ඩැමේජ් වුණු නිතර හැලෙන කොණ්ඩයට පොල්තෙල් වලින් සත්කාර

හිසකෙස් වල ඇති බොහෝ ගැටලු වලට පොල් තෙල් වලින් කරන සත්කාර නිසා ඉක්මන් ප්‍රතිපල ලැබෙනවා. පොල්තෙල් සත්කාර නිවසේදීම කර ගන්නා ආකාරය ගැන වගේම සත්කාර සඳහා Virgin Coconut oil හදා ගන්න හැටි මේ ලිපියෙන් ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා

පොල්තෙල්වල ගුණ.

  • කොණ්ඩයට ශක්තිමත් බව ලබා දීම
  • කොණ්ඩයට දීප්තිමත් බවක් ලබා දීම
  • කොණ්ඩය අග පැලීම,කොණ්ඩය යාම වැනි දේ පාලනය
  • වර්ණ ගැන්වූ සහ සැකසූ කොණ්ඩයට වන හානිවලට ප්‍රතිකාරයක් ලෙස.
  • Scalp එක වියළීම අඩු කිරීම

පොල්තෙල් වල lauric acid ඇති නිසා කොණ්ඩය නිරෝගි වී ශක්තිමත් වීම සිදු වෙනවා. කොණ්ඩය යාම, කැඩීම අඩු වන්නේ ඒ නිසා.

වර්ජින් කොකනට් ඔයිල් සාදා ගනිමු.

Virgin Coconut oil හදන්නේ අපි සාමාන්‍ය තෙල් හිඳ ගන්නා විදියට නෙවෙයි. මෙය පොල් ගෙඩියෙන් ඉතා පිරිසිදුව තෙල් හිඳ ගැනීමේ ක්‍රමයයි.

  • පොල් ගෙඩියක් ගාගෙන එය කොටස් තුනකට වෙන් කරන්න
  • මග් එකක් ප්‍රමාණයක වතුර ගෙන එයට එක් කොටසක පොල් දමා බ්ලෙන්ඩර් කර ගන්න.
  • එහි පොල් කුඩු ඉවත් කර ඒ කිරි ටිකටම අනිත් කොටසේ පොල් දමා බ්ලෙන්ඩ් කරන්න.
  • නැවත පොල් කුඩු ඉවත් කර අවසන් කොටස ද බ්ලෙන්ඩ් කර ගන්න.
  • එය අධි ශීතකරණයේ විනාඩි හතලිස්පහක් තබා ගන්න.
  • ඉන් පසු ඉවතට යටට වතුර බැස උඩ ඝන ස්ථරයක් ලෙස බැඳී ඇති මිදුණු කොටස ඉවත් කර ගන්න.
  • එය රත් කරගෙන වර්ජින් කොකනට් ඔයිල් සකසා ගන්න.

පොල්තෙල් වලින් හිසකෙස් සත්කාර.

සත්කාර කිරීමට පෙර කොණ්ඩය පැලුණු තැන් කපා ඉවත් කරන්න. සත්කාරයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ එවිටයි. කොණ්ඩය කැපූ විට වැවෙන්නේ නැහැ යන්නත් බොහෝ අයගේ චෝදනාවක්.නමුත් සැබෑ කාරණාව ඔබ කොණ්ඩය කැපූ විට කොණ්ඩයට හොඳින් සත්කාර කළ යුතුමයි. එවිට කොණ්ඩය හොඳින් වැවෙනවා.

ඔයිල් මසාජ්.

  • පොල් තෙල් තේ හැඳි 2,3
  • විටමින් E කරල් 4
  • ලැවැන්ඩර් ඔයිල් බිංදු 3

ලැවැන්ඩර් ඔයිල් කොන්ඩය අහුරු ලෙස ගැලවී යාමට ඉතා හොඳ ප්‍රතිකාරයක් නිසා පොල්තෙල් සමඟ මිශ්‍ර කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

  • පොල් තෙල් සහ ලැවැන්ඩර් ඩබල් බොයිල් කර විනාඩි පහකින් ලිපෙන් ඉවත් කරන්න.
  • විටමින් ඊ කරල් එකතු කරන්න.
  • එය හිස් කබල සහ මුළු කෙස් වැටියේම ආලේප කර විනාඩි විස්සක් හොඳින් සම්බාහනය කරන්න.
  • පැයක් තිබෙන්නට හැර ෂැම්පු කන්ඩිෂනර් කර සෝදා හරින්න.

මෙය සතියට දවස් දෙකක් කරන්න.

හෙයා මාස්ක් එකක්

හෙයා මාස්ක් එකක් හෙවත් පැක් එකකින් කොණ්ඩයට හොඳ ප්‍රෝටීන් සත්කාරයක් ලැබෙනවා. ඔයිල් ට්‍රීට්මන්ට් එකට දවස් දෙකකට පසු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා

අවශ්‍ය දේ

  • බිත්තර සුදු මදය සහ කහ මදය
  • පොල් තෙල් මේස හැඳි තුනක්
  • විටමින් ඊ කරල් 4ක්
  • යෝගට් එකක්

සියල්ල එකට බ්ලෙන්ඩ් කර ගන්න.
මුළු කොණ්ඩයේම සහ හිස්කබලේ හොඳින් තවරන්න.
හොඳින් සම්බාහනය කරන්න.
විශේෂයෙන්ම කෙස් අග තවරන්න.
පැයක් පමණ ෂවර් කැප් එකක් හිසට දමා මාස්ක් එක තිබෙන්නට හැර සෝදා හරින්න.

හෙයා මාස්ක් එකක්.

  • පොල් තෙල් තේ හැඳි 6ක්
  • එඬරු තෙල් තේ හැන්දක්
  • කොහොඹ කොළ තලපයක් ලෙස
  • නෙල්ලි තලපයක් ලෙස
  • කෝමාරිකා
  • විටමින් E

එඬරු තෙල් වලට කොන්ඩය හොඳින් වැවෙන අතර කොන්ඩය ඝනකම් වෙනවා.
කොහොඹ කොළ ඉස්සොරි පාලනය කිරීමට සහ කෙස් අග පැලීම පාලනයට උදව් වෙනවා.
නෙල්ලි හිස්කබලේ ඇති වියළි බව පාලනය කරනවා.
හිස් කබල කැසීමේ තත්වයට කෝමාරිකා ඉතා ගුණදායකයි.

මාස්ක් එක සාදා ගන්න අන්දම.

විටමින් ඊ හැර සියල්ල එකට මිශ්‍ර කර වීදුරු බොයිල් එකකට දමා මිනිත්තු දහයක් ඩබල් බොයිල් කර ගන්න. අවසානයට විටමින් ඊ එකතු කර ගන්න
තෙල් වෙනම පෙරා බෝතලයකට දමා ගන්න.
තලපය ඔබට හිසට මාස්ක් එකක් ලෙස යොදන්න පුලුවන්.

ඔයිල් ට්‍රීට්මන්ට්

  • බුලත් කොළ හතරක්
  • කරපිංචා ඉති දෙකක්
  • ගොටුකොළ අහුරක්
  • මුකුණුවැන්න අහුරක්
  • පොල්තෙල් මිලි ලීටර 300

කොණ්ඩය තුනී වීමට බුලත් ඉතා හොඳ බෙහෙතක්. ඒ වගේම අහුරු ලෙස කොණ්ඩය යාමත් පාලනය වෙනවා.
කරපිංචා වලට කොණ්ඩය කළු සහ ඝන වීමට වැදගත්.

ඔයිල් එක සාදා ගන්නා අන්දම.

  • සියලුම කොළ වර්ග සිහින්ව ලියා ගන්න
  • මැටි භාජනයකට පොල් තෙල්දමා මේවා එයට එකතු කර ගන්න.
  • සිහින්ව ලියා ගත් කෝමාරිකාද එකතු කර ගන්න
  • විනාඩි විස්සක් පමණ රත් කර ගන්න.
  • ඉන්පසු පෙරා ගන්න.
  • සතියක් පමණ මේ තෙල් ඔබට භාවිතා කරන්න පුලුවන්.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනි මධූ ජයවීර මහත්මිය.

Related Articles

Don't Miss


Latest Articles