ඉක්මනින් බර අඩු කරගන්න exercises කරන ඔබ සැලකිලිමත් විය යුතුම කරුණු 6 ක්

ක්‍රමවත් ව ව්‍යායාම් කිරීම මගින් ඔබට කායික, මානසික මෙන්ම සමාජයීය යහ සෞඛ්‍යයකට හිමිකම් කියන්නට හැකි වෙනවා. එහෙත් දැනගෙන ගියොත් කතරගම – නොදැන ගියොත් අතරමග කියන්නේ නිකමට නෙවෙයි. නිසි අවබෝධයකින් තොරව ව්‍යායාම් කිරීමෙන් ඔබ නොහිතන අවාසි රැසක් මිස වාසියක් ඔබට ලැබෙන්නේ නෑ. ඒ නිසායි මේ ලිපියෙන් ඔබට සෞඛ්‍යාරක්ෂිතව ව්‍යායාම් කරන ආකාරය පිළිබඳ ව දැනුවත් කරන්නේ.

ව්‍යායාම් මාලාවක් ආරම්භ කිරීමට පෙර සූදානම් වෙන්නේ මෙහෙමයි.

වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔබේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කරන්න.

ඔබට අවශ්‍ය වන්නේ බර අඩු කරගැනීමට විය හැකියි. එසේත් නැති නම් සිහින් ඉඟක් ලබා ගැනීම හෝ උදරය හැඩ කරගැනීම විය හැකියි. එහෙත් ඔබ හිටි හැටියේ ව්‍යායාම් පටන් ගැනීම සුදුසු වන්නේ නැහැ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි ම නිගමනය ලබා දිය හැක්කේ වෛද්‍යවරයාට පමණයි. ඒ නිසා ඔබේ අවශ්‍යතාව වෛද්‍යවරයාට පවසා සිටීම වැදගත්. ඔබ මෑතකදී මුහුණ දුන් ශල්‍යකර්ම, නිදන්ගත හෝ බෝ නොවන රෝග, අපහසුකම් ආදී සියල්ල පවසා ඔබ අදාළ ව්‍යායාම් කිරීමට තරම් ශක්තිසම්පන්නව සිටිනවාද යන්න තීරණය කළ යුතුයි. සමහර සෞඛ්‍ය තත්ත්වයන් මත නොකළ යුතු ව්‍යායාම් තිබෙනවා. ඒ නිසා කළ යුතු සහ නොකළ යුතු යම් ව්‍යායාම් වර්ගයක් ඇත්දැයි යන්නත් හොඳින් දැනුවත් විය යුතුයි.

ප්‍රමිතියකින් යුතු ඇඳුම් සහ සපත්තු භාවිත කරන්න

ව්‍යායාම් කිරීම සඳහා ම නිපදවූ ඇඳුම් සහ සපත්තු වෙළඳපොළේ ඕනෑ තරම් තිබෙනවා. ඔබේ සිරුරට සහ ප්‍රමාණයට හොඳින් ගැළපෙන දේ භාවිත කරන්නට ඔබ සැලකිලිමත් විය යුතුයි. එසේ නොවීම බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබානොදෙන්නටත්, අනපේක්ෂිත අවාසිදායක තත්ත්වයන් ඇතිවන්නටත් හේතුවක්. ව්‍යායාම් කිරීමේදී ශරීර චලනවලට ඔරොත්තු දෙන ලෙස ප්‍රමිතිගත සපත්තු සකසා තිබෙනවා. එවැන්නකින් ව්‍යායාම්වලදී ඔබේ සිරුරේ චලනයන්ට ලබා දෙන සහයෝගය වෙනත් සපත්තුවකින් ඔබට ලබන්නට බැහැ. එමෙන්ම කාන්තාවෝ විශේෂයෙන් ම හොඳ  සහ නියමිත ප්‍රමාණයෙන් sports bra එකක් පාවිච්චි කළ යුතුමයි. ඇඟට නොගැළපෙන තද හෝ බුරුල් ඇඳුම් ඇඳීමෙන් ඔබට ව්‍යායාම් කිරීමේදී අපහසුවක් දැනී නිසි ලෙස ඒවා කරන්නටත් නොහැකි වෙනවා. ඒ නිසා ඇඳුම් පිළිබඳ සැලකිලිමත් වීම අනිවාර්යයෙන් කළ යුතුයි. 

නිවැරදි ම ව්‍යායාම් පිළිබඳ දැනුවත් වෙන්න.

ව්‍යායාම් කිරීමට ජිම් එකකට යන්නම අවශ්‍ය වන්නේ නැහැ. මේ වන විට ඉතා පැහැදිලි ව හා සරල ව කියාදෙන ව්‍යායාම් මාලා අන්තර්ජාලයේ ඕනෑ තරම් තිබෙනවා. ඒවා හොඳින් අධ්‍යනය කළ යුතුයි. එමෙන් ම ඔබේ අරමුණ තරමක් බරසාට එකක් නම් එක්වරක් හෝ ව්‍යායාම් පුහුණුකරුවෙකුගෙන් ද උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. එක් එක් අයගේ සිරුර එකිනෙකට වෙනස් නිසා ඔබේ අවශ්‍යතාවට වඩාත් සුදුසුම ව්‍යායාමය කුමක්ද යන්න එමගින් තෝරගන්නට හැකියාව ලැබෙනවා. ඔබ නිසි දැනුවත්වීමකින් තොරව වැරදි ව්‍යායාම්වල නිරත වීමෙන් ඉතා අහිතකර ප්‍රතිඵල අත් වෙන්නට පුලුවන්.

ආහාර වේල් පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්න.

ආහාර යනු ඔබේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට ලබා දෙන ඉන්ධන ලෙසයි සලකන්නේ. ඔබේ ව්‍යායාම්වල අරමුණ අනුව ඔබේ ආහාරවේල් සකසා ගැනීම කළ යුතුයි. බර අඩු කරගැනීමට සිතා අනවශ්‍ය ලෙස ආහාර පාලනය කරමින් ව්‍යායාම් කළහොත් සිරුර දුර්වල වීම විනා අන් යමක් වන්නේ නෑ. ආහාර පාලනය නොකර ව්‍යායාම් කළොත් අවශ්‍ය ප්‍රතිඵල නියමාකාරයෙන් ලැබෙන්නේ නෑ. එනිසා, ඔබට ගැළපෙන ලෙස ආහාර රටාව වෙනස් කරගන්නට අවශ්‍ය වෙනවා. එමෙන් ම ව්‍යායාම් අතරතුරදී “අවශ්‍ය යයි හැඟෙන විට ගන්නට” ශක්තිජනක ආහාර කීපයකුත් ළඟ තබා ගැනීම නුවණට හුරුයි. ඒ සඳහා රටකජු කිහිපයක්, කෙසෙල් ගෙඩියක් වුවද සෑහෙනවා. සමහර අවස්ථාවලදී ඔබට ව්‍යායාම්වලට පෙර සහ පසුත් ශක්තිජනක ආහාර නිර්දේශ කරනවා. ඒවා පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.

අනිවාර්යයෙන් හොඳට වතුර බොන්න.

ඔබ ව්‍යායාම් කරන විට දහඩිය වශයෙන් විශාල ජල ප්‍රමාණයක් සිරුරෙන් පිටවෙනවා. නිසි පරිදි වතුර නොබිව්වොත් ඔබ විජලනයට පවා පත්වන්නට පුලුවන්. එමෙන් ම ව්‍යායාම් කිරීමේදී කම්මැලිබවක් දැනෙන්නට පුලුවන්. ලොකු වතුර බෝතලයක් ළඟම තියාගෙන සිරුර ඔබෙන් වතුර ඉල්ලන ඕනම විටක වතුර බොන්න. ජලය අඩුවෙන් බොන කෙනෙක් ව්‍යායාම් කිරීමේදී මාංශපේෂි වේදනාව ඇතිවෙන්නට පුලුවන්. ව්‍යායාම් අවසන් වූ පසුත් හොඳින් වතුර බොන්න.

පැය 7-8ක් එක දිගට සුවපහසු නින්දක් ලබාගන්න.

ව්‍යායාම් කිරීමේදී ඔබ බෙහෙවින් ශරීරය වෙහෙසනවා. අධික සෞඛ්‍යට කිසිසේත් යහපත් නැහැ. එක දිගට සුවහසු නින්දක් අවශ්‍ය වන්නේ ඒ නිසායි. මින් වෙහෙස දුරලමින් නව ප්‍රබෝධයක් සිරුරට ඇති කරන්නට සමත් වෙනවා. මානසික සුවය මෙන් ම කායික සුවය වෙනුවෙන් ද හොඳ නින්දක් ලබාගැනීම අත්‍යාවශ්‍ය කරුණක්.

ව්‍යායාම් කියන්නේ ඉතා ප්‍රතිඵලදායක දෙයක් වුවත්, නිසි පරිදි සිදු නොකළොත් සාර්ථක වන්නේ නැහැ පමණක් නොවෙයි , දීර්ඝ කාලීන අහිතකර ප්‍රතිඵල පවා ලබා දෙනවා. කායික සහ මානසික සෞඛ්‍ය රැක දෙන ව්‍යායාම් සඳහා සෞඛ්‍යාරක්ෂිතව පූර්ව සූදානම ඇති කරගන්නා අයුරු ගැන දැන් ඔබ දැනුවත් වී තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles