ඔබේ ලස්සන වඩාත් ඉස්මතුව පෙනෙන්න ආභරණ තෝරාගන්නේ මෙහෙමයි

ආභරණවලට පුළුවන් ඔබේ පෙනුම වැඩි දියුණුකරන්නත් එහෙම නැත්නම් තොරොම්බල් කරත්තයක් වැනි පෙනුමක් ලබාදෙන්නත් පුළුවනි. ආභරණ පමණක් නොව ඒ සමඟ පැළඳිය යුතු අනෙකුත් උපාංග පිළබඳවත් නිසි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි. ගැලපෙන ආභරණ තේරා ගැනීමේදී මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත්වෙන්න.

වර්ණය

කළු, සුදු සහ මධ්‍යස්ත වර්ණයක ඇඳුමක් නම් ඔබ අඳින්නේ, කිසිම ගැටලුවක් නැතිව ඔබට කැමති ඕනෑම වර්ණයකින් වඩාත් හොඳ පෙනුමක් දෙන ආභරණ තෝරාගන්න පුළුවන්. නමුත් ඔබ අඳින්නේ වෛවර්ණ ඇඳුමක් නම් එහි වර්ණ හා ගැටෙන්නේ නැති ආභරණ තෝරාගන්න වගබලාගන්න.

මේ සඳහා වර්ණ පිළිබඳ මූලික අවබෝධයක් තිබිය යුතුයි.

මූලික වර්ණ- රතු, නිල්, කහ

ද්විතීක වර්ණ- දම්, තැඹිලි, කොළ (මූලික වර්ණ දෙකක් එකතු කිරීමෙන් ලැබෙන වර්ණ. මෙම වර්ණවල පැහැය අඩුවැඩිකර භාවිතාකිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගතහැකියි.)

ඔබට කැපීපෙනෙන විලාසිතාවක් කිරීමට අවශ්‍ය නම් ආභරණ සඳහා ප්‍රතිවිරුද්ධ වර්ණ දෙකක් තෝරාගන්න (උදා: කහ පාට සහ දම් පාට වර්ණ ගල් අල්ලූ මාලයක්) . නමුත් සමහර වර්ණ ගැලපීම් එතරම්ම ලස්සන නොවන බව මතක තබාගන්න. උදාහරණයක් විදියට උත්සව සමයේදී හැර රතු සහ කොළ වර්ණ මිශ්‍ර වූ ආභරණ තෝරගැනීමෙන්  තරමක් වැළකීසිටින්න. වර්ණ කිහිපයක් උත්සාහකර බලා ඔබට ගැලපෙනම වර්ණ තෝරාගන්න. හැකි තරමින් වර්ණ තුනකට අඩු ආභරණ තෝරාගන්න. අමතකකරන්න එපා මෙම වර්ණ ඔබේ සමේ වර්ණය හා ගැලපිය යුතුබව.

ප්‍රමාණය

ආභරණයේ ප්‍රමාණයවගේම ආභරණ ප්‍රමාණයත් පිළිබඳ සැලකිලිමත්වීම ඉතාමත් වැදගත්. මෝස්තර හෝ මිශ්‍ර වර්ණ සමඟ අඩු ආභරණ ප්‍රමාණයක් පළඳින්න. සීක්වීන්, ක්‍රිස්ටල් ආදිය අල්ලා තිබෙන ඇඳුම් සමඟ විසිතුරු අවම ආභරණ තෝරාගන්න. අනිවාර්යයෙන්ම ඔබේ ශරීරයේ හැඩය, මුහුණේ සහ ගෙලෙහි හැඩය සමඟ ගැලපෙන ආභරණ තෝරගන්න වගබලාගන්න.

විලාසිතාව

විලාසිතාමය ආබරණ ඔබේ පෙනුම තීරණයකිරීමට වගේම ඔබට අනන්‍යවූ විලාසිතාවක් ගොඩනඟාගැනීමටත් උපකාරීවෙනවා. සාමාන්‍ය කළු ගවුමක්, ඩෙනිම් කලිසමක් සහ කමිසයක් වුණත් නිවැරදිව ආභරණ, සපත්තු, අත්බෑග් සහ වෙනත් උපාංග සමඟ ගලපාගතහොත් ඔබට සිනමා තාරකාවකගේ හෝ නිරූපිකාවකගේ වැනි පෙනුමක් ලබාගත හැකියි.

අවස්ථාව

මංගල උත්සවයකට සහ කාර්යාලයට හෝ පංසලට යන ලෙස රාත්‍රී උත්සවයකට හෝ පල්ලියේ මංගල්‍යයට යන ලෙස වෙළඳපලටත් එකම ලෙස ආභරණ පැළඳීම සුදුසුවන්නේ නැහැ. තැනට සුදුසු ලෙස ආභරණ ගලපාගත්තේ නැතිනම් ඔබ අපහසුතාවන්වලට ලක්වෙන්න පුළුවන්වගේම විවේචනයට ලක්වෙන්නත් පුළුවන්.

මිල සහ ආරක්ෂාව

වටිනා ලෝහ ආදියෙන් කල ආභරණ තෝරාගැනීමේදී අනිවාර්යයෙන්ම එහි මිල සහ ආරක්ෂාව වගේම ඔබට කෙතරම් ගැලපෙනවාදයන්න පිළිබඳව සැලකිලිමත්වන්න. උල් සහිත, බිදෙණසුළු ආභරණ පැළඳීමේදී ඔබේ වගේම ඔබ අසල සිටින්න්ගේද ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරන්න.

මතක තබාගන්න, ඔබ නිවැරදිව ආභරණ තෝරා නොගත්තොත් ඔබේ තිබෙන පෙනුමත් නැතිවෙලායාවී. නමුත් නිවැරදිව ආභරණ ගලපාගතහොත් සාමාන්‍ය ඇඳුමක් සමඟ පවා වඩා වටිනා වැදගත් පෙනුමක් ලබාගන්න පුළුවන්. ඒ නිසා ඇඳුමට දක්වන අවධානයම ආබරණ සඳහාත් යොදවන්න. ඒවගේම ඔබටම අනන්‍යවූ විලාසිතාවක් ගොඩනඟාගන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles