තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි නේද ?

තමන්ගේම ව්‍යාපාරයක් කියන්නේ බොහෝ දෙනෙකුගේ සිහිනයක්.ඒත් මේ සිහිනය ජය ගතම යුතු සිහිනයක්.ඉතින් තමන්ගේම ව්‍යාපාරයක සිහින දකින ඔබට සුදුසු ව්‍යාපාරයක් ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ.ඒ වගේම කුස්සියෙන් පිටතට පැමිණ ආර්ථිකව සවි ශක්තිමත් වුන කාන්තාව පවුලට මහත් අභිමානයක් බව නොකියාම බැහැ.ඒ නිසා එදිනෙදා ගෙදර දොර,දරුවන්ගේ වැඩ කටයුතු මැද ඔබට ඔබව සොයා ගන්නට,ඔබේ අප්‍රමාන ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්නට සුළු මඟ පෙන්වීමක් කිරීමයි අපේ මේ වෑයම.

පැළ තවානක්

නිවාඩු සති අන්තයේ දිනවල බත්තරමුල්ල දියත උයනට ගියොත් ඔබට දැක ගන්නට පුළුවන් වේවි කොතරම් පිරිසක් පැළ මිලදී ගන්නට එහි ඇති පැල විකුණුම් කුටි වෙත පැමිණෙනවාද කියා.ඉතින් පැළ තවානක් කියන්නේ බය නැතිව පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් කියලා බොහෝ දෙනෙක් දන්නවා.ඒ විතරක් නෙමේ විවිධ නිර්මාණාත්මක අලෙවි උපක්‍රම ඔස්සේ තමන්ගේ අලෙවිය වැඩි කරගැනීමත් ඔබේ හැකියාවේම එක කොටසක් කියලා හඳුන්වන්න පුළුවන්.

මේ සඳහා ඔබට තරමක ඉඩකඩ සහිත ගෙවත්තක් තියෙනවනම් එය තරමක් පහසුයි.කුඩා පරිමාණයෙන් ආරම්භ කිරීමට හැකිවීමත්,වෙහෙසකර ජිවන රටාවක් හමු නොවීමත් මෙහි විශේෂතා ලෙස දක්වන්න පුළුවන්.එපමණක් නෙවෙයි.අද මේ සඳහා විදේශ වෙළඳ පොළක් නිර්මාණය වී තිබෙනවා.මල් පැළ,පළතුරු පැළ,විසිතුරු පැළ,එළවලු පැළ.මේ සඳහා යොදා ගත හැකියි.

විසිතුරු පැළ

විසිතුරු පැළ ගෙවතු අලංකරණයට වගේම කැපු පත්‍ර ලෙසත් අලෙවි කරන්න පුළුවන්.මෙම කැපු පත්‍ර සඳහා හොඳ විදේශ වෙළඳ පොළක් තිබෙනවා.

මල් වගාව

මල් පැළ වලට වෙළඳ පොළේ ඇත්තේ විශාල ඉල්ලුමක්.ඒ වගේම විනෝදයත් සමඟ ලාභයක් උපයා ගැනීමට හැකි අගනා අවස්ථාවක්.ඇන්තූරියම්,ඕකිඩ්,ජර්බෙරා ආදී මල් පැළ වලට වෙළඳ පොළේ ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමක් .වැඩි ඉල්ලුමක් පවතින වර්ග හඳුනා ගෙන ඒවා වෙළඳ පොළට සැපයීමෙන් ආදායම වැඩි කර ගත හැකියි.

එළවලු සහ පලතුරු පැළ

එළවලු ,පළතුරු සේම නිතර නිතර ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිතා වන කරපිංචා,රම්පෙ ,සේර ,මිරිස් ,ආදී පැළවර්ග ආදිය අලෙවි කල හැකි අතර කල් තබා ලබා ගන්නා ඇනවුම් මඟින් මහා පරිමාණලෙස වගා කරන ගොවිපලවල් ,පාසැල් ආදී ස්ථාන වලට අලෙවි කළ හැකිය.

බද්ධ පැළ

බද්ධ පැළ වලට වැඩි ඉඩකඩක් නොයන අතර කෙටිකලකින් පලදාව ලැබෙන නිසාවෙන් ඉහල ඉල්ලුමක්ද පවතී.අඹ ,දිවුල්,පේර, රඹුටන් ,කජු ,ආදී පළතුරු මෙන්ම කොස්,කිතුල් ආදී ශාකද ගම්මිරිස් ආදී බෝගද බද්ධ කළ පැළ වශයෙන් වෙලඳ පොළට සැපයීමට හැකියි.

සෙවණ දැල් හා පැළ

පැළ තවානක් පවත්වාගෙන යාමේදී පැල ගෘහයක් තිබීම ඉතා වැදගත්.කුඩා පරිමාණයෙන් අරඹන පැළ තවාන ක්‍රමයෙන් දියුණු වන විට පැළ ගෘහයක්ද එක් කර ගැනීම වටිනවා.මල් වගාවේදී සෙවණ දැල් බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර සැලකිය යුතු මුදලක් සඳහා වියදම් කළ යුතු නිසා,ආදායම් ඉපයීම සාර්ථක තත්වයකට පැමිණි විට මේ සඳහා යොමු වීම වඩාත් සුදුසුයි.

පැළ තවානක් පවත්වාගෙන යන්න නිකම්ම බැහැ.මේ සඳහා හොඳ පුහුණුවක් අවශ්‍යයි.කෘෂි කර්ම දෙපාර්තුමේන්තුවට අනුබද්ධ අයතන වලින් ලබා ගත හැකියි.ඒ වගේම අන්තර්ජාලය ඔස්සේද ඔබට දැනුම ලබා ගත හැකියි.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles