. ගැටලු කිහිපයක් මතු වුවද, ඉතිහාසයේ ලාබාලතම අගමැතිනිය ලෙස ජසින්ඩා ආර්ඩන් පත් වනවා. 

ඈ දෙවන වර කතාවට ලක්වන්නේ ඇගේ ගර්භනීභාවය සමඟයි. සැබැවින් ම ඈ ගර්භනී වන විට විවාහ වී නැහැ. එහෙත් ඇය සහ ඇගේ සහකරුවා වඩාත් තේරුම් ගැනීමකින් ඉදිරියටම ගමන් කරමින් ඉන්නවා. ඉතා සක්‍රීයව සිය සමාජ මාධ්‍ය භාවිතා කරන ජසින්ඩා 2018 ජනවාරි 18 වන දින, ඈ අගමැති ධූරයට පත් ව මාස දෙකක්වත් ගත නොවූ තැන ගර්භනී වී ඇති බව ඇගේ ට්විටර් ගිනුමේ සඳහන් කරනවා. 

“මම දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිනවා මිස මට කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී නැහැ. මට කළ නොහැකි එකම දෙය පහත් වී සපත්තු දැමීම පමණයි” යනුවෙන් ඈ වරෙක පුවත්පතකට පවසා තිබුණා. 2018 ජූනි 18වන දින බිහිකළ සිය කුඩා දරුවා රැගෙන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සම්මේලනය යන්නට ඇයට සිදු වනවා. දරුවා සමග සහභාගී වූ ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස ඉතිහාස ගත වන්නට ඇයට හැකි වන්නේ ඒ අයුරින්. ඇය දරුවා කුඩා කාලයේදීත් කිහිප විටක් ම පාර්ලිමේන්තු සංකීර්ණයට පවා දරුවා රැගෙන යමින් රාජකාරිය අකුරටම ඉෂ්ට කළා. පසුගිය දිනවල එම ඡායාරූප සමාජ මාධ්‍යවල නිතරම සැරිසරනු දක්නට ලැබුණා.

2019 මාර්තු 15 නවසීලන්තයේ පළමු ත්‍රස්තවාදී ප්‍රහාරය ක්‍රයිස්ට්චර්ච් හි දී ඇති වනවා. පුද්ගලයින් 51කගේ දිවි අහිමි කළ මෙම සිදුවීමත් සමඟ, මෙවන් සිද්ධි ඉතා දුර්ලභ නවසීලන්තය භීතියෙන් අළලා ගියා. විචාරකයන් විවිධ මත පල කරන්නට ගන්නවා. ඇය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී තුවක්කුව සම්බන්ධ නීති වෙනස් කර තුවක්කුකරුවා ත්‍රස්තවාදියෙකු ලෙස නම්කරන්නට කටයුතු යොදනවා. එහි අරමුණ වූයේ ඔහු ලබාගන්නට උත්සාහ කළ ප්‍රසිද්ධිය ලබාදීම වළක්වන්නට කටයුතු කිරීමයි. ඉන්පසු හිජාබයකින් සැරසී මුස්ලිම් ප්‍රජාව සමග ශෝකය බෙදාගන්නට කටයුතු කළා. සිය රටේ ජනතාවගේ දුකෙහි දී ඈ තමන්ට විපතක් වූ සේ ම හැසිරීම නිසා ජනතාව ඇයට බෙහෙවින් බැඳෙන්නට හේතුවක්.

ඒ වසරේ ම අග භාගයේදී ඈ තවත් අභියෝගයකට මුහුණ දුන්නා. සක්‍රීයව තිබූ ගිනි කඳු සහිත දූපතක පිපිරීමකුයි ඒ. ඉන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඈ ඉතා සංයමයෙන් එම ගැටලුවට ද මුහුණ දුන්නා.

මේ වසර මුලදී කොරෝනා වසංගතය එන්නේ ඒ අතරයි. මුල් අවධියේම රට ලොක් ඩවුන් කරමින්, වහා ක්‍රියාත්මක වෙමින් ඉතා බුද්ධිමත් ව එහි බලපෑම අඩු කරන්නට ඇය කටයුතු කර තිබෙනවා.

ඇය ඇත්තටම ඉතා ආදර්ශවත් කාන්තාවක්. කුඩා ම තැන සිට අරඹා අගමැති පුටුවට ආ ඇය නොපසුබට උත්සාහයත්, ස්ථානෝචිත ප්‍රඥාවත්, බාධක හමුවේ නොසැලීමත් සිහින සැබෑ කරගැනීමේ යතුරු බව අපට කියා දෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles