ලාංකීය කෑම වේලක් සකසා රියැලිටි තරුවක් වූ පුංචි කෙල්ල ‘ජෝර්ජියා’

Junior Masterchef Australia ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජනප්‍රියම රියැලිටි තරඟාවලියක්. අවුරුදු අටත් දොළහත් අතර දරුවන් වෙන් වූ පළමුවෙනි අදියර ආරම්භ වෙන්නේ 2010 ජූලි මාසයේ. Shine Australia නිෂ්පාදනය කරන Junior Masterchef Australia කුකරි ෂෝ එකක් වීම එය ජනප්‍රිය වීමට මූලික හේතුවක්.

අදියර දෙකකට පසු මෙහි තුන්වැනි අදියර 2020 අප්‍රේල් විසි හත්වැනිදා ඇරඹුණා. රූපවාහිනි විකාශය අරඹන්නේ ඔක්තෝම්බර් මාසයේ දී. ඒ දෙවැනි අදියර පවත්වා අවුරුදු නවයකට පසු වීම විශේෂත්වයක්. ඒ වගේම තුන්වැනි සීසන් එක අවුරුදු 9- 14 දරුවන් සඳහා විවෘත වී තිබුණා.

Andy Allen, Melissa Leong සහ Jock Zonfrillo මෙහි විනිසුරුවරුන් ලෙස ක්‍රියා කරා. Junior Masterchef Australia තරඟය Melbourne Showgrounds හිදී රූගත කිරීම් ඇරඹෙනවා.

ඕනෑම රියැලිටි තරඟයක් මෙන් Junior Masterchef Australia ලෝකයේ අවධානයට ලක් වන්නේ එහි ජයග්‍රාහිකාව ප්‍රකාශයට පත් වීමත් සමඟ.

ඕස්ට්‍රේලියාවේ ළමා රියැලිටියක් අපට වැදගත් වන්නේ එහි ජයග්‍රහණය දිනා ගන්නේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත දැරියක් වීම නිසා. ඇය අවසන් තරඟයට පිසින්නේ අපේ ආහාර වට්ටෝරුවක් වීම නිසා

ජෝජියා වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන අවුරුදු එකොළහක දැරියක්. ඕස්ට්‍රේලියාවේ ඉපදුණත් ඇය ශ්‍රී ලාංකීය සම්භවයක් තිබෙන දැරියක්. ඇය උයමන් පුරුදු වන්නේ ඇගේ ශ්‍රී ලාංකීය අත්තම්මා සහ සීයාගෙන්. ඇය තුන් හැවිරිදි දැරියක කාලයේ සිටම අම්මා සහ අත්තම්මා ජෝජියාව මුළුතැන්ගෙයි වැඩකටයුතු සඳහා සම්බන්ධ කරගෙන තිබෙනවා.

තෙහැවිරිදි කුඩා බටු ඇටයක කාලයේ Scrambled Egg සාදමින් ඇරඹෙන ජෝජියාගේ ඉවුම්පිහුම් ඈ ඉවීමේ තරගාවලියක ජයග්‍රාහිකාව කරමින් විශාල මූල්‍ය ත්‍යාගයක් ලබා ගැනීමත් Masterchef Australia තරඟයට සම්බන්ධ වන්නට ලැබීමත් දක්වා ඇයව ගෙනියනවා.

අවසන් තරගය වෙනුවෙන් ජෝජියා, ෆිලෝ සහ කාටර් ට ලැබෙන අභියෝගය හතර දෙනෙක් වෙනුවෙන් 2 Course meal එකක් සැකසීම.එක Course එකකට මිනිත්තු අනූවක කාලයක් ලැබෙනවා.

ජෝජියා අවසන් තරගයට සකසන්නේ ලංකාවේ මෙනුවක්.කහ බතක්, වම්බටු පැහියක්, ඌරු මස් කරියක් කජු ව්‍යාංජනයක්, කියුකම්බර් රයිතා එකක් සහ පපඩම්.

ඔව්!! එය පළපුරුදු ගෘහණියකට වුවත් දඩිබිඩියේ උයන්නට අසීරු මෙනුවක්. ලැබෙන කාලය කළමනාකරණය කරගනිමින් කුඩා ජෝජියා කඩිමුඩියේ උයමනේ යෙදෙද්දී එය බලා සිටින ඇගේ අම්මාට වැඩසටහනේ විනිසුරුවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.

“ඔයාටත් පුලුවන්ද ලංකාවේ විදියට උයන්න?”

අම්මා,නැටලි රහසක් කියන ලෙස “No I can’t” පවසමින් හිනැහෙනවා.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ නිසා ඇය ලංකාවේ සාම්ප්‍රදායික ආහාර පිසීම ඉගෙන ගෙන නැහැ.නමුත් ඉවීම බොහෝ ප්‍රිය කරන ඇගේ දියණිය අත්තම්මාගෙන් උයමන් ඉගෙන ගන්නවා.

ජෝජියාගේ අවසන් මෙනුව රස විඳින අතර ද විනිසුරුවරයෙක් නැටලිට පවසන්නේ ඔහුට නැටලි ගැන බොහෝ ඊර්ෂ්‍යාවක් දැනෙන බව.

“මම මේ දිහා බලාගෙන හිතන්නේ, මේ මගේ අම්මාගේ කෑම. මේ මගේ දුව හදපු කෑම කියලා මට විශ්වාස කරන්නත් බෑ.මගේ අම්මා ආදරේ ප්‍රකාශ කරන විදිය මේ.ඒක ජෝජිට පුලුවන් වීම මට පුදුමාකාර සතුටක්.

ඒ අම්මා කෙනෙකුගේ සතුට.

ඕනෑම දෙයක් කළ යුතු අනිවාර්ය දේවල් නෙවෙයි. නමුත් ඔබේ සමහර තෝරා ගැනීම් ඔබව ජයග්‍රහණය දක්වා ගෙන යන බව කියන්නට එය අපූරු උදාහරණයක් නෙවේද?

ජෝජියා පැමිණි ගමන සුන්දර එකක් නෙවෙයි. ඇගේ අතුරුපස ඇය නොසිතූ ලෙස ඇයව ගැටලුවකට මැදි කරද්දී ජෝජියා I can’t do this කියමින් ඉකි ගසන්නට පටන් ගන්නවා. අම්මා වහා පැමිණ ඇය වැළඳ ගනිමින් දියණියට ශක්තියක් වනවා.

ජෝජියා ස්මාර්ට් කෙල්ලක සේ නැවත වැඩ අරඹන්නේ සියල්ල දරා ගනිමින්.Tosted Coconut Ice cream slices හි නම Tropical Mess ලෙස වෙනස් කරන්නට ඈ උපායශීලි වෙනවා.

ඉදිරියේ දී Masterchef Australia තරගයේදී කුඩා ජෝජියා ශ්‍රී ලාංකිය සම්ප්‍රදායික ආහාර වලට තවදුරටත් ජාත්‍යන්තර අවදානය ලබා දෙන්නට සමත් වේවි.

උත්සාහය,කැපවීම සහ දරා ගැනීම පමණක් මේ කුඩා දැරියගෙන් අප උගත යුතු පාඩම් නෙවෙයි.

ඉවීම කලාවක්. ගැහැනියකට අනිවාර්යයෙන් පිහිටන කලාවක්. ඒ කලාව තමන්ගේ විනෝදාංශයක් කර ගැනීම මොනතරම් අපූරු දෙයක් ද යන්න ඇගේ හිනැහෙන දෑස් සහ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් බබළන කම්මුල් අපට කියා දෙනවා.

කැමතිම දෙයක නිරතව ලබන ජයග්‍රහණයකට මිලක් නැහැ. එය තමන් සදාකාලික ප්‍රීතියට පත් කරන්නක්.

Related Articles

Don't Miss


Latest Articles