සිරුරේ බර ගැන හිතන හැමෝටම low carb හෙවත් කාබෝහයිඩ්‍රේට් අවම කෑම වර්ග 5 ක්.

වර්තමානයේ නිරෝගී ජීවිතයක් උදෙසා බොහෝ දෙනා ආහාර පාලනය සිදු කරනවා. ආහාර පාලනය කරන්නන් අතරේ බොහොම ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස Low carb diet හඳුන්වන්නට පුලුවන්. උදෑසන ආහාරය ලෙස ලබාගත හැකි වගේම පහසුවෙන් සකසාගන්නට පුලුවන් Low carb diet පහක් අද අපි ඔබට ලබා දෙනවා.

Cloud Bread

පාන්පිටි නැතුව පාන් හදන්න පුලුවන් ද? ඔව්. ඒ Cloud Bread. මේ සඳහා කිසිම පිටි වර්ගයක් භාවිතා කරන්නේ නෑ. මෙම කුඩා පාන්පෙති අටක ඇත්තේත් 0.2g ක් තරම් ඉතාම සුළු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 4ක්
  • චීස් වෙජස් 2ක්
  • ක්‍රීම් ඔෆ් ටාටා තේ හැඳි ¼ ක්
  • කලුදුරු ඇට තේ හැඳි ½ ක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

අවන් එක 150C° ට රත් වෙන්න තියන්න. බිත්තර සුදුමද ටික වෙන් කර stiff peaks එන තුරු හොඳින් ගසා ගන්න. වෙනත් භාජනයක ඉතිරි ද්‍රව්‍ය සියල්ල හොඳින් කලවම් කර, බිත්තර සුදුමද බඳුනට එක් කර යන්තමින් කලවම් කරන්න. තෙල් තවරන ලද තැටියක රවුම් බිස්කට් හැඩයට වත් කරගන්න. විනාඩි 20ක් බේක් කරගන්න.

පොල්පිටි පෑන්කේක්

පාන්පිටි නැතුව පෑන්කේක් හදන්නත් පුලුවන්. ඒත් මේ සඳහා අපි වෙනත් පිටි වර්ගයක් භාවිතා කරනවා. මේ පෑන්කේක් 4ක කාබෝහයිඩ්‍රේට් 2g ක් පමණ අඩංගු වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල්පිටි කෝප්ප ¼ ක්
  • බටර් කෝප්ප ¼ ක්
  • බිත්තර 4ක්
  • බේකිං පවුඩර් තේ හැඳි ½ ක්
  • වැනිලා ටිකක්

හදන්නේ මෙහෙමයි

මේ සියල්ල එකට මිශ්‍ර කර පෑන් එකක දමා සකසා ගන්න.

චොක්ලට් පීනට් බෝල්ස්

කොච්චර ඩයට් කරමින් හිටියත් ඉඳහිට පොඩි පොඩි ස්නැක්ස් කන්න බඩගිනි එනවා. ඩයට් එකට හානි කරගන්නේ නැතුව කන්න පුලුවන් රසම රස ස්නැක් රෙසිපි එකක් මේ. මෙහි කාබෝහයිඩ්‍රේට් 3g පමණ අඩංගු වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොතු හැර කබලේ බැදි රටකජු කෝප්ප 2ක්
  • මේපල් සිරප් හෝ මීපැණි කෝප්ප ½ ක්
  • පොල්පිටි කෝප්ප ½ ක්
  • සීනි රහිත ඩාක් චොක්ලට් කෝප්පයක්

හදන්නේ මෙහෙමයි

රටකජු ටික ක්‍රීම් වනතුරු හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. එයට මේපල් සිරප් හෝ මී පැණි දමා කලවම් කරන්න. කුඩා බෝල සෑදිය හැකි පදම එනතුරු පොල් පිටි ස්වල්පය බැගින් එක් කරමින් අනාගන්න. ඉන්පසු කුඩා දෙහි ගෙඩි තරම් වූ බෝල සකසා ගන්න. ඩාක් චොක්ලට් ද්‍රව්‍ය ඩබල් බොයිල් කර දිය කරගන්න. පීනට් බෝල එහි ගිල්වා ශීතකරණයක් පැය දෙකක් තබා භාවිතා කරන්න.

සුකිනි නූඩ්ල්ස්

කාබ්ස් තහනම් නිසා නූඩ්ල්ස් නොකා ඉන්න ම ඕනෙ නෑ. කාබ්ස් නැති නූඩ්ල්ස් එකක් රසට හදාගන්න විදිය කියලා දෙන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක සුකිනි ගෙඩියක්
  • සිහින්ව ලියූ කැරට් සහ ලීක්ස් ටිකක්
  • චීස් වෙජ් එකක්
  • බැද, කුඩාවට ඉරූ චිකන් කෑල්ලක්
  • තෙල් ටිකක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

සුකිනි ගෙඩිය ඉතා සිහින්ව කූරු හැඩයට කපා ගන්න. ග්‍රේට් කරන්න එපා. තෙල් ටික ලිප තබා කැරට් සහ ලීක්ස් තෙම්පරාදු කරගන්න. චීස් වෙජ් එක, චිකන් කැබැලි ඊට එක් කර ලුණු සහ ගම්මිරිස් දමා මිශ්‍ර කරන්න. ඉන්පසු සුකිනි තීරු ටික දමා විනාඩි 5ක් තබා බා ගන්න.

බිත්තර සලාද

ඉතා ඉක්මනින් සකසා ගත හැකි කාබෝහයිඩ්‍රේට් ඉතාම අඩු වගේම හොඳින් කුස පිරෙන ආහාරයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙහි කාබෝහයිඩ්‍රේට් 3g පමණ අඩංගු වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තැම්බූ බිත්තරයක්
  • අඩු මේද යෝගට් මේස හැන්දක්
  • පිපිඥ්ඥා කෝප්ප 1/2ක්
  • ලුනු ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

පිපිඥ්ඥා සහ බිත්තර කොටු කපා ඉතිරි සියල්ල සමඟ මිශ්‍ර කරන්න.

සුලබ නොවන එහෙත් රසවත්, ඉතා පහසු low carb diet ඔබත් රස විඳින්න.

Related Articles

Don't Miss


Latest Articles