අභියෝග පරදා ඇමරිකානු උපජනපතිනිය වූ පළමු කළු ජාතික කාන්තාව ‘කමලා හැරිස්’

පසුගිය දින ඇමරිකාවේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු ලෝකයේ ම කතාබහට ලක් වූ කාන්තාවක් කරළියට එනවා.ඇය නමින් කමලා හැරිස්. මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන් සිය උප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ ඇයටයි.ඒ අනුව උප ජනාධිපති ධූරය ලත් ප්‍රථම දකුණු ආසියානු ඇමරිකානුවා මෙන්ම ප්‍රථම කළු ජාතික කාන්තාව ලෙසත් කමලා හැරිස් ඉතිහාසයට එක්වනවා.තනි සුදු විනීත ඇඳුමකින් සැරසි ඈ සිය ජාතිය අමතා සිදු කළ කතාව Wilmington හි එය අසා සිටි ගැහැණු ළමුන් සහ කාන්තාවන්ගේ ඇස්වලට කඳුළු ගෙන ආවා.

ඉන්දියානු කාන්තාවක් වන කමලාගේ මව ශ්‍යාමලා ගෝපාලන්. ජැමෙයිකානුවෙකු වන ඔහුගේ පියා ඩොනල්ඩ් හැරිස්.ඉන්දියානු සහ ජැමෙයිකානු සංක්‍රමණික යුවළකගේ කුළුඳුල් දියණිය ලෙස ඇය උපත ලබන්නේ 1964 කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි දී.

පෞද්ගලික හේතූන් මත ඇගේ දෙමාපියන් නීතියෙන් වෙන්වන විට ඇය කුඩා කෙල්ලක්. එයින් පසු ඇය සහ ඇගේ නැගණියගේ භාරකාරත්වය හිමිවන්නේ ශ්‍යාමලා ගෝපාලන් වන ඇගේ මවටයි. ඇගේ මව පිළිකා පර්යේෂිකාවක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි සමාජ ක්‍රියාකාරිනියක් ද වනවා.

ඉන්දීය උරුමය සමග හැදී වැඩුණද සිය මව නිතරම කමලාවත් සොයුරියවත් ඕක්ලන්ඩ් හි කළු ජාතිකයන්ගේ සංස්කෘතියට හුරු කරන්නට උත්සාහ ගත් බව ඇය පවසනවා. ” තමන් කළු ජාතික දියණියන් දෙදෙනෙකු ඇති දැඩි කරන බව මගේ මව හොඳින් දැන සිටියා” යනුවෙන් කමලා සිය ස්වයං චරිතාපදානයේ සටහන් කර තිබෙනවා. එමෙන් ම තමන් සහ නැගණිය ව නිර්භීත, ආත්ම විශ්වාසයෙන් පරිපූර්ණ ස්වාධීන කළු ජාතික කාන්තාවන් ලෙස උස්මහත් කිරීමේ බලාපොරොත්තුවක් සිය මවට තිබූ බව කමලා පවසනවා.

කමලා හැරිස් ප්‍රථම උපාධිය ලබන්නේ Howard විශ්ව විද්‍යාලයෙන්. එය නීති උපාධියක්. University of California Hastings College of the Law හි ඇය වැඩිදුර අධ්‍යාපනය ලබනවා. ඇගේ අනාගතය වෙනුවෙන් මුල් පියවර තැබෙන්නේ එතනිනුයි.

දිස්ත්‍රික් නීතිපති කාර්‍යාලයකින් කමලා හැරිස් වෘත්තීය ජීවිතය අරඹනවා. 2003 දී ඇය ෆ්‍රැන්සිස්කෝ හි නීතිපති පදවියට පත් වෙනවා. 2010 ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්. ඇය කැලිෆෝනියාවේ නීතිපති ධූරයට පත් වෙන්නේ 2010 දී යි. කැලිෆෝනියාවේ නීතිපති ධූරයට පත් ප්‍රථම කාන්තාව ලෙසත්, ප්‍රථම අප්‍රිකානු ඇමෙරිකානුවා ලෙසත් ඉතිහාසගත වන්නට ඇයට හැකි වෙනවා. 2017 වසරේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දෙන්නට ඈට හැකිවන්නේ ඇගේ දස්කම් නිසාමයි.

ඇය විවාහ වන්නේ ඩග්ලස් එම්හොෆ් සමඟයි. ඔහුත් නීති උපාධිධාරියෙක්. ඔවුන්ගේ විවාහය සිදුවන්නේ 2014 වසරේදී. ඒ වන විට ඩගලස් ඔහුගේ වසර විසිපහක පළමු විවාහයෙන් නීත්‍යානුකූලව ඉවත් වී සිටින්නේ. ඩග්ලස්ගේ එම විවාහයේ දරුවන් වන Cole Emhoff සහ Ella Emhoff මේ වන විට සිටින්නේ ඩග්ලස් සහ කමලා සමගයි.

පසුගිය දා පැවැති ජනාධිපතිවරණය සඳහා උප ජනාධිපති ලෙස ඇය තෝරා ගැනීමට ඇමරිකාවේ දැන් නව ජනාධිපති , එවකට ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සැරසෙන්නේ බාධා රාශියක් මධ්‍යයේ. කෙසේ හෝ ජයග්‍රහණය කරා යන්නට ඔවුන්ට හැකි වෙනවා. ජයග්‍රහණය ප්‍රකාශ වූ විගස ඈ සිය ට්විටර් ගිණුමෙහි වීඩියෝවක් මුදා හරිනවා. එහි ඇත්තේ ඈ ජෝ බයිඩන් නව ජනාධිපතිවරයාට ගන්නා දුරකථන ඇමතුමක්. “අපි ඒක කළා. අපි ඒක කළා ජෝ. ඔබ ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වෙන්නයි යන්නේ” යනුවෙන් ඇය එම වීඩියෝවේදී ප්‍රකාශ කරන්නේ ඉතා සුන්දර සිනහවක් ද සමගයි.

විල්මිංටන්හි ඈ කළ කතාවෙහි කොටස් කිහිපයක් පහත දැක්වෙනවා.

“මම අද මේ කාර්යාලයේ මුලසුනෙහි ඉන්න පළමු කාන්තාව වන්නට පුලුවන්. එහෙත් මම අවසාන කාන්තාව නොවෙයි”

මේ අවස්ථාව දකින සෑම කුඩා දැරියක්ම අපේ රට හැකියාවන්ගෙන් පිරුණු, දරුවන්ට වෙන් වූ රටක් බව තේරුම් ගනීවි. ඔබේ ස්ත්‍රීපුරුෂ භාවය ඔබේ සිහින කරා හඹා යන්නට බාධාවක් නොවන රටක් මේ. අරමුණක් සහිතව සිහින මවන්න. ඒ කරා සිහි නුවණින් ගමන් කරන්න. ඔබ යන ගමන් මගෙහි කවුරුත් නැති වේවි. එහෙත් දුක්වන්නට අවශ්‍ය නැහැ. ඔබේ සිහින මින් පෙර ඔවුන් දැක නැහැ. ඒත් මතක තියාගන්න, අපි ඔබ සමඟ සැමදා ඉන්නවා”

සිහින දකිමින් නිහඬව නොහිඳ ඒවා අරමුණු කරගන්නට දක්ෂ විය යුතු බව ඇගේ ජයග්‍රහණයේ රහසයි. සිහින කරා පියමනින්නට දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් මිස, ස්ත්‍රියක් වීම හෝ සුළු ජාතියක් වීම කිසි සේත් අදාළ නොවන බව ඈ අපට කියා දෙනවා.

Related Articles

Don't Miss


Latest Articles